Print this post
රාවය | 2008 ජූනි 22
.......................................................................................................................................
1994 මහ මැතිවරණ සමය ආසන්නයේදී වාසුදේව නානායක්කාර, නව සම සමාජ පක්‍ෂයෙන් බිඳී චන්ද්‍රිකා කුමාරණතුංගගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ලංකා සම සමාජ පක්‍ෂය හා එක්විය. වාසුගේ පෙරළිය හා එහි දේශපාලනය කෙරෙහි එල්ල කළ ප්‍රහාරාත්මක ලිපියක් එවකදී ‛හිරු’ පුවත්පතේ පළවිණ. ‛උදය කීර්ති පෙරේරා’ නමින් ලිපිය ලියන ලද්දේ විමල් වීරවංශ විසිනි.
ලිපියේ මාතෘකාව මෙසේය: ‛‛වාසු යනු කුමක්ද?’’
ඒ ලිපියට දැන් දහ හතර අවුරුද්දකි. විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් බිඳී රාජපක්‍ෂ රජයට පක්‍ෂපාතී ස්ථාවරයක් මත දැන් අලුත් පක්‍ෂයක් ආරම්භ කොට තිබේ. නව පක්‍ෂයේ ‛‛මංගල නියෝජිත සමුළුව හමුවේ’’ ඉදිරිපත් කරන ලද ‛‛දේශපාලන උපායමාර්ගික වාර්තාවේ’’ මෙසේ දැක් වේ:
‛‛වීරත්වය මුසු උදාර සටන් පාඨ වෙතින් උපදවන බල ශක්තිය තුළින් පමණක් සමාජ ජයග්‍රහණයන් නිර්මාණය නොකෙරේ. බොහෝ විට, ජයග්‍රහණය කරා වන ගමන් මග වැටී ඇත්තේ, වීරත්වය මුසු වාග් පාඨ මතින් පණ පෙවුණු විරෝධතා වෙතින් මෙන්ම, ‛පාවාදීම්’ වශයෙන් බැලූ බැල්මට යමෙකුට අවශ්‍ය නම් පහසුවෙන් නම් කළ හැකි, එහෙත් සැබෑ ලෙසම හරයෙන් එසේ නොවන සම්මුති, ඇතැම් විට කෙටි අවාසි සහගත විය හැකි විභේදනකාරී එකඟතාවන් හා සතුරා අන්ද මන්ද කරවීමට සමත් සූක්‍ෂම උපක්‍රම යනාදිය වෙතිනි...ඇතැම් විට මතුපිටින් අසෝබන යැයි පෙනෙන පියවරක් වුව නිවැරදි වන්නේ, ඒ මගින් තම උපායමාර්ගික දැක්මට අනුකූලව පොදු ජන අරගලය අඟලකින් හෝ ඉදිරියට ගෙනයාමට හැකි වන්නේද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරට.....සාපේක්‍ෂවය.’’
ඇතැම් විට, 1994දී වාසුදේවගේ පෙරළියට වුවද කදිමට ගළපාලිය හැකිව තිබූ මේ වාක්‍ය කිහිපයේ සාරය විසින් දැන් මතුකරන සරදම්කාරී ප්‍රශ්නය මෙබඳුය: ‛‛විමල් යනු කුමක්ද?’’ - අතීත දවස් වනාහී අනු පිළිවෙළින් පෙරළා බැලිය හැකි පොතක් වී නම්, මේ ප්‍රශ්නය නොවැදගත් වන්නට ඉඩ තිබිණ. නමුත් දශක එක හමාරකට එපිටින් වූ අපේ අතීතය දැන් ශෝකී අවතාරයක් මෙනි. එය අපේ ඇස නොගැටීමේ වේදනාවෙන් අප අවටම සැරිසරයි.
17 වසරකට පෙර මා දැන හඳුනාගත් විමල් විශාල ආත්මයක් තිබූ කුඩා මිනිසෙකි. සංහාර සමයකදී මාවත්, ලඳු ලැහැබ්, වන මූකලන්වල මරා පුළුස්සා දැමූ සිය දහස් සංඛ්‍යාත මිනිසුන් පිළිබඳ දිවා රෑ ඇවිළුණු මතකයන්, ඒ ආත්මය තුළ නිධන්ව තිබිණ. එය, මළවුන් කසළ කඳු මෙන් අමතක කර නොදැමූ සමයකි. මර්දනකාරී අග්නියේ ගිනියම වැදි වැදීත්, අත් නොහළ සිහින වෙනුවෙන් සිය දිවිය අවදානමේ ලා රහසේ සටන් කළවුන් බොහෝ දෙනා අතර විමල්ද වෙහෙස නොබලා වැඩ කළේය. අළු මතින් නැගීගත් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පැළපදියම් වන්නට මාන බැලූ ජාතික චින්තන වර්ගවාදයට එරෙහිව සරසවි වේදිකා මත ඔහුගේ හඬ අභියෝගයක්ව රැව් දුන්නේය. රහසිගත පක්‍ෂ කණ්ඩායමේත්, ‛හිරු’ පත්‍රයේත් වැඩ බරින් වෙහෙස වූ බදාදාවේ මැදියම් රැයක, මහරගම බෝකුන්දර විද්‍යාල මාවතේ එස්.ආර්.එස්. මුද්‍රණාලයේ බිම එළාගත් පත්තර කඩදාසි මත වැතිරී නිදිවැරූ තරුණයෙකුගේ නොතිත් සමාජ අනුරාගය පිළිබඳ සිතුවිල්ල, අතීත මතක අඳුරේ සදාතන ගිනි සිළකි.
1994 මහ මැතිවරණයෙන් පසු විමල් මහා දේශපාලකයෙකුගේ රූපකායක් දක්වා පරිණාමය විය. බල දේශපාලන විස්මලන්තයේ දොර සිංහල පහළ මැද පංතියේ කැරළිකාරී තරුණයෙකු හමුවේ විවර විණ. ‛හෘදය සාක්‍ෂිය යනු මිනිසාගේ මාළිමාව’ යැයි ඕලන්ද සිතුවම්කරු වින්සන්ට් වැන් ගෝ වරෙක ලීවේය. බලය හා පුද්ගල සමෘද්ධිය පිළිබඳ කෙටි මාවත් ගහණ ඒ විස්මලන්තයේදී විමල් අතින් පමණක් නොව, ජවිපෙ අතින්ද ඒ මාළිමාව ගිළිහිණ. කර කැපූ ජාතික බැනියමක් හැඳ ජාතික චින්තනයේ පීතෘවරුන් සමග රජයේ හමුදා කඳවුරු අතර යුදවාදී උද්වේගය පතුරුවන්නට සැරිසරණ විමල් විසින්, හුදු පුද්ගලයෙකුගේ පමණක් නොව, මුළුමහත් දේශපාලන ව්‍යාපාරයකම සදාචාරාත්මක වැහැරී යාමේ තරම හකුළා පෙන්වන ලදී. තම පක්‍ෂය තමන්ට කළ ‛‛කෙණෙහිලිකම්’’ ගැන කතානායකවරයාට පැමිණිලි කරන්නට අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුව තුළ නැගී සිටි විමල්, අනතුරුව එළඹි පැයේදී සිය ආපසු ගමන සම්පූර්ණ කළේය. උත්තර සමාජයක් පිළිබඳ වූ අචල විශ්වාසයෙන් සටන් කොට, වධ විඳ ජීවිත දුන් - සිරබත් කෑ පරම්පරා දෙකක ලක්‍ෂ සංඛ්‍යාත ගැහැණුන් සහ මිනිසුන්ගේ අනුපමේය පරිත්‍යාගයන්ගේ යශෝ කීර්තියේ මහිමයෙන් පාර්ලිමේන්තු සභාගැබට ඇතුල් වූ මිනිසෙකු, ‛‛උසස් පෙළ විභාගය අත් හරින්නට සිදුවීමේ හා සීගිරි නොයෑමේ පරිත්‍යාගයන්’’ පිළිබඳ උද්වේගයෙන් කතා කළේය. මහා දේශපාලකයෙකුට වසන් වූ ඔහුගේ අඟුටුමිටි ආත්මය, ගූඪ අඳුරින් පිරි ඒ සභා ගර්භය තුළ සැඟවෙන්නට තැනක් සොයන්නා සේ මට හැඟිණ.
සමාජ යුක්තිය හා මිනිස් සමානත්වය පිළිබඳ ආවේශයෙන් ඇවිළුණු සිය අතීත දවස් දෙස ඉඳහිට දවසකවත් හිස පොවා ආපසු බලන්නට හැකි එකම එක කවුළුවක් හෝ සිය ජීවිතය තුළ ඔහු ඉතිරි කොට තබාගත්තේදැයි මම නොදනිමි. අතීතයේ ඇතැම් දවසක නිමාවේදී, කොල්ලුපිටියේ 15වෙනි පටුමගේ කාර්යාලයෙහි කරදිය සුළඟින් තෙතබත් උඩුමාලයේ ඉදිරිපස පියගැට පෙළෙහි වාඩිවී, ‛ඔරු වසන්ත කාලම්’ චිත්‍රපටයේ ‛ආරාරෝ - ආරිවරෝ’ ගීතය ගයන සොඳුරු මිතුරෙකුගේ සෝබර හඬ දැන් දුර ඈත මතක මාත්‍රයකි.
විමල් යනු කුමක්ද?
විමල් යනු, ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් දශක එක හමාරක කාලය තුළ අභිරුචියෙන් ශක්තිමත් කළ ස්වයං ප්‍රශංසාවේත්, නග්න වර්ගවාදයේත්, දේශපාලන අවස්ථාවාදයේත් පුද්ගල ප්‍රකාශනයයි.
කීත් ගෝඩ්න්ගේ ‛මදර් නයිට්’ සිනමා පටයේ එන හොවාර්ඩ් කැම්ප්බල්, ඇමරිකානුවන්ට ඔත්තු සැපයීම පිණිස නාසි නිළධාරියෙකු වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් යුදෙව් විරෝධී මත පතුරුවන්නෙකි. ලෝක යුද්ධයෙන් පහළොස් වසරකට පසු දිවි නසා ගැනීමට පෙරාතුව අතීතාවර්ජනයේ යෙදෙන ඔහු මෙසේ කියයි: ‛‛ඔබ ගන්නා ව්‍යාජ වේශය පිළිබඳ ඔබ ප්‍රවේශම් විය යුතුය. මක් නිසාද යත්, අවසානයේදී ඔබ ඒ ව්‍යාජයම බවට පත්විය හැකි බැවිනි.’’
ඛේදනීය ඇත්ත එයයි.
‛ජාතික නිදහස් පෙරමුණ’ යනු විමල් වීරවංශගේ පුද්ගල උන්නතිකාමයේ තාර්කික අන්තයයි. එය ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි දේශපාලනයේ තාර්කික වන්දියයි.
2008 ජූනි
Print this post
Sunday, June 22, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment