Print this post
මව්බිම | 2007 ජනවාරි 14
.......................................................................................................................................
ජනවාරි 09 වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි නීතිය වැඩි ඡන්ද 79කින් සම්මත විය. විවාදයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ‛අපි හදිසි නීතියට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදයට විරුද්ධව යොදාගැනීම සඳහා පමණක්’ බව අවධාරණය කළේය. ඒ අතරවාරයේ ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් මරදානේ ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිටට කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගී වූ ලංගම සේවකයින්ට කැරළි මර්දන පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදා බල ඇණි විසින් එළව එළවා පහර දෙන ලදී. ‛නීති විරෝධී ඒකරාශීවීම් විසුරුවා හැරීමට’ සන්නද්ධ හමුදාවන්ට බලය සපයන හදිසි නීතියට පක්‍ෂව ඊට මොහොතකට පෙර ඡන්දය දුන් ජවිපෙ මන්ත්‍රී පියසිරි විජේනායක, පහර කෑ කම්කරුවන් අතරට පැමිණ ‛කම්කරුවන්ගේ ඡන්දයෙන් බලයට ආපු ආණ්ඩුව අද කම්කරුවන්ට පහර දුන්නා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය’යැයි ඇසූ බව 10 වෙනිදා ‛දිවයින’ පත්‍රය වාර්තා කළේය. ප්‍රහාරය පිළිබඳ වූ ‛දිවයින’ වාර්තාවේ මෙසේ දැක් වේ:
‛‛පොලිස් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් බැටන් පොලු, තුවක්කු හා දිගු දඬුවලින් උද්ඝෝෂකයන්ට පන්න පන්නා පහර දුන් අතර උද්ඝෝෂකයෝ පිරිසක් පහර කාගෙනම ප්‍රවාහන අමාත්‍යාංශය තුළට ඇතුළු වූහ. මෙහිදී ප්‍රවාහන අමාත්‍යංශය තුළ සිට එළියට පැමිණි සිවිල් ඇඳුම් ඇඳගත් මැර පිරිසක්ද උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පටන් ගත්තේ පොලිස් නිළධාරීන් බලා සිටියදීය. ඇතැම් පොලිස් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් තුවක්කු බඳෙන්ද උද්ඝෝෂකයන්ට පහර දුන් අතර පහර කා වැටුණු උද්ඝෝෂකයන්ටද පහර දුන්හ....සිද්ධියේදී තම සාමාජිකයන් පහළොස් දෙනෙකු තුවාල ලැබූ බවත් හතර දෙනෙකුගේ තුවාල බරපතල බවත්, තවත් විශාල පිරිසක් පහර කා ඇති බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එච්.කේ.ජයරත්න මහතා පැවසීය. ඇතැමුන්ගේ අත් පා කඩා ඇති අතර ඔලු පලා ඇතැයිද හෙතෙම චෝදනා කළේය...’’
ජවිපෙ කම්කරු ක්‍රියාකාරිකයින්ගේ ලේ හැලුණු ඒ අඟහරුවාදාවේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය කැඳවු ප්‍රවෘත්ති සාකච්ඡාවට වාඩිවූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ ‛ආරක්‍ෂක හමුදාව කොටි පරාජය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින නිසා ඔවුන්ට දකුණේ ආරක්‍ෂක කටයුතුවල නිරත වීමේ අපහසුතාවක් පවතිනවා. එම නිසා සිවිල් ජනයා ස්වේච්ඡා සිවිල් පවුරක් ලෙස ක්‍රියාත්මක වුවහොත් මේ ප්‍රශ්නයට මුහුණ දිය හැකියැ’යි කියා තිබිණ. (දිවයින - ජනවාරි 10) නමුත් ඒ දහවලේදී හමුදා සහ පොලිස් පහරදීම්වලින් බරපතල තුවාල ලබා අත්අඩංගුවට පත් ජවිපෙ ප්‍රවාහන වෘත්තීය සමිතියේ ලේකම්වරයා එදිනම කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරිණ. දකුණේ වැඩිවන බඩගිනි හමුදාවන්ට තුවක්කු බඳවලින් පහර දෙන ‛දේශප්‍රේමී හමුදාවෝ’ දැන් දකුණේද වීදි සරති.
ලංකාවේ පැරණි ඉතිහාස ජවනිකා අගනුවර වීදිවල යළිත් රඟ දැක්වෙමින් තිබේ. සියල්ලෝ ලේ වැකි අතීත ජවනිකා අලුත් සංත්‍රාසයකින් නරඹති. ඉතිහාසය භූතාත්මයක් මෙන් වර්තමානයේ දොරටුව අසළ ගැවසේ. ලේ වලින් උගත් පාඩම් අමතකව ගිය කළ ඒවා මතක් කර දෙන්නේ ලේ වලිනි. පැරණි ලේ වගුරටම ගලා බසින අවස්ථාවාදයේ ගමන් මග දෙස මාස තුනකට හැරී බලන්න.
ඉකුත් අවුරුද්දේ සැප්තැම්බර් 05 වෙනිදා දුම්රිය කම්කරුවෝ වැඩ වැරූහ. 06 වෙනිදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳ වූ ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් කතා කළ කේ.ඩී.ලාල්කාන්ත ‛ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමක් වශයෙන් තමන් කිසිදු වැඩ වර්ජනයක් මේ මොහොතේ දියත් නොකරන බවට’ දිවුරා සිටියේය. දරුවන්ගෙන් 60%ක් මන්ද පෝෂනයෙන් පෙළෙන රටක, පැයකට දස ලක්‍ෂ 15ක් වැයකොට යුද්ධ කරන්නට යෝජනා සම්මත කරගත් අයවැයකට පක්‍ෂව ජවිපෙ ඡන්දය පාවිච්චි කළේ ඒ අනුවය. මන්ත්‍රීන්ගේ වැටුප් 165%කින් වැඩි කරගැනීමේ යෝජනාවට පක්‍ෂව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම නොවැම්බර් 23 වෙනිදා ඡන්දය පාවිච්චි කරද්දී ඊට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආණ්ඩුවේ අයවැය යෝජනාවන්ට එරෙහිව දෙසැම්බර් 07 වෙනිදා රට පුරා දස ලක්‍ෂයක් පත්‍රිකා බෙදන ලදී.
දෙසැම්බර් දෙවැනි සතියේ මහරගම තරුණ මධ්‍යස්ථානයට කැඳවා තිබූ දේශය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණේ රැස්වීමේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත ‛මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබිණ. ඒ නිසා 2007 වසර අරගලකාරී වසරක් වනු ඇතැ’යි ප්‍රකාශ කළේය. නමුත් ඒ මාසයේදීම 27 වෙනිදා ‛ලක්බිම’ පත්‍රය හා සාකච්ඡාවකට එක් වූ ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මෙසේ කීවේය: ‛‛ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අයවැයට පක්‍ෂව ඡන්දය දීම දේශපාලන තීරණයක්...මේ රට ඉදිරියේ මේ මොහොතේ ඇති බරපතල බෙදුම්වාදී අරගලය පරාජය කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන යහපත් ක්‍රියාමාර්ගවලට සහයෝගයක් විදියටයි අපි අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නේ.’’ ඒ ප්‍රකාශයෙන් දෙසතියක් ඉක්ම යන්නට කලින් ජවිපෙ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයින්ට පොලිස් සහ යුද හමුදාවන් එළව එළවා පහර දුන්නේ ය. ඒ පහරදීම් සඳහා බලය සපයන හදිසි නීතියට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් අන්තර් සමාගම් සේවක සංගම් නායකයාගේ අත්සනින් එදිනම හවස් වරුවේ නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්විණ: ‛‛ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිට ලංගම සේවකයන් විසින් පැවැත් වූ සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ආණ්ඩුවේ තුච්ඡ මැර ප්‍රහාරය අන්තර් සමාගම් සේවක සංගමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු...ඉදිරියේ රාජ්‍ය, පෞද්ගලික කිසිදු භේදයකින් තොරව මීට වඩා දැඩි මර්දනයක් මේ ආණ්ඩුවලින් එල්ල විය හැකි බැවින් මෙම මර්දනයන්ට එරෙහිව වහා පෙළ ගැසෙන ලෙස සමස්ත පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.’’
ප්‍රතිපත්තිගරුකභාවය නින්දාවක් සේ සැළකෙන යුගයක අවස්ථාවාදය ප්‍රතිපත්තියක් බවට පත්වේ. ඒ ප්‍රතිපත්තිය පාර කපන්නේ පීඩිතයාගේ කුරුස ගසටය. මෑත අතීතයේ ලේ වැකි පරිච්ඡේද මහා සිංහලයේ වංශ කතාවට ඇතුළත්ව නැති නිසා ඒවා කිසිවෙකුගේ මතකයේ නොරැඳේ. ඉතිහාසය පයින් ඇන - ඇන උගන්වන්නේ අමතකව ගිය ඒ ලේ ගලන පාඩම්ය. අඟහරුවාදා ප්‍රහාරයට ගොදුරු වූ කම්කරුවන් තමන්ට පහර දුන් ආරක්‍ෂක හමුදා සෙබළු අමතා ‛අපි ඔබලාට ලේ දුන්නා. ආධාර දුන්නා. ඒත් අද අමානුෂික ලෙස පහර දුන්නා’ යැයි ‛හැඟුම්බරව කෑ ගැසූ’ බව ජනවාරි 10 වෙනිදා ‛දිවයින’ වාර්තාවේ දැක්විණ. අයිතීන් ඉල්ලා සටන් වදින දෙමල පීඩිතයා පොළොවට පස්කර දමන අටියෙන් වැඩපොළ වල මානෙල් මල් විකුණමින් ගෙවා දැමූ කාලය පාරා වළල්ලක් වී දැන් දකුණේ පීඩිතයා හඹා එයි.
අයර්ලන්ත ජනයාගේ නිදහසට ඉංග්‍රීසි කම්කරු පන්තිය සහාය දැක්විය යුත්තේ ඇයි දැයි පැහැදිලි කරමින් මාක්ස් 1969දී මෙසේ ලීවේය:
‛‛ඉංග්‍රීසි ආණ්ඩුවට සුවිශාල ස්ථාවර හමුදාවක් පවත්වාගෙන යාම සඳහා ඇති එකම නිදහසට කරුණ අයර්ලන්තයයි. අවශ්‍යතාවක් වෙතොත් ඉංග්‍රීසි කම්කරුවන්ට එරෙහිව යොදවන්නේද එම හමුදාවන්මය. වර්ථමානයේ එංගලන්තය වඩා වැඩි ප්‍රමාණයකින් පුරාණ රෝමයට සමානය. අනෙකෙකු වහල්භාවයට හෙළන්නා තමන්ගේ විලංගු තනාගනී.’’
ශත වර්ෂ එක හමාරකින් පසුවත් මාක්ස්ගේ අවතාරය දකුණේ වීදිවල ඇවිදී.
2007 ජනවාරි
Print this post
Sunday, January 14, 2007
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment