Sunday, February 4, 2007

නිදහස ගැන කේන්තියෙනි

Print this post


මව්බිම | 2007 පෙබරවාරි 04
.......................................................................................................................................

නිදහස හැට වසරකට වඩා අවුරුද්දක් බාලය. ඒ නිදහසේ පනස් නව අවුරුද්දට ලංකාව දිනූ ප්‍රගතිය නන්විධය. සෙසු කාරණා සියල්ල පසෙකින් තැබුවද ලංකාව අංග ලක්‍ෂණ දෙකකින් බොහෝ රාජ්‍යයන් අභිබවා දැන් ඉදිරියෙන් හිඳියි. පළමුවැන්න ආරක්‍ෂණ වියදම සහ හමුදාවන්ගේ වර්ධනය අතිනි. දෙවැන්න, ඇමති මඩුල්ල හා කැබිනට් මණ්ඩලය අතිනි.
  
මිලියන තුන්සියයක් ජනයා වෙසෙන එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලය 21කි. මිලියන 82ක ජනගහණයක් සහිත ජර්මනියේ කැබිනට් මණ්ඩලය 16කි. ප්‍රංශයේ ජනයා මිලියන 62කි. ඇමති මඩුල්ල 21කි. දකුණු ආසියාව ගත්තද වෙනසක් නැත. පකිස්ථානයේ ජනගහණය මිලියන 168කි. ඇමතිවරු16කි. මිලියන 152ක් වන බංග්ලාදේශයේ ඇමතිවරු 35කි.  නේපාලයේ ජනයා මිලියන 26කි. ඇමතිවරු 16කි. ඉන්දියානු ජනගහණය බිලියන 1.1කි. සමස්ත ඇමති මණ්ඩලයම 73කි. මිලියන 20ක ජනගහණය සහිත ලංකාවේ දැන් කැබිනට් මණ්ඩලය පමණක් 53කි. සමස්ත ඇමති මණ්ඩලයම ගතහොත් 105 දෙනෙකි.


ඒ අනුව ආණ්ඩු පක්‍ෂ සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 86%ක්ම ඇමතිවරුය. 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක 46%ක්ම ඇමැතිවරුය. එයින් භාගයක්ම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ය. අවශ්‍ය නම් ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 47,407.50 බැගින්ද, නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 46,125 බැගින්ද ගණන් බැලිය හැකිය. ඒ වනාහී ජනපති, අගමැති, කතානායක, විපක්‍ෂ නායක සහ මන්ත්‍රීන්ටත් මේ සියල්ලන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයන්ටත් ගෙවනු ලබන වැටුප්වලටද, ඉන්‍ධන, දුරකථන සහ වෙනත් දීමනාවන්ටද අමතර වශයෙනි.
  
මේ බර ඉවසා දරාගැනීමේ එකම විශ්වාසනීය මාර්ගයක් වශයෙන් ඇත්තේ ‛ජාතියක් වශයෙන්’ කල්පනා කිරීමය. එසේ කල්පනා කළ විට වේලුපිල්ලේ ප්‍රභාකරන් අනෙකා බවට පෙරළේ. ඔහුගේ අනුගාමිකයෝ අප කාබාසිනියා කර දමන්නන් බවට පත් වෙති. නමුත් 2006 අවුරුද්දේ රජයේ බදු ආදායමින් පහෙන් පංගුවකට සමාන ධනස්කන්‍ධයක් දූෂණ සහ අක්‍රමිකතා වශයෙන් හරි හම්බ කරගැනීමට ප්‍රභාකරන් හෝ වෙනයම් අනුගාමිකයෙක් සම්බන්ධ බවට මේ වනතුරුත් ඔප්පු වී නැත. ඒ අනුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වාර්ෂික ඒකාබද්ධ වැය රුපියල් බිලියන 94කි. දූෂණ සහ අක්‍රමිකතා වශයෙන් ගිළගනු ලැබ ඇති මුදල රුපියල් බිලියන 100කි. කෙටියෙන් කිවතොත් රුපියල් මිලියන 2600ක ආර්ථිකයෙන් 4%ක්ම වෙන් කරනු ලැබ ඇත්තේ දූෂණ සඳහාය.
  
ජාතියක් වශයෙන් කල්පනා කළ යුත්තේ මේ කටුක යථාර්ථයන් අමතක කරනු පිණිසය. එසේ කල්පනා කළ විට දකුණේ දිළින්දන්ට වැදගත්ම ඉඩ කඩම් ඇත්තේ නැගෙනහිර දෙමළ ගම්බිම් වලයැයි පසක් වේ. දකුණේ ගේ දොර හදා ගැනීමේ මාර්ගයක් වශයෙන් උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා ගේ දොරවලින් පලවා හැරීමේ රස්සා සැපයෙන්නේ එහෙයිනි. මේ ලියන දෑ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය දුර්වල කිරීමක් වශයෙන් කල්පනා කරන්නන් වෙත්නම් දකුණේ දිනපතා පත්තර බැලීම ප්‍රමාණවත්ය. අවශ්‍ය නම් නිදසුන්ද දක්වමි. ජනවාරි 27 වෙනිදා ‛දිවයින’ පුවත්පතෙහි වාර්තාවක සිරස්තලය මෙපරිදිය: ‛නව නිවසේ සිහිනය ත්‍රස්ත වෙඩි පහරින් බොඳ වේ.’ ඒ හාරිස්පත්තුවේ බෝතොට කොමාන්ඩෝ රෙජිමේන්තු සෙබළෙකුගේ මරණය පිළිබඳ පුවතකි. එදිනම ‛ලක්බිම’ පුවත්පතේ වාර්තාවක සිරස්තලය මෙබඳුය: ‛නිවසකට අත්තිවාරම් දමා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිවයි - මව හඬා වැළපෙයි’. ඒ මීරිගම, නැලිගම විශේෂ කාර්ය බලකා සෙබළෙකුගේ මරණය පිළිබඳ පුවතකි. යථාර්ථය එයයි. මේ ලියන දෑ ජාතිද්‍රෝහී නම් යථාර්ථයද ජාතිද්‍රෝහී වේ.
    
අපේ වර්තමානය සෝපාකගේ ඉරණම බඳුය. වසර දෙදහස් පන්සියයක් පැරණි මෘත දේහයකට බැඳ දැමූ දකුණේ පීඩිත ජනයා මිනී කඳු ගහණ සොහොන් බිමක අත්හැර දමනු ලැබ ගොස් තිබේ. ඒ මග යන බුදුවරයෙකු නොමැති හෙයින් මළවුන් හා වාසය කිරීම දැන් ජීවන ඇබ්බැහිකමකි. මළවුන් නැරඹීමේත්, මළවුන් අතර ගැවසීමේත් වරප්‍රසාදය වරින් වර දකුණට ප්‍රදානය වන්නේ ඒ අනුවය. නිදහස පිළිබඳ පුරසාරම් හා වාගාලාප දෛනික ජීවන ඛේදවාචකයන්ට පිටුපාගත්  කුරිරු සරදමක් පමණි. යටත්ව සිටි අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයා කැඳවා පනස් වෙනි නිදහස් දිනය දා යාපනය යටත් කොට දකුණට ඈඳීමේ මංගල්‍යය මහනුවර පත්තිරිප්පුවේදී පවත්වන්නට සැළසුම් කළ පාලකයින් සිටි රටක නිදහස යනු නපුරු සිහිනයකි. ඒ සිහිනයෙන් කූද්දාලනු ලබන්නේ තවත් නපුරු සිහිනයක් කරාය.
  
පනස් නමවෙනි නිදහසත් ජාවාරම්කාර තක්කඩි දේශපාලකයින්ගේ වාර්ෂික දේශපාලන අතුරුපසකට වැඩිමනත් දෙයක් නොවේ. විජිතවාදීන් රටින් පළවා හරින්නට තරම් බලවත් පැතිරුණු දිගුකාලීන විමුක්ති අරගලයක් පිළිබඳ සමූහික මතකයක් අහිමි රටක නිදහස් දා සැමරෙන්නේ නැගෙනහිර දෙලක්‍ෂ පනස් දහසක් ජනයා ගේ දොරවලින් පලවා හැරීමේ අධිපතිවාදයේ අභිමානයයි. ඒ නිදහස දකුණේ ගම් නියම් ගම්, නගර වීදි යටකොට නැගී එන දුගීභාවයේ සහ පීඩිතභාවයේ යථාර්ථයන් වෙනස් නොකරයි. ජාතික කොඩිය ලැජ්ජාවෙන් ඔසවාගත් බඩගිනි හමුදාවන් රණවිරුවන්ගේ රයිෆල් බඳින්  පහර කාගෙන අගනුවර වීදිවලට එකා දෙන්නා බසින්නේ එබැවිනි.

අප පිටුපසින් ඇත්තේ 60,000ක් තරුණ ජනයා කබරුන්ගේ ප්‍රණීත භෝජනය බවට පත් වූ අතීතයකි. තිස් දහසක් තරුණ ජනයා සදාකාලික ආබාධිතයන් බවට පත්වූ අතීතයකි. 18,000ක් තරුණ ජනයා නිදහස වෙනුවෙන් මිනිස් බෝම්බ බවට පත් වූ අතීතයකි. නිදහස වනාහී ඒ අතීතයේ කොටසක් නොවේ. එය නොඑළඹුණු අනාගතයේ කොටසකි.




2007 පෙබරවාරි

Print this post

0 comments:

Post a Comment