Print this post
මව්බිම | 2006 අගෝස්තු 13
.......................................................................................................................................
දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහි ටෙස්ට් ජයග‍්‍රහණයත්, කොටින්ට එරෙහි මාවිල් ආරු විජයග‍්‍රහණයත් එකම දිනවල දකුණේ ජන ජීවිතය නිවා සනහා තිබේ. ෆවුසි ඇමතිවරයාගේ සිට දේශපාලකයෝ බොහෝමයක් දෙනා සරවනමුත්තු කී‍්‍රඩා බිමත්, ති‍්‍රකුණාමලයේ සංග‍්‍රාම බිමත් අතර යුහුසුළුව දුව පැන ඇවිදිමින් ‘ජයග‍්‍රහණයන්ට’ අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයූහ. සෑම පැයකටම මිනිත්තු පහක් යුද තොරතුරුද, මිනිත්තු පනස් පහක් කී‍්‍රඩා තොරතුරුද රසවිඳ දිවි ගෙවීම අපේ රටවල රජයන ප‍්‍රමෝදජනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්‍ෂණයකි. ඒ අනුව දැන් ලංකාව මුහුණ දීගත් අභියෝගයන් දෙවැදෑරුම්ය. එක් අතකින් ලෝක කුසලාන තරඟාවලියකි. අනෙක් අතින් හතරවැනි ඊළාම් යුද්ධයකි. එක් ජයග‍්‍රහණයක් මුත්තයියා මුරලීදරන් මත රඳා පවතී. තව ජයග‍්‍රහණයක් විනායගමූර්ති මුරලීදරන් මත රඳා පවතී.
නමුත් සරළ ආවේගයන් යටින් සැඟවුණු ලේ වැකි යථාර්ථයන් කිසිවෙකුත් නොදකී. මාවිල්ආරු අර්බුදය පිළිබඳ කොළඹ උද්වේගකර පුවත් සිරස්තල විසින් වඩා බිහිසුණු මිනිස් ඛේදයන් යටගසනු ලබයි. ඒ ඛේදයන්ගේ ඉතිහාසය මාවිල්ආරු අර්බුදයේ ඉතිහාසයට වඩා පැරණි එකකි. ඒ අර්ථයෙන් බැලූ විට මාවිල්ආරු මුල්කොටගෙන ඇදී යන යුද්ධය කලින්ම ලියා තබන ලද්දකි. එය එක්කෝ මීට වසර විස්සකට පෙර පුපුරා යාමටද ඉඩ තිබිණ. නැතහොත් එය වසර විස්සකින් පසු පුපුරා යාමටද ඉඩ තිබිණ. නිදහසින් පසු ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහ ලබමින් දියත් වූ නැගෙනහිර පළාතේ සිංහල ජනපදකරණ කි‍්‍රයාවලිය ගැන ඇත්ත කතාව එතරම් විරෝධාර පුරාවෘතයක් නොවේ. එය දුගී සිංහල ජනයා - දිළිඳු දෙමළ ගොවි ජනයාට එරෙහි අත් මුගුරක් ලෙස යොදා ගනිමින් අනාගත යුද්ධයක ගොදුරු බවට පත්කළා වූ බල සැලැස්මකි.
සිවිල් ජනයා යුද්ධයේදී ඉත්තන් වශයෙන් යොදා ගැනීමේ රාජ්‍ය සැළසුම්වලට ඉතිහාසයක් තිබේ. එය ජාතිකවද පැරණි එකකි. ජාත්‍යන්තරවද පැරණි එකකි. වියට්නාමයේ ‘උපායික ජනපද වැඩසටහන’ (Strategic Hamlet Programme) එක් නිදසුනකි. ඊශ‍්‍රායලයේ රෝධක කලාප (Buffer Zones) තවත් නිදසුනකි. මේ නිදසුන් දෙකෙහිදීම සිවිල් ජනාවාස ගොඩනැංවීම සිදුකරන ලද්දේ සුබසාධන උපාය මාර්ගයක කොටසක් වශයෙන් නොවේ. ව්‍යාප්තවාදී යුද උපාය මාර්ගයක කොටසක් වශයෙනි. මින් පළමුවැන්න 1962දී කි‍්‍රයාවට නංවන ලද්දේ එක්සත් ජනපද උපදෙස් ලැබූ දකුණු වියට්නාම් රජයේ මූලිකත්වයෙනි. ඒ යටතේ කොමියුනිස්ට් ගරිල්ලන්ගේ බලපෑම සහිත ප‍්‍රදේශවල ජීවත් වූ විශාල ගොවි ජනගහණයන් ඔවුන්ගේ මුල් ගම්බිම්වලින් මුලින් උපුටා දකුණු වියට්නාම රජයේ හමුදාවන් විසින් පාලනය කළ ප‍්‍රදේශයන් තුළ පදිංචි කරවනු ලැබිණ. ඒ කොමියුනිස්ට් ගරිල්ලන්ගේ සැපයුම් හා දේශපාලන ආධාර අඩපණ කරනු පිණිසය. ‘උපායික ජනපද’ වශයෙන් හඳුන්වන ලද්දේ මෙසේ ඇති කළ නව ජනාවාසයි. 1962 සැප්තැම්බර් මාසය වන විට මිලියන 4.3ක ජනයා එසේ යුදමය උවමනාවන් සඳහා මුල් ගම්බිම්වලින් ඉවත් කරනු ලැබූ අතර 1963 මැද භාගය වන විට එම ජන සංඛ්‍යාව මිලියන 8.5ක් තරම් විශාල එකක් විය.
ඊශ‍්‍රායෙලයේදී සිදුකරන ලද්දේ මෙහිම ප‍්‍රතිවිරුද්ධ කි‍්‍රයාමාර්ගයයි. වියට්නාමයේදී සැළැස්ම වූයේ කොමියුනිස්ට් සතුරාගේ දේශපාලන සටන් භූමියෙන් පිටතට ජනගහණය මාරු කිරීම (population transfer) යි. ඊශ‍්‍රායෙලයේදී සැළැස්ම වූයේ සතුරාගේ දේශපාලන සටන් භූමිය තුළට ජනගහණය මාරු කිරීමයි. ඒ අනුව පලස්තීන ජනයා විසින් පාරම්පරිකව හිමිකම් කියන්නා වූ ප‍්‍රදේශ තුළ යුදෙව් සිවිල් ජනයා පදිංචි කිරීම් සිදු කෙරිණ. ආක‍්‍රමණකාරී සැළැස්මක කොටසක් වශයෙන් පිහිටුවන ලද නව යුදෙව් ජනාවාස නොවැළැක්විය හැකි ලෙස පලස්තීන ගරිල්ලන්ගේ යුද ඉලක්ක බවට පෙරළිණ. ඊට මුහුණ දෙනු වස් නව ජනාවාසවල පදිංචි කරන ලද සිවිල් යුදෙව් ජනයා සන්නද්ධ කරනු ලැබිණ. පලස්තීන විමුක්තිකාමීන්ගේ සන්නද්ධ අභියෝගයට මුහුණ දෙනු වස් සිවිල් ජනයා යොදාගනිමින් ඇති කළ ‘රෝධක කලාප’ වූයේ මේවායි. ‘80 දශකයේදී අපකීර්තිමත් ඊශ‍්‍රායෙල් මිලිටරි උපදේශකත්වය ලබමින් ලංකාවේ නැගෙනහිර දී කි‍්‍රයාවට නංවන ලද්දේද මෙකී සැළසුම්වලම දිගුවකි.
නිදහසින් පසු ලංකාවේ තෙත් කලාපයේ ජීවත් වූ ජනගහණයෙන් හතරෙන් එකක් තරම් විශාල ප‍්‍රමාණයක් ජනපදකරණ වැඩසටහන් යටතේ වියළි කලාපය තුළට මාරුකළ බව බොහෝවුන් දැන සිටිනු විය හැක. නමුත් ඒ හේතුවෙන්ම දෙමළ ගොවි ජනයා කෙතරම් විශාල ප‍්‍රමාණයක් සිය පාරම්පරික වගාබිම්වලින් පලවා හැරියේද යන්න ඒ බොහෝවුන් නොදනී. තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය පමණක් වුවද මනා නිදසුනකි. මාවිල්ආරු අමුණද අයත්වන අල්ලෙයි සහ කන්තලෙයි ව්‍යාපාරය යටතේ එහි පාරම්පරිකව ජීවත් වූ දෙමළ සහ මුස්ලිම් ජනයාට ඉඩම් අයිතියෙන් 35%ක් හිමිවන විට නව ජානපදිකයින් වශයෙන් ගෙන ආ සිංහල ගොවි ජනයාට ඉඩම් අයිතියෙන් 65%ක් හිමිවීමේ අයුක්තිය පුපුරා යාම විස්මයක් විය හැක්කේ කවරෙකුටද? මහවැලි එල් කලාපයට අයත්වන වැලිඔය සහ පදවිය ආශි‍්‍රත කොක්කුතෝඩුවායි, තෙන්නමරවාඩි, කෝකිලායි සහ නයාරූ ආදී ගම්මානවල ජීවත් වූ දෙමළ ජනයා 1984 මැයි මාසයේදී වවුනියාව සහකාර පොලිස් අධිකාරිවරයාගේ අණින් පලවා හැර එකී ගම්බිම් සිංහල ජනයා අතර බෙදා දීමේ අයුක්තිය පුපුරා යාම විස්මයක් විය හැක්කේ කවරෙකුටද?
මාවිල්ආරු අර්බුදය වනාහී නැගෙනහිර පළාතේ ගැඹුරෙහි කැකෑරෙන මහා ගිනි කන්දක දුම් රොටු පමණි. දකුණේ ගෙයක් දොරක් පාසා ඉකුත් සති කිහිපය තුළ ළෙලදුන් කඩදාසි දුටුගැමුණුවාදයේ ධජය පීඩිත සිංහලයාගේ විමුක්තිය සාදනු ඇතැයි සිතීම කෙතරම් ජනපි‍්‍රය අදහසක් වුවද ඒ හේතුවෙන් එය නිවැරදි අදහසක් බවට පත් නොවේ. එක්කෝ එය විචාර බුද්ධියෙන් පසක් කරගත හැක. නැතහොත් එය මිනී කඳු නගිමින් පසක් කරගත හැක.
2006 අගෝස්තු | කොළඹ
Print this post
Sunday, August 13, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment