Sunday, October 29, 2006

පූරාණ රෝමය සහ නූතන ලංකාව

Print this post


මව්බිම | 2006 ඔක්තෝබර් 29
.......................................................................................................................................

1840න් ඇරඹි දශකයේ අවසන් භාගය වන විටත් මාක්ස් කල්පනා කරන ලද්දේ ඉංග්‍රීසි කම්කරු පන්තිය විසින් අයර්ලන්ත ජනයාගේ නිදහස සාක්‍ෂ්‍යාත් කර දෙනු ඇති බවය. විශේෂයෙන්ම ඉංග්‍රීසි කම්කරු පන්තිය මත පදනම්ව ගොඩනැගුණු චාටිස්ට් ව්‍යාපාරයේ විප්ලවීය විභවය පිළිබඳ සුබවාදීව බලාපොරොත්තු තැබූ ඔහු එංගලන්තයේ සමාජ විප්ලවය අයර්ලන්ත ජාතික නිදහසේ යතුර වනු ඇතැයි විශ්වාස කළේය. නමුත් එතැන් සිට විසි අවුරුද්දක් ඇතුළත මාක්ස් සිය ස්ථාවරය අංශක 180කින් කරකවනු ලැබුවේය. යුරෝපය පුරා නැග ආ විප්ලවීය වඩදිය 1840 දශකයේ අවසානයත් සමඟ බැස යාමත්, එංගලන්තය තුළම පවා චාටිස්ට් ව්‍යාපාරයේ පරාජයත් සිය ස්ථාවරයන් පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට ඔහුට බලකළ විෂයමූල වර්ධනයන් විය. 1869 දෙසැම්බරයේදී පළමු ජාත්‍යන්තරයේ මහා සභා වාරයට තමන් අයර්ලන්තය පිළිබඳ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන නව යෝජනාව පිළිබඳ එංගල්ස්ට හෙළිදරව් කරමින් මාක්ස් මෙසේ ලියා යැවීය:

‛‛ලබන අඟහරුවාදා මා ප්‍රශ්නය ඉදිරිපත් කරන ආකාරය මෙයයි: අයර්ලන්තයට ‛ජාත්‍යන්තරවාදය’ සහ ‛මානුෂික’ වූ සාධාරණත්වය සම්බන්‍ධයෙන් වූ වගන්ති වෙනුවට අයර්ලන්තය සමග තමන්ගේ වර්තමාන සම්බන්‍ධයෙන් ගැළවී යාම ඉංග්‍රීසි කම්කරු පන්තියේ සෘජු සහ පැහැදිලි යහපත සඳහාම වන්නේය. ඉංග්‍රීසි කම්කරු පන්තියේ බලපෑම් මගින් අයර්ලන්තයේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම කළ හැක්කක් වශයෙන් මම බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කළෙමි. නිව්යෝක් ඩේලි ට්‍රිබියුන් පත්‍රයෙහි මෙම අදහස මම නිරන්තරයෙන් ඉදිරිපත් කළෙමි. ගැඹුරු හැදෑරීම විසින් මට ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තේ එහිම ප්‍රතිලෝමයයි. අයර්ලන්තයෙන් ගැළවෙන තුරු ඉංග්‍රී සි කම්කරු පන්තිය කිසිවක්ම අත් කරගනු නැත. ලීවරය අයර්ලන්තයට ආදේශ විය යුතුය.’’


මාක්ස් අදහස් කරන ලද්දේ කුමක්ද? එංගලන්තය තුළ ඉංග්‍රීසි කම්කරු පන්තිය විප්ලවීය සමාජ විපර්යාසයක් සිදු කරනු ඇතැයි ඔහු මුලින් අපේක්‍ෂා කළේය. එංගලන්තය තුළ ඉංග්‍රීසි ධනපති පන්තියේ ආධිපත්‍යය බිඳ හෙළීම අයර්ලන්තය තුළ ඔවුන් විසින් පවත්වාගෙන යනු ලැබූ ග්‍රහණය දුබල කොට එහි පාලන තන්ත්‍රය ඇද වට්ටනු ඇතැයි ඒ අනුවම කල්පනා කළේය. නමුත් වැඩි දුර අධ්‍යයනයන්ගෙන් පසු නිවරදි වන්නේ තම පළමු අදහස නොව, එහි සම්පූර්ණ ප්‍රතිලෝම අදහස බැව් ඔහු පසක් කරගත්තේය. ඒ අනුව අයර්ලන්තය ඉංග්‍රීසි විප්ලවයේ යතුර බව ඔහු ලීවේය. ඉංග්‍රීසි පාලනයේ වඩාත්ම මර්දනකාරී හා පසුගාමී බලයන් ස්ථාවරව පවතින්නේ අයර්ලන්තය මත පවත්වාගෙන යනු ලබන ග්‍රහණය තුළ බව දුටු ඔහු එය අයර්ලන්තයේදී බිඳ වැටුණහොත් එංගලන්තයේදීද එය නිසැක වශයෙන්ම බිඳ වැටෙනු ඇතැයි ලීවේය. එය එංගලන්තයේදී බිඳ නොවැටෙන්නේ මන්දැයි පැහැදිලි කරමින් ඔහු මෙසේ ලීවේය: ‛‛ඉංග්‍රීසි ආණ්ඩුවට සුවිශාල ස්ථාවර හමුදාවක් පවත්වාගෙන යාම පිළිබඳ ඇති එකම නිදහසට කරුණ අයර්ලන්තය වන අතර අවශ්‍යතාවක් වෙතොත් ඉංග්‍රීසි කම්කරුවන්ට එරෙහිව යොදවන්නේද එම හමුදාවන්මය. වර්ථමානයේ එංගලන්තය වඩා වැඩි ප්‍රමාණයකින් පුරාණ රෝමයට සමානය. අනෙකෙකු වහල්භාවයට හෙළන්නා තමන්ගේ විලංගු තනාගනී.’’
  
මේ දීර්ඝ න්‍යායික උපුටා දැක්වීම කුමක් සඳහාද? අපේ සමකාලීන යථාර්ථයන් තේරුම් ගැනීම සඳහා තවදුරටත් එහි ඇති අදාළත්වය නිසාය. දෙමළ ජනයාගේ දේශපාලන නිදහස පිළිබඳ ගැටළුව ලාංකීය සමාජ විපර්යාසයේ හරි මැද පවතින ගැටළුව බවට පත්ව ඇති නිසාය. යාපන අර්ධ ද්වීපයේ තුනෙන් එකක භූමි භාගයක් පුරා පැතිරගත් වර්ග කිලෝ මීටර් 145කට ආසන්න භූමියෙහි ඇති දෙමළ ජනයාගේ ගේ දොර, කුඹුරු ඉඩ කඩම් සියල්ලට ඇතුළුවන ඉඩ අවුරා 40,000ක රාජ්‍ය හමුදා වාඩි ලා හිඳියි. එහි කලින් දිවිගෙවූ 30,000කට ආසන්න පවුල්වලින් 29,500ක් තැන් තැන්හි අවතැන්ව හිඳියි. එහෙයින් ගම්බිම් අහිමි වූ ඒ ජනයාගේ තරුණ දරු පරම්පරාවෝ මරාගෙන මැරෙන්නට තීරණය කරති. ඒ හේතුවෙන් දකුණේ වීදි හා මංසන්‍ධියක් පාසා මුර කපොළුවලින් බැස පීඩා විඳින්නට දකුණේ ජනයාට සිදු වේ. ඒ දෙමළ ජනයාගේ නිදහස නොතකන හෙයිනි.
  
අගෝස්තුවේදී එළිදුටු විශේෂ ගැසට් නිවේදනයකින් වැඩ වර්ජනය කිරීමේ අයිතියට වැට බඳින ලද අතර වර්ජකයින්ගේ දේපළ රාජ සන්තක කිරීමේ තර්ජනයද මතු කරනු ලැබිණ. එය විරෝධතා මධ්‍යයේ හකුළාගත් බැව් පැවසෙන මුත් බොහෝ ක්‍ෂේත්‍ර අත්‍යාවශ්‍ය සේවා වශයෙන් නම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකී මර්ධන නීති නිසැක වශයෙන්ම වැඩ වර්ජන සඳහා බලපෑමට නියමිතය. මැයි මාසයේදී ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කරමින් මැයි දින සැමරුමට පැනවුණු වැට තවදුරටත් බස්නාහිර පළාතේ රැස්වීම් සඳහා අදාළ වේ. කම්කරුවන්ට හෝ, ධීවරයින්ට හෝ ගොවීන්ට හෝ ස්වකීය අයිතීන් සඳහා ඒකරාශී වීමේ අවකාශයන් ‛‛ජාතිය මුහුණ දී ඇති විශේෂිත තත්ත්වයන්’’ හේතුවෙන් අවුරා තිබේ. එය බිඳලන්නේ නම් යුද හමුදා හා පොලිස් ප්‍රහාරයන්ට මුහුණ පෑ යුතුය. කටුනායක ගුවන් තොටුපොළ අවට මීගමු කළපුවේ ධීවර කටයුතු තහනම්ය. උස්වැටකෙයියාව, දික්ඕවිට, ඇලකන්ද, පල්ලියවත්ත, හැඳල, වත්තල, මට්ටක්කුලිය, මෝදර, අලුත් මාවත, ලුණු පොකුණ, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත දක්වාම මුහුදු තීරය අධි ආරක්‍ෂක කලපායකි. ඒ අවටින් මුහුදු යෑම සවස හයේ සිට උදෑසන හය දක්වා තහනම්ය. ඒ නියෝග නොතකා ජීවිකාව සඳහා මුහුදු යන්නේ නම් නාවික හමුදා වෙඩි පහර කෑමට සූදානම් විය යුතුය. මේ සියල්ල දෙමළ ජනයාගේ නිදහස නොතකන හෙයිනි.

මාක්ස්ට අනුව කිවතොත් දකුණ ද පුරාණ රෝමය මෙනි. අනුන්ගේ නිදහස නොතැකීමෙන් තමන්ගේ විලංගු අපි තනාගෙන ඇත්තෙමු. මේ සරළ සත්‍යය හෙළිදරව