Sunday, September 7, 2008

ආණ්ඩුවට අනුව සිතීමේ නිදහස

Print this post


රාවය | 2008 සැප්තැම්බර් 07
.......................................................................................................................................

ඩ්වඩ් බර්නේස් වනාහී සිග්මන් ෆ්‍රොයිඩ්ගේ බෑණෙකි. නූතන ‛මහජන සම්බන්ධතා’ (PR - public relations) පිළිබඳ කර්මාන්තයෙහි පුරෝගාමියා සේ සැළකෙන්නේ ඔහු ය. විසිවන සියවසේ මුල් භාගයේදී බොහෝ ඇමරිකානු සමාගම් තම ප්‍රචාරණ කටයුතු සඳහා බර්නේස්ගේ විශේෂඥ ඥාණය පැතූහ. නාට්සින්ගේ යුදෙව් සංහාරක සැළසුම් සඳහා බර්නේස්ගේ Crystallizing Public Openion  කෘතිය ගොබෙල්ස් සිය අත් පොතක් සේ සැළකූ බව බර්නේස්ම පසුකලෙක ලීවේය. නිරවි යුද සමයෙහි බහුජන ආකල්ප ගොඩනගන්නේ කෙසේද යන්න ගැන ඇමරිකානු පාලක පන්තිය බොහෝ දේ උගත්තේද බර්නේස්ගෙනි. ‛සාමූහික මනස වැඩ කරන යාන්ත්‍රණය සහ චේතනාවන් තේරුම් ගන්නේ නම්, කෙනෙකුට සිය කැමැත්තට අනුව බහුජනයාට නොදැනෙන සේ ඔවුන් පාලනය කළ හැකි’ බව බර්නේස් ඇදහීය. 1928දී ලියූ ‛ප්‍රොපගැන්ඩා’ කෘතියේ බර්නේස් මෙසේ ලියයි: ‛‛අපේ යුගයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු දැන සිටිය යුතු වඩා වැදගත් කරුණ වන්නේ මහජනයා සතුටු කරන්නේ කෙසේද යන්න නොවේ, මහජනයා පොළඹවාගන්නේ කෙසේද යන්නයි.’’
  
පෙළඹවීමට හසුවන්නාගේ අනුදැනුමකින් තොරව ‛පොළඹවා ගැනීම’ මහජන මත පාලනයේ විචක්‍ෂණ විධියකි. ‛බහුජන අවශ්‍යතා’ තීරණය කිරීමේ බලය පාලකයින්ට ලැබෙන්නේ ඒ අනුව ය. රාජ්‍යයකට ප්‍රොපගැන්ඩා ව්‍යපෘති අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. ‛බහුජන කැමැත්ත’ කුමක්ද යන්න බහුජනයා දැනගන්නේ මේ ප්‍රොපගැන්ඩා ව්‍යාපෘති හරහාය. ඒ අනුව ‛මගේ කැමැත්ත’ නිෂ්පාදනය කෙරෙන්නේ මගෙන් පාරිබාහිරව ය. නමුත් එය මගේ කැමැත්තම බව මට ඒත්තු ගැන්වීම රාජ්‍ය ප්‍රොපගැන්ඩා ව්‍යාපෘති මගින් සිදු කෙරෙයි.


 අපේ යථාර්ථයන්ද මේ අනුව යයි. සති කිහිපයකට කලින් ‛රාවය’ පත්‍රයේම ‛ජන කරළිය’ තීරයෙන් යුද්ධය පිළිබඳ මහජන ආකල්ප විමසා තිබුණි. ‛මේ වර දෙකෙන් එකක් වනු ඇතැයි’ උද්වේගවත් අදහස් එහි පළ වී තිබිණ. දෙසතියකට කලින් නිමා වූ පළාත් සභා මැතිවරණයන්ගේ ප්‍රතිඵලයද මේ ‛දෙකෙන් එකක්’ දැක බලා ගැනීමේ අභිලාෂය පෙන්නුම් කළේ යැයි දැන් පොදු වශයෙන් පිළිගැනේ. ඒ බව කහටගස්දිගිලියේ හෝ කොළොන්නේ ඡන්දදායකයා නොකී බව ඇත්තකි. නමුත් ඡන්දය දැමීමේදී තමන් එසේ සිතූ බව දැන් ඔවුහු සිතති. ඒ අනුව බලතොත් උතුරේ යුද්ධය දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබිඹුවකි. නැතහොත් යුද්ධය වනාහී දකුණේ ප්‍රජාතාන්ත්‍රික කැමැත්ත උතුරේදී ප්‍රචණ්ඩව ප්‍රකාශයට පත්වීමකි. ‛යුද්ධයට අපේ විවෘත පක්‍ෂපාතීකම ප්‍රකාශ යුතුයැ’යි එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන කමිටු සාමාජිකයින් යුද්ධ කරන්නේ එබැවිනි. ‛පළාත් සභා මැතිවරණය යුද්ධය ගැන මහජන මත විමසීමක් බව කලින් කීවේ නම් තමන්ද ඊට පක්‍ෂ වන බව’ට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා කියන්නේද එබැවිනි. මේ අනුව යුද්ධයට පක්‍ෂ වීම හෝ විපක්‍ෂ වීම අපේ මාධ්‍ය සංවාදයන් තුළ  අන්තයන් වූයේ අතීතයේදී ය. දැන් විවාදය යුද්ධයට පක්‍ෂ වීම හෝ පක්‍ෂ වීම අතර ය. මධ්‍යම රාත්‍රිය වනතුරු සංවාද කොට තෝරා ගන්නට ඇති විකල්ප වන්නේ ඒ දෙකින් එකකි. එක්කෝ ශ්‍රීලනිපය පැත්තෙන් යුද්ධයට පක්‍ෂ විය යුතුය. නැතහොත් එජාපයේ හෝ ජවිපෙ පැත්තෙන් යුද්ධයට පක්‍ෂ විය යුතුය.
 
