Sunday, January 21, 2007

පලවා හැරීමෙන් අයිතීන් සුරැකීම

Print this post


මව්බිම | 2007 ජනවාරි 21
.......................................................................................................................................

වාකරෛ 15,000ක් ජනයා හාමතෙනි. ගංවතුරින් සහ වසංගත රෝ බියෙන් කොටු වී ගත් වැඩිමහල්ලන් සහ ළමා ළපටින් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන්ද, ආහාර අහේනියෙන්ද පරිපීඩිතය. කරඩික්කුලම්, කල්ලාර් සහ වාලච්චේනෛ රජයේ හමුදා කඳවුරු වල සිට එල්ල කෙරෙන දෛනික කාල තුවක්කු ප්‍රහාරයන්ද,  ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක යානාවන්ගෙන් හෙළන බෝම්බ වැසිද ඊට අමතර වශයෙනි. ගුවන් බෝම්බ ප්‍රහාරයන්ගෙන් අත පය විසුණු වූ දරුවෝ අවම පහසුකම් හෝ නැති වාකරෛ් රෝහලේ තැන තැන වැතිර සිටිති. රජයේ ගුවන් හමුදාවන්ගේ කෆීර් යානා හඬින් බියපත් කෙරෙන වාකරෛ ජනයා සිය දරු සිඟිත්තන් කැටුව අගල් තුළට රිංගා දිවි ගළවාගනිති.
  
ඒ හමුදාවෝම රට මැද නාය යෑම් සහ ගංවතුරින් ගේ දොර අහිමිව අනාථ වූ ජනයා බේරාගැනීමේ සහන සේවා මෙහෙයුම් දියත් කරති. නායයෑම් හේතුවෙන් ළමා ළපටින් සමඟ කොටු වී සාගිනි උසුළන දකුණේ ජනයාට ඒ ගුවන් හමුදාවේම හෙළිකොප්ටර් යානා හඬ සැනසුම් සුවය ගෙන එයි. රට මැද අවතැන් වූ 30,000ක් ජනයා අතරට ගුවන්  බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වුවහොත් තත්ත්වය කෙබඳු වේදැයි කිසිවෙක් කල්පනා නොකරයි.


ඉකුත් අගෝස්තුවේදී ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර මුත්තූර් ප්‍රදේශය අල්ලා ගැනීමේ රජයේ හමුදා මෙහෙයුම සාමාන්‍ය වැසියන් 97 දෙනෙකුගේ ජීවිත බිලි ගත්තේය. දිවි ගළවාගෙන වෙරුගල්ආරු තරණය කොට ජනයා මඩකළපුවට උතුරින් වූ වාකරෛ ප්‍රදේශයට පලා ආහ. එසේ ආ ජනයාද එකතු වූ විට වාකරෛ ජනගහණය ඔක්තෝබරය වන විට 36,000ද ඉක්මවා වැඩිණ. උතුරු කෝරළේපත්තුව අත්පත් කරගැනීමේ අරමුණ සහිත හමුදා ප්‍රහාර උත්සන්න කරන ලද්දේ ඉන් ඉක්බිතිවය. ප්‍රදේශයෙන් පිටව යන උතුරු ප්‍රවේශ දොරටුව ඊච්චලම්පත්තුවෙන් අගෝස්තුවේදීම වසා දැමිණ. ඔක්තෝබර් 21 වෙනිදා දකුණු ප්‍රවේශ දොරටුව මාන්කෙර්නි හමුදා මුරපොළින් වසා දමන ලදී. අනතුරුව කොටු වූ ජනගහණය මැදට දිවා රෑ ගුවන් සහ ෂෙල් ප්‍රහාරයන් එල්ල කෙරුණි. ගේ දොර අත්හළ ජනයා ජීවිතාරක්‍ෂාව පතා පාසැල් තුළට රොක් වූහ. නොවැම්බර් 09 වෙනිදා කදිරවේලි විදුහලේ ලැගුම්ගෙන සිටි 45 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූයේ ඒ අනුවය. දෙසැම්බර් 09 වෙනිදා පාල්චේනෛ විදුහලේදී 21 දෙනෙකු මරා දැමිණ. 10 වෙනිදා වෙම්මිවෙඩ්ඩුවාන් පාසල් භූමිය 19 දෙනෙකුගේ සුසාන භූමිය බවට පෙරළිණ. දිවි ගළාවගත හැකි මගක් නොදුටු තැන වන මූකලන් සහ වගුරු බිම් මැදින් ජනයා මඩකළපු දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ කරා ළඟා වූහ. 2006 දෙසැම්බරය වනවිට එසේ පැමිණි ජනගහණය 27,837කි. ඒ එන දෙමළ ජනයා කොළඹ මාධ්‍යයන්ට අනුව ‛කොටි සංවිධානයෙන් ගැළ වී පලා එන ජනයාය.’ සෝමපුර, සේරුනුවර සහ මහින්දපුර සිට අවතැන්ව කන්තලේට එන සිංහල ජනයා ‛කොටි සංවිධානයට බියෙන් පලා යන ජනයා’ය. දකුණේ මාධ්‍ය වාර්තා අනුව රජයේ හමුදා ප්‍රහාරයන්ට බියෙන් කිසිවෙක් පලා නොයති.
  
නමුත් දෙමළ ජනයා ගම්බිම්වලින් පලවා හැරීමේ යුදමය සැළසුම්වලට ඉතිහාසයක් තිබේ. එය දකුණේ සාමාන්‍ය ජනයා නොදන්නා කතාවකි. කොළඹ මාධ්‍ය ඒ කතාව කිසිදිනක නොකියන බැවිනි. කදිම නිදසුන යාපනයයි. 1983 වනවිට වලිකාමම් උතුරු ප්‍රදේශයේ ජනගහණය 83,618කි. එයින් 60%ක්ම ගොවීන්ය. 30%ක් ජීවත් වූයේ ධීවර රස්සාවෙනි. පලාලි සහ කන්කසන්තුරෛ රජයේ හමුදා කඳවුරු පුළුල් කිරීමේ සැළසුම් ඇරඹුණේ 1983දීය. නිරන්තර රාත්‍රී ෂෙල් ප්‍රහාරයන් මගින් ප්‍රදේශයේ ජනයා ඉවත් කිරීමේ පහසු ක්‍රමය රජයේ මිලිටරි සැළසුම්කරුවෝ දැන සිටියහ. ඒ අනුව 1983 සිට ‛87 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අධියර යටතේ අක්කර 430ක භූමි භාගයකින් ජනයා පලවා හැරුණි. දෙවන අධියර ආරම්භ වූයේ ඉන්දීය හමුදා පිටව යාමෙන් පසු 1990දීය. 1993 වන විට දෙවන අධියර සම්පූර්ණ කරමින් නිවාස ඇතුළු පොදු ගොඩනැගිලි බිඳ හෙළමින් හමුදාවෝ එම ප්‍රදේශයන්ට ඇතුල් වූහ. 1996දී රජයේ හමුදා යාපනය අත්පත් කරගත් පසු උතුරු වලිකාමම් කොට්ඨාශයේ ගම්මාන 12ක නැවත පදිංචි වීමේ අවසරය ජනයාට ලැබිණ. නමුත් ගම්මාන 30ක් ඇතුළත් වඩා විශාල භූමි භාගයක් හමුදා කලාපයක් වශයෙන් පවරාගන්නා බවට රජය නිවේදනය කර සිටියේය. ඉඩම් පවරා ගැනීමේ පනතෙහි 05වෙනි වගන්තිය යටතේ ‛අධි ආරක්‍ෂිත කලාපයට’ අයත් හෙක්ටෙයාර් 26,17,360ක භූමි භාගයකට අයත් වන ඉඩම් කොටස් 397ක් 1999 ජූනි 08 වෙනිදා රජයේ ගැසට් නිවේදනයක් මගින් ‛‛පොදු අවශ්‍යතා සඳහා’’ පවරා ගන්නා ලදී. ඒ යටතේ තෙල්ලිප්පලෙ දිස්ත්‍රික් රෝහල වසා දැමිණ. මයිලෙට්ටි ළය රෝහල වසා දැමිණ. තෙල්ලිප්පලෛ පිළිකා රෝහල සහ තාවකාලික ආරෝග්‍ය ශාලාවද වසා දැමුණි. පාසැල් 48ක් තහනම් ප්‍රදේශ බවට පත්විය. වන්නියේ මුලන්ගාවිල් ප්‍රදේශයේ සිට ගෙන ආ පස් අතුරමින් පරම්පරා කිහිපයක් විසින් සරු කළ යාපනයේ සාරතම වගාබිම් වශයෙන් සැළකුණු වසාවිලාන් ගොවිබිම්ද හමුදා පාලනයට යටත් විය. මේ වනවිට යාපන දිස්ත්‍රික්කයේ 30%ක් අයත් වනුයේ හමුදා කලාපය තුළටය. අක්කර 3,800ක් පුරා පැතිරුණු නිවාස 28,800ක් පරිහරණය කරනු ලබන්නේ හමුදාවන් විසිනි.
  
නැගෙනහිර දිගහැරෙන්නේ එහිම තවත් පරිච්ඡේදයකි. දෙමළ ජනයාට වාකරෛ ප්‍රදේශයෙන් පිටවන්නට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටිනුවන් සඟවන කාරණාව ඒ ඔවුන් උපන් ගම්බිම් බවයි. මානව හිමිකම් සුරැකීම පාගා දැමෙන්නේ උපන් ගම් බිම්වල නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදීමෙනි. දෙසැම්බර් 13 වෙනිදා ‛දිවයින’ පත්‍රයෙහි කතුවැකියෙහි මෙසේ ලියා තිබිණ: ‛‛කෙනෙකු උපන් ගම යනු ඔහුගේ හෝ ඇයගේ මව්බිමෙන් කොටසකි. කෙනෙකුගේ සියලු මුල් පැතිර ඇත්තේ උපන්ගම හා සම්බන්‍ධ තදාසන්න ප්‍රදේශවලය.
  
‛‛ගමක් අතහැර යාම කෙනෙකුට දුෂ්කර වන්නේ මේ කාරණය නිසාය. මනුෂ්‍යයා යනු තමන් අවට සිටින මනුෂ්‍යයන් හා ගහකොළ සමග පමණක් නොව, තාප්ප බිත්ති සමග පවා සම්බන්‍ධකම් ඇත්තෙකි. මනුෂ්‍යයාගේ පැවැත්මට අවශ්‍ය සියලු දේ ඔහු උපදින භූමි භාගයේ සිට ඔහු සමගම හැදී වැඩෙයි. කවුරු කවර තර්ක ගෙන ආවත් අවසන් ඵලයේදී මනුෂ්‍යයාට ආහාර සපයනු ලබන්නේ භූමිය විසිනි. ඔහුට දැනුම සපයනු ලබන්නේ ඔහු වටා ඇති පරිසරය විසිනි.
  
‛‛ත්‍රස්ත ප්‍රහාරවලින් පාරම්පරික ජනාවාස අත්හැර නන්නාඳුනන පළාතක් බලා යන මිනිසා ගතින් මෙන්ම සිතින්ද අනාථයෙකු බවට පත්වෙයි. කෙනෙකු එසේ අනාථභාවයට පත්කිරීමට දායකවන්නා මිනිස්කමේ හතුරෙකි. එවැනි සතුරන් සමාජයෙන් තුරන් කළ යුතුය.’’ - (2006 දෙසැම්බර් 13 - ‛දිවයින’)
  
මේ යුක්ති ධර්මයේ තර්කය විසි වසරක් තිස්සේ අවතැන්ව තැන තැන දිවි ගෙවන ලක්‍ෂ සංඛ්‍යාත දෙමල ජනයාට අදාළ වෙතැයි කිසිවෙක් නොසිතයි. වාකරෛ අතහැර දුෂ්කර වන ලැහැබ් ඔස්සේ පලා එන ජනයාට හෝ මන්නාරම අත්හැර ඉන්දීය සාගරයේ ප්‍රචණ්ඩ රළ හා පොරබදමින් රාමේශ්වරම් වැල්ලට ගොඩබසින ජනයාට හෝ මේ මානුෂික හැඟීම් අල්ප මාත්‍රයක් හෝ අදාළ වෙතැයි මොහොතකට හෝ කල්පනා නොවෙයි. සරණාගත කඳවුරු භූමිය තුළදීම සුණු විසුණු කොට දැමෙන මව්පිය - ළමා ළපටින් කිසිවෙකුගේ ගැඹුරු දොම්නසට හේතු නොවේ.

ඇත්ත මෙයයි. සාමය සහ සහෝදරත්වය පිළිබඳ ව්‍යාජ වාගාලාප යටින් ගලන ලේ කන්දරාව නොසළකා හරින්නට අපි සියල්ලන්ට හේතුවක් තිබේ. ඒ, තාප්ප, බිත්ති හා ගහකොළක් තරමටවත් දෙමළ ජනයාගේ හැඟීම් අපට නොවටිනා බැවිනි.


2007 ජනවාරි

Print this post

0 comments:

Post a Comment