Sunday, July 6, 2008

ජූලියේ නැග එන සටන් රැල්ල

Print this post


රාවය | 2008 ජූලි 06
.......................................................................................................................................

ටන් ඇවිලෙන ජූලියක් යළිත් එළඹ තිබේ.

වෘත්තීය සමිති 366ක පිටුබලය සහිතව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජූලි 10 වෙනිදාට කැඳවනු ලැබ ඇති එක්දින සමස්ත මහා වැඩ වර්ජනයට දැන් සියලු කටයුතු ලක ලෑස්තිව ඇති සෙයකි. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවක වැටුප් රුපියල් 5000කින්ද, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 500කින්ද වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් යෝජිත වර්ජනයට පදනම සපයයි. මේ හා සමාන්තරව වෘත්තීය සමිති 51කින් සැදුම්ලත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයද ස්වකීය වූ ඉල්ලීම් පාදක කොටගෙන වර්ජනයට එක්වීමට නියමිත ය. වර්ජන ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කිරීම අරමුණු කොටගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අගෝස්තු 4 වෘත්තීය සමිති ව්‍යාපාරය, වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරගැනීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව විසින් එදිනම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට කැඳවා තිබේ.


විසි අට අවුරුද්දකට පෙර එළඹි ජූලි මාසයකදී සාමූහිකව නැගී ගත් කම්කරු පන්ති ව්‍යාපාරය ජයවර්ධනගේ මර්දනයේ කටු සැමිටියෙන් පහර කා පසුබැස ගියේය. දැන් යළිත් ජූලියකි. නැගී එන කම්කරුවන්ගේ විරෝධතා කාහළය අසිරියක් වන්නේ එබැවිනි.
  
වර්ජනයට එරෙහි කම්කරු පන්ති විරෝධී දක්‍ෂිණාංශික වෙඩිමුර දැනටමත් දැල්වෙන්නට පටන් ගෙන තිබේ. ‛2018දී රට පාලනය භාරගැනීමේ අටියෙන්’ බිහි කොටගත් ජාතික නිදහස් පෙරමුණ විසින් ජූනි 30 වෙනිදා නුගේගොඩට කැඳවා තිබූ රැස්වීමේදී කතා කළ පෙරමුණේ සභාපති විමල් වීරවංශ, ‛‛ජීවන වියදම වැඩිවෙන බව කියමින් මර ළතෝනි දිය යුතු රටක් නෙවෙයි මේක...අද ජනතා විමුක්ති පෙරමුණ කොටි සංවිධානයේ අරමුණු ප්‍රතිනිර්මානය කරමින් යනවා. අනියමින් කොටි සංවිධානයේ සගයෙක් බවට පත් වෙමින් ඉන්නවා’’යි කී බව ජූලි 03 වෙනිදා ‛ලක්බිම’ පුවත්පත වාර්තා කොට තිබිණ. ජූලි 01 වෙනිදා ‛දිවයින’ පත්‍රය සිය කතුවැකියෙහිම මෙසේ ලීවේය: ‛‛වර්ජනය සංවිධානය කරන මහත්වරුන් කියන්නේ රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශ සේවක-සේවිකාවන්ගේ වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතු බව ය....මේ මොහොතේදී රුපියල් 5000කින් වැටුප් වැඩි කළ හැකිද? ස්ථිර වශයෙන්ම නොහැක. එසේ නම් මෙය විනෝදය සඳහා පවත්වන වර්ජනයක් විය යුතු ය....රටේ යුද්ධයක් පවතී. යුද්ධයේ අවසන් අවස්ථාව එළඹී ඇත. මෙය වැඩ වැරිය යුතු අවස්ථාවක්ද? රුපියල් 5000ක වැටුප් වර්ධකයක් දිය හැකි අවස්ථාවක්ද?...යුද්ධය නැවතී අවුරුදු තුන හතරක් ගිය විට නම් මේ ඉල්ලීම ඉතා හොඳ ය. දැනට නිෂ්ඵලය. මෙය ත්‍රස්තවාදියාගේ විනෝදය පිණිස වූ වැඩ වර්ජනයක් නොවිය යුතු ය.’’
  
ඇතැම් විට මේ එකා පසුපස එකා බැගින් කළඑළි බසින්නේ වර්ජකයින් ඉලක්ක කොට මුදාහැරීමට නියමිත මර්දනයේම කසකරුවන්ම විය හැකිය. නමුත් සරදම මෙයයි: ප්‍රතිගාමීත්වයේ මේ වෙඩිමුරය එල්ලවන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම පසුගිය කාලයේ වෙහෙස මහන්සියෙන් කපා දුන් දක්‍ෂිංණාංශික අගලෙනි. අවශ්‍ය නම් මෑත අතීතයේ සංක්‍ෂිප්ත උපුටනයක් වුව ඊට සාක්‍ෂි සපයනු ඇත. දෑවුරුද්දකට එපිටින් වූ යථාර්ථය කෙබඳු වීද?
  
2006 සැප්තැම්බර් 05 වෙනිදා වෘත්තීය සමිති 52කින් සැදුම්ලත් අගෝස්තු 4 වෘත්තීය සමිති ව්‍යාපාරය සහ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති කමිටුව ඒකාබද්ධව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට කැඳවා තිබිණ. එදිනම දියත් වූ දුම්රිය කම්කරු වර්ජනයට සමාන්තරව කැඳවුණු ඒ විරෝධතාව සංවිධානය කොට තිබුණේ අධිකරණ ක්‍රියාමාර්ග මගින් කම්කරු අයිතීන් කප්පාදුවට එරෙහිව ය. දුම්රිය වර්ජනයට සහ ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයට ස්වකීය වෘත්තීය සමිති සහභාගී කරවීමෙන් වැළකී සිටි ජනතා විමුක්ති පෙරමුණ, සැප්තැම්බර් 06 වෙනිදා කොළඹ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් දුම්රිය වර්ජනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි දිවුරා  කියා සිටියේය. සාකච්ඡාව ඇමතූ ජවිපෙ ජාතික වෘත්තීය මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත, ‛‛ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමක් වශයෙන් තමන් කිසිදු වැඩ වර්ජනයක් මේ මොහොතේ දියත් නොකරන බවට’’ සහතික විය.
  
එයින් දෙමසක් ඇවෑමෙන් නොවැම්බර් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ආ යුදවාදී අයවැයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය පාවිච්චි කළ ජවිපෙ, දෙසැම්බර් 07 වෙනිදා සිය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය හරහා අයවැයට එරෙහිව රට පුරා පත්‍රිකා දස ලක්‍ෂයක් බෙදන ලදී. ඒ වසරේම දෙසැම්බර් දෙවන සතියේදී මහරගම තරුණ මධ්‍යස්ථානයේ මුළුදුන් දේශය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණේ රැස්වීම ඇමතූ ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල්කාන්ත, ‛‛මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබිණ. ඒ නිසා 2007 වසර වැඩකරන ජනතාව වෙනුවෙන් අරගල කරන වසරක වේවි’’යි ප්‍රකාශ කළේය. නමුත් දෙසතියක් ඇතුළත දෙසැම්බර් 27 වෙනිදා ‛ලක්බිම’ පත්‍රය හා සාකච්ඡාවකට එක් වූ ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගම් නායක වසන්ත සමරසිංහ, ‛‛මේ රට ඉදිරියේ මේ මොහොතේ ඇති බරපතල බෙදුම්වාදී අරගලය පරාජය කිරීමට ආණ්ඩුව ගෙනයන යහපත් ක්‍රියාමාර්ගවලට සහයෝගයක් විදියටයි අපි අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නේ’’යි කියා තිබිණ. සිය සමාන්තර කම්කරු සමිති ක්‍රියාකාරිකයින්ට එරෙහිව රාජ්‍ය මර්දනය උසි ගන්වමින් සෞඛ්‍ය, දුම්රිය, ගුරු සහ වෙළඳ කලාප වෘත්තීය සමිති නායකයින්ගේ සේයා රූ සහිතව ඔවුන් කොටි ආධාරකරුවන් වශයෙන් හංවඩු ගසමින් 2007 වසරේදී දියත් කළ පෝස්ටර් ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ ඒ අතීත ප්‍රතිගාමීත්වයේ නින්දා සහගත කැළලකි.
   
පාරා වළල්ලක් වී දැන් ජවිපෙ හඹා එන්නේ කම්කරු විරෝධී දක්‍ෂිණාංශික අවි ගබඩා සිය වියදමින් පිරවූ ඔවුන්ගේම අතීත පාපයයි.
  
නමුත් ජවිපෙ හා අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් එළඹෙන ජූලි 10 වෙනිදාවේ කැඳවනු ලැබ ඇති සමස්ත මහා වැඩ වර්ජන ව්‍යාපාරය සම්මුති විරහිතව ආරක්‍ෂා කිරීමේ වගකීම මේ කිසිදු කරුණක් විසින් නිෂ්ප්‍රභා නොකරයි. ඊට එරෙහිව දියත් කරනු ලබන කවර හෝ රාජ්‍ය මර්දනයක් විසින් නිරායුධ කරනු ඇත්තේ සමස්ත කම්කරු පන්තියේ සාමූහික කේවල් කිරීමේ ශක්තියයි. වර්ගවාදයේ ධජ පතාක ළෙලවමින් කම්කරු පන්තියේ සටන්කාමයට එරෙහිව රාජ්‍ය  මර්දන සේනාංක හා දඩයම් සවාරි ගිය ජනතා විමුක්ති පෙරමුණේ අතීතය යනු ඔවුන් කර තබාගත් කුරුසියයි. ඒ කුරුසියටම තබා ජවිපෙ ඇණගැසීමට ඉඩ නොදීමේ වගකීම වර්ජන ව්‍යාපාරයට එක් වූ සියළු අවශේෂ කම්කරු පන්ති බලවේග විසින් දැනටමත් ඉටු කොට තිබේ.

ජවිපෙ කිසිදිනක නූගත් කම්කරු පන්ති දේශපාලනයේ පරාජය කළ නොහෙන සදාචාර ශක්තිය එයයි.


2008 ජූලි

Print this post

0 comments:

Post a Comment