Sunday, December 31, 2006

කියවීම, ලිවීම සහ සිතීම

Print this post


මව්බිම | 2006 දෙසැම්බර් 31
.......................................................................................................................................

සුනාමියට දෙවසරකි. ඒ නිමිති කොටගෙන ලක්‍ෂ පන්සියයක වියදමින් කළ බාමියන් බුද්ධ ප්‍රතිමා අනුරුවක් දෙසැම්බර් 26 වෙනිදා පැරෑළියේදී විවෘත කළ පාලකයෝ එදිනම උදෑසන 9.30ට හාමත සහ යුද ප්‍රහාර මැද සුනාමිය සැමරූ වාකරෛ කදිරවේලියේ සහ පාල්චෙනෛ ජනාවාස අවටට ගුවනින් බෝම්බ හෙලූහ.

කාළකණ්ණිභාවයේ සහ විනාශයේ පතුලට ලංකාව ගිලී යමින් තිබේ. බඩගිනි සිංහයින් විසින් වටලනු ලැබ මුග්ධභාවයේ කරවටක් ගිල්වා දැමූ සමාජයක් තුළ තර්ක බුද්ධිය සහ හෘදය සාක්‍ෂිය යනු මරණීය පාපයන් ය. අමතකව ගිය සාමූහික විනාශයන් අතර තවත් එක් පාඩමක් බවට සුනාමිය පත්ව ඇත්තේ එහෙයිනි.


 මහා භාණ්ඩාගාරයට අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.2ක් සුනාමියෙන් පසු ආධාර වශයෙන් ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් විසින් 2006 වසරේදී හෙළිදක්වන ලද වාර්තාවකට අනුව කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හැරුණු විට සුනාමියට ගොදුරු වූ සෙසු පළාත්වල ජනයාගෙන් 33%ක් සුනාමියට පෙරද ජීවත්වූයේද දරිද්‍රතා රේඛාවට පහළිනි. සුනාමියෙන් දෑවුරුද්දක් ගතවන විට දිවි ගළවාගත්තවුන් අතර දුගීභාවය 57%කින් ඉහළ ගොස් තිබේ. සුනාමියට පෙර 37%ක් වූ පුරුෂයින් අතර විරැකියා ප්‍රතිශතය සුනාමියෙන් පසු 54% ඉක්මවා වැඩිවෙමින් පවතී. එය ස්ත්‍රීන් අතරදී 42% සිට 53% දක්වා ඉහළ නැග තිබේ. දකුණේ සුනාමියට ගොදුරු වූ පවුල් 14,960ක් තවමත් දිවි ගෙවන්නේ තාවකාලික කූඩාරම් සහ මඩුවලය. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් දකුණේ සහ නැගෙනහිර පළාත්වල ග්‍රාම සේවක වසම් 14ක සුනාමියට ගොදුරු වූ පවුල් 600ක් ඇසුරෙන් කරන ලද සමීක්‍ෂණයකට අනුව ඉන් 30% කගේ දරුවෝ සුනාමියෙන් පසු තවමත් පාසල් නොයති. ගැඹුරු මිනිස් ඛේදවාචකයන් සංඛ්‍යා ලේඛණ සහ ඉලක්කම් බවට පෙරළු විට ඉන් ලේ නොගලයි. වේදනාවන් නොහැඟෙයි.
 
සුනාමියෙන් ඇති වූ විනාශයෙන් 65%ක් භුක්ති වින්දේ උතුරු සහ නැගෙනහිර ජනයාය. සුනාමිය වනාහී දෙමළ සහ මුස්ලිම් බෙදුම්වාදය අතු ගා දමන්නට ආ වෙස්වළාගත් ආශිර්වාදයක් යැයි ‛දිවයින’ පත්තරයේ ලියන්නෙක් ඒ දිනවල ලියුවේ එහෙයිනි. නමුත් ඒ වෙස්වළාගත් ආශිර්වාදය විසින් දකුණේ නිර්මාණය කළ නරකාදියේ හෙළන ලද දිළින්දෝ ඉන් දෑවුරුද්දකින් පසුත් දුගී වේදනා ගින්නෙහි දැවෙති. නැගෙනහිර පළාතේ උතුරු කෝරළේපත්තු කොට්ඨාශයට ඉහළින් පියාසර කරන රජයේ ප්‍රහාරක ජෙට් යානාවන් සුනාමියෙන් දිවි බේරාගත් දෙමළ දිළින්දන්ගේ හිස මතට එල්ල කරනු ලබන බෝම්බ ප්‍රහාරයන්ගෙන් මේ යථාර්ථයන් වෙනස් නොවේ.
 
සුනාමියෙන් දිවි ගළවාගත් වාකරෛ හෙවත් උතුරු කෝරළේ පත්තුවේ 12,000ක් ජනයාද, නැගෙනහිර මුත්තූර් ප්‍රදේශයෙන් අවතැන්ව පලා ආ 30,000කට වැඩි ජනයාද දැන් ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර මැද අවතැන්ව හාමත් දරු මල්ලන්ද රැගෙන තැන තැන පලා යති. මුලතිවු සිට උතුරු දිගට දිවෙන වෙරළ තීරයේ ජීවත්වන, සුනාමියෙන් මව් පියන් සහ දරු මල්ලන් අහිමි වූ ජනයා මුහුණ දෙන මරණීය යථාර්ථයන් මීට අමතර ඒවාය. ඔවුන්ගේ ජීවිත පසුපස විනාශයේ සුනාමි රළ තවමත් හඹා යමින් තිබේ. පහළොස් දහසකට ආසන්න දකුණේ දිළිඳු පවුල් තාවකාලික මඩු සහ කූඩාරම්වලට ගාල් කොට තබා සුනාමියෙන් දිවි ගළවාගත් උතුරේ සහ නැගෙනහිර ජනයා මත බෝම්බ හෙළීම පිණිස එකක් රුපියල් මිලියන 265ක් බැගින් මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීම නිදහස දිනන මගක් වශයෙන් සැළකේ. සුනාමියට පෙර පවා ජනගහණයෙන් 23%ක් හෙවත් හතරෙන් එකකට ආසන්න ජන කොට්ඨාශයක් නිල දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූ රටක එක් දිනකට දස ලක්‍ෂ 380ක් යුද්ධය සඳහා වැය කිරීම දේශමාමකත්වය වශයෙන් සැළකේ. ජනාධිපතිවරයාගේ වැටුප 300%කින්ද, ඇමතිවරයෙකුගේ වැටුප 210%කින්ද, මන්ත්‍රීවරයෙකුගේ වැටුප 165%කින්ද වැඩිකර ගන්නට තමන්ම අනුමත කරගන්නා රටක සුනාමිය දා රන් මාලයක් කඩා ගත්තවුන්ට මරණීය දණ්ඩනය නියමවීම යුක්තිය දිනාගැනීමකැයි සිතා  සියල්ලෝ තුටුපහටුව නැගිට අත්පොළසන් දෙති.
 
ගොඩගැලූ මුහුදු දියෙන් අහිමි වූ පනස් දහසකට ආසන්න ජනයාගේ ජීවිත විසින් අප යටකොට තබාගත් එකදු වහල් බන්‍ධනයක් හෝ බිඳ හෙළිය හැකි ප්‍රඥාව ලංකාවට සම්පාදනය කර දී නැත. ඒ වනාහී අතීත මිනී කඳු අතරට එක් වූ තවත් මෘත දේහ දස දහසක් පමණි. ආපදා කළමනාකරණය ජීවන මාර්ගයක් බවට පෙරළාගත් පසු දැන් යළිත් දේශප්‍රේමය දිළින්දන්ගේ දෛනික භෝජනය බවට පෙරළා දී තිබේ. බත්පතින්ද, ජීවිතවලින්ද යුද්ධය සඳහා කැපවීම දිළින්දන් වෙත ලැබෙන වරප්‍රසාදයකි.
 
නිදහස අගයන සියල්ලන් පැරණි ලේ වගුරේම ගිල්වා දැමීමට ඉතිහාසය යළිත් තර්ජනය කර සිටියි. ‛අපි ජීවත්වන්නන් වෙනුවෙන් ගරුත්වය ලබාදීමටත්, මිගියවුන් වෙනුවෙන් සත්‍යය ලබාදීමටත් බැඳී සිටිමු’යි වෝල්ටෙයර් ලීවේය. අපේ නරකාදිය ගරුත්වය සහ සත්‍යය නොහඳුනයි. එහෙයින් ජීවත්වන්නවුන් සහ මළවුන් අතර වෙනස කිසිවෙක් නොදනී.
 
ලංකාව දකුණු ආසියාවේ සාක්‍ෂරතාවයෙන් වැඩිම රට වශයෙන් සැළකේ. එය ආසියාවේ දෙවැනි ස්ථානයේ වැජඹේ. සාක්‍ෂරතාවය යනු සමාජයක් සතු ලිවීමේ සහ කියවීමේ හැකියාවයි.
 
නමුත් සිතීමේ හැකියාව එමගින් හෙළි නොවේ.


2006 දෙසැම්බර්

Print this post

0 comments:

Post a Comment