මේ ක්‍රීඩාව ගැන කීර්තිමත් ඇමරිකානු බුද්ධිමතෙකු වන චොම්ස්කි මෙසේ ලියයි: ‛‛ප්‍රජාතන්ත්‍රික සමාජයන් තුළ මහජන හඬට ඉඩ ලබාදීම යටතේ, පාලකයින් කරනුයේ ඒ හඬ කියන දේ පාලනය කිරීමයි. වෙනත් වචනවලින් කිවතොත්, ඔවුන්ගේ සිතීම පාලනය කිරීමයි. මෙය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ බොහෝ ආකල්පයන්ට ඉඩ ලැබෙන බව හැඟවෙන දේශපාලන විවාදයන් නිර්මාණය කොට, ඒ විවාදයේ පරාසය පටු කිරීමයි. ඒ අනුව විවාදයේ යෙදෙන දෙපාර්ශ්වයම නිශ්චිත උපකල්පනයන් කිහිපයක් පිළිගත යුතුය. රාජ්‍ය ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතියේ පදනම වන්නේ ඒ උපකල්පනයන් ය. ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිය පිළිගන්නා තාක් දුරට විවාදයන්ට අවසර ලැබේ.’’
 
යුද්ධය හරියට කිරීම සහ වැරදියට කිරීම පිළිබඳ ස්ථාවරයන් මත රූපවාහිනී බිලියඩ් මේස වටා රොක් වී දෙතුන් පැයක් කෙස් පැලීම පිටුපස පවතින ඇත්ත මෙයයි. මේ සංවාද තුළ යුද්ධයේ අවශ්‍යතාව පිළිගත් උපකල්පනයකි. දිග්ගැසෙන උද්වේගී විවාදයන් එය කරන ආකාරය ගැන ය. කොයි තර්කයත් අවසාන වටයේදී ආණ්ඩුවේ ඔඩොක්කුවට වැටෙන්නේ ඒ නිසාය. මේ විකට සංවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයත් රැකෙයි. ආණ්ඩුවත් රැකෙයි. ‛ඔබ මා අනුව සිතා ඔබට අනුව කතා කරන්නැ’යි රජය කියයි. ‛අපි කතා කරන්නේ අපි කැමති දේ යැ’යි ජනයා සිතයි.
 
පළ කෙරෙන අදහස්වල පරාසය තීරණය කරන්නේ සිතීමේ පරාසය විසිනි. සිතීම පාලනය කරන්නට සමත් ආණ්ඩුවකට ප්‍රකාශනය නිදහස්ව පවත්වා ගැනීම කජු කෑමක් වන්නේ ඒ නිසාය. ‛අපි දිවි හිමියෙන් යුද්ධ කරමු’යි ආණ්ඩුව කියයි. ‛මේ ආණ්ඩුව හරියට යුද්ධ නොකරතැ’යි ආණ්ඩු විරෝධියා කියයි. ‛හරියට හෝ වැරදියට යුද්ධ කරන්නේ මේ ආණ්ඩුව’යැයි මහ ජනයා සිතයි. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ හතර මායිම මෙයයි. ඒ මායිමෙන් ඔබ්බෙහි ඇත්තේ ‛ත්‍රස්තවාදයයි’. මායිමෙන් අඩියක් පිටට තැබූ විට ප්‍රජාතන්ත්‍රවාදය ඇණ හිටින්නේ ඒ නිසාය. වැඩ වර්ජන ත්‍රස්තවාදයක් වන්නේ එහෙයිනි. ශිෂ්‍ය සටන් කොටි කොන්ත්‍රාත්තු වන්නේ එබැවිනි. මාධ්‍ය පිකටින් විජාතික කුමන්ත්‍රණයක් වන්නේද එහෙයිනි.
 
වහල්භාවයෙන් නිදහස වහළුන්ගේ අයිතියකැයි අපි අතීතයේදී කල්පනා කළෙමු. නමුත් දැන් අපේ වහල්භාවයේ රහස ඇත්තේ අපේ ‛නිදහස’ තුළ ය.



2008 සැප්තැම්බර්

Print this post

0 comments:

Post a Comment