Print this post
මව්බිම | 2006 දෙසැම්බර් 24
.......................................................................................................................................
ජෝශ් රුෂින් පදක්කම් ලාභී එක්සත් ජනපද මෙරීන් සෙබළෙකි. 1990 මෙරීන් භටයෙකු වශයෙන් ඇමරිකානු හමුදාවන්ට එක් වූ ඔහු 2000 සිට 2002 දක්වා කාලය තුළ කැලිෆෝනියාවේ සැන් දියේගෝහි මෙරීන් සේනා මධ්‍යස්ථානයේ පොදු කටයුතු සම්බන්‍ධතා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධූරය දැරීය. අනතුරුව 2002දී ලොස් ඇන්ජලීස්හි මෙරීන් සේනාංකයන්ට අනුබද්ධ සිනමා සහ රූපවාහිනී කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධූරයට පත්කරනු ලැබිණ. බටහිර අප්‍රිකාවේ සිට කැස්පියානු කලාපයේ තජිකිස්ථානය දක්වා ඇමරිකානු මධ්‍යම ආඥාවේ අණසක පැතිරුණු භූ දේශපාලන කලාපයක් ආවරණය කිරීමට අදාළව ක්‍රියාකාරී වැඩ කොටසක් ඔහු විසින් ඉටුකරන ලදී. 2003 අවුරුද්දේ ඊනියා ‛ඉරාක නිදහස් මෙහෙයුම’ ආරම්භවනවාත් සමගම දෝහා කටාර්හි එක්සත් ජනපද මධ්‍යම ආඥා මූලයේ උපායික සන්නිවේදන උපදේශක සහ මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් කපිතාන් රුෂින් පත්කොට යැවිණ. ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමයක’ බැනරය පෙරටු කොටගත් අධිරාජ්‍යවාදී ඇමරිකානු ආක්‍රමණික ප්‍රතිපත්තිය වසන් කිරීමේ ජනමාධ්‍ය අර්ථකථන සපයන ලද්දේ ඔහු විසිනි.
ආක්‍රමණය ඇරඹීමත් සමගම ජාත්‍යන්තර සැටලයිට් රූපවාහිනී නාලිකා ඇන්ග්ලෝ - ඇමරිකානු සන්‍ධාන හමුදාවන්ගේ දෘෂ්ටි කෝණයට අනුව ලෝක ජනමතය නිෂ්පාදනය කිරීමේ වැඩ ආරම්භ කළේය. නමුත් ඇමරිකානු මධ්‍යම ආඥාව විසින් සපයනු ලබන අර්ථකථනයට අභියෝග කළ නව ප්‍රවෘත්ති නාලිකාවක් අරාබිකරයෙන්ම නැගී ආවේය. ඒ 1996 සිට දෝහා කටාර් මූලස්ථානය කරගනිමින් අරාබි බසින් විකාශන කටයුතු කළ අල් ජසීරා රූපවාහිනී නාලිකාවයි. ‛වික්‍රමාන්විත ඇමරිකානු හමුදා සේනාංකයන්ගේ’ අතවැසි බටහිර මාධ්‍ය සේනාංකයන්ට එරෙහිව ආක්‍රමණයට ගොදුරුවූ ජනයා පෙළන වේදනාවන්ගේ දෘෂ්ටිකෝණය අල් ජසීරා නාලිකාව ඔස්සේ අරාබි ලෝකය වෙත විසුරුවා හැරිණ. නමුත් ඒ සඳහා බරපතල මිලක් නියමව තිබිණ. 2001 නොවැම්බරය වනවිටත් අල් ජසීරා කාබූල් ප්‍රධාන කාර්යාලය ඇමරිකානු මිසයිල් ප්‍රහාර විසින් විසුණු කොට තිබිණ. ‛අල් ජසීරා යනු අල් කයිඩා සංවිධානයේ නොනිල හොරණෑව’ බවට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ප්‍රසිද්ධියේ චෝදනා කළේය. 2003 අප්‍රේල් 08 වෙනිදා බැග්ඩෑඩ් අල් ජසීරා මූලස්ථානයට ඇමරිකානු යානා විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් කැමරා ශිල්පී තරීක් අයුබ් ඝාතනය කෙරිණ.
අල් ජසීරා මාධ්‍යකරුවන්ගේ අභියෝගාත්මක වාර්තාකරණ කාර්යය චිත්‍රපටයක් බවට පත්කිරීමට ඊජිප්තු සිනමාවේදිනියක් වූ ජෙහානි නුජායිම් තීරණය කරන ලද්දේ මේ අතරවාරයේදීය. දෝහා කටාර්හි එක්සත් ජනපද මධ්‍යම ආඥාවේ මාධ්‍ය මධ්‍යස්ථානයේත්, කටාර්හි අල් ජසීරා විකාශන මූලස්ථානයේත් සිදුකෙරුණු මූලික රූපගත කිරීම් සඳහා සති හයක කාලයක් ගතවිණ. මාධ්‍යම ආඥාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ජෝශ් රුෂින් සහ අල් ජසීරා මාධ්‍යකරුවන් අතර උණුසුම් වාද විවාදයන් සජීවි ලෙස නුජායිම්ගේ කැමරාවට හසුවිය. 2004 සන්ඩාන්ස් සිනමා උළෙල නියෝජනය කළ අතිශයින් මතභේදාත්මක වාර්තා සිනමා කෘතිය බවට නුජායිම්ගේ Control Room චිත්‍රපටය පත් වූයේ ඒ අනුවය.
2004 වසරේ මැයි මාසයේදී ඇමරිකාවේ සුප්‍රකට ‛විලේජ් වොයිස්’ පුවත්පත හා සාකච්ඡාවකට එක් වූ කපිතාන් ජෝෂ් රුශින් ඉරාක යුද්ධය සහ අල් ජසීරා රූපවාහිනී නාලිකාව පිළිබඳ ඇමරිකානුවන්ගේ ව්‍යාජ විශ්වාසයන්ට විවෘතව පහර දුන්නේය. බස්රා නගරයට සන්‍ධාන හමුදාවන් කළ බෝම්බ හෙළීම්වලින් ඝාතනය වූ සිවිල් වැසියන්ගේත්, සටන් බිමේදී මියගිය ඇමරිකානු සෙබළුන්ගේත් මෘත දේහ පිළිබඳ අල් ජසීරා නාලිකාවෙන් විකාශනය වූ රූප රාමු නොදකින ඇමරිකානුවන් යුද්ධයේ ඇත්ත නොදන්නේ යැයි චෝදනා කරමින් ඔහු මෙසේ කීවේය: ‛‛ඇමරිකානුවන්ට යුද්ධය කියන්නේ නරකාදියක් නොවේ. ඇමරිකාවේදී අපි ලේ නොදකිමු. වේදනාවන් නොදකිමු. අප දකින්නේ දේශප්‍රේමය පමණි.’’
ඔහුගේ ප්‍රකාශය පෙන්ටගනය කුපිත කළේය. මාධ්‍යයන්ට ප්‍රකාශ නිකුත් කිරීම සපුරා තහනම් කරමින් ඔහුට එරෙහිව ඇමරිකානු ආරක්‍ෂක බලධාරීන් විසින් නියෝග පනවන ලදී. 2004 ඔක්තෝබරයේ කපිතාන් රුශින් දහ හතර වසරක ක්‍රියාන්විත හමුදා සේවය අතහැර දමා ගෙදර ආවේය. අනතුරුව ඇමරිකාව පුරා ඇවිදිමින් ඇමරිකානුවන් නොදුටු ඉරාක යුද්ධය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය. ප්‍රතිචාර වශයෙන් දක්‍ෂිණාංශික ඇමරිකානු යුදවාදය රශින් වෙත බුරා පැන්නේය. අන්තර් ජාලයේ ඔස්සේ ඔහුට එරෙහිව එල්ල වන මරණ තර්ජන සුලභ විය. ඔහු ‛ඉවත් කර දැමීමේ කාර්යය’ ඉක්මන් කරන මෙන් දක්‍ෂිණාංශිකයෝ ඇමරිකානු විශේෂ මෙහෙයුම් බලකායන්ට විවෘතව ආයාචනා කළහ. නමුත් රුශින් යටත් වීම ප්‍රතික්‍ෂේප කළේය.
2006 නොවැම්බර් 15 වෙනිදා බටහිර මාධ්‍ය අධිරාජ්‍යයන් කැළඹී ගියේය. ඒ විසි හතර පැය පුරා ඉංග්‍රීසී බසින් විකාශනය වන අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවේ ආන්දෝලානාත්මක ආරම්භයෙනි. ඇමරිකානු මධ්‍යම හමුදා ආඥාවේ හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ජෝෂ් රුශින් අල් ජසීරාවේ මිලිටරි විශ්ලේෂකයෙකු සහ වාර්තාකරුවෙකු වශයෙන් වැඩ භාරගත්තේය. ‛අල් ජසීරාවට එක් වූ ද්‍රෝහී ඇමරිකානු වඳුරා’ ලෙස දක්‍ෂිණාංශික ඇමරිකානුවන්ගේ ගැරහුමට පාත්‍ර වූ රුශින් මේ දෙසැම්බරයේදී මෙසේ කියා තිබිණ: ‛‛පණිවුඩය පාලනය කරන මාධ්‍ය ප්‍රකාශකයෙකුගේ සිට පණිවුඩය මුදා හරින මාධ්‍යකරුවෙකු බවට පරිවර්ථනය වීම මට අභියෝගයකි.’’
කපිතාන් රුශින් ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියට එරෙහි ලිබරල් කැරළිකරුවෙකු බව ඇත්තකි. නමුත් මාධ්‍යකරුවන් හමුදා ප්‍රකාශකයන් මෙන් හැසිරෙන දකුණු ආසියාවේ ඉහළින්ම හමුදාකරණය වූ රටක දී මාධ්‍යකරුවෙකු බවට පත් වූ හමුදා ප්‍රකාශකයෙකු වැදගත් පාඩම් උගන්වයි. වාර්ගික අධිපතිවාදය සාඩම්බර පදක්කමක් සේ සැළකෙන වකවානුවක දේශප්‍රේමය සහ මිනිස් හෘදය සාක්‍ෂිය අතර සමාදාන විරහිත අරගලය අත් නොහැර සිටීම පිළිබඳ පාඩම ඉන් පළමුවැන්නයි. දෙවැන්නක්ද තිබේ.
‛මට ප්‍රජාතාන්ත්‍රික මාධ්‍ය සම්ප්‍රදායක් අවශ්‍යවන්නේ සෞඛ්‍ය ආරක්‍ෂණයක් රහිත මිලියන 45ක දිළිඳු ඇමරිකානුවන් එය තමන්ගේ වරදක් ලෙස කල්පනා කරන බැවිනි’යි ඇමරිකානු ලේඛිකාවක් මෑතකදී ලීවාය. අපට එවැන්නක් අවශ්‍යව ඇත්තේ මව්වරුන් 22%ක් මන්ද පෝෂනයෙන් පෙළෙන රටක රුපියල් බිලියන 139ක ආරක්‍ෂක වැයක් දැරීම අත්‍යවශ්‍ය බව දිළින්දන් කල්පනා කරන බැවිනි. ළදරුවන්ගෙන් 17%ක් අපේක්‍ෂිත අවම බර නොමැතිව උපදින රටක රටේ පාලකයාට මිලියන 400ක් වැය කොට ආරක්‍ෂක බංකරයක් තැනීම ජාතික අවශ්‍යතාවක් වශයෙන් බොහෝවුන් සළකන බැවිනි. අත්‍යවශ්‍ය බඩු මිල වසරක් ඇතුළත 12%කින් වැඩි වී තිබියදී ‛රුපියල් 29,000කින් අපිට ජීවත්වන්නට පුළුවන්දැයි’ අසමින් දෙගුණයකින් වැටුප් වැඩිකරගන්නට තමන්ට අයිතියක් ඇතැයි මැති ඇමතිවරුන් කල්පනා කරන බැවිනි.
ද්‍රෝහීභාවයේ හංවඩුව නොවැදී මේ ඇත්ත කියන්නට බැරි බව තේරුම් ගැනීමට එඩිතරකමක් අවශ්‍ය වේ. කපිතාන් ජෝෂ් රුශින් උගන්වන දෙවැනි වැදගත් පාඩම එයයි.
2006 දෙසැම්බර්
Print this post
Sunday, December 24, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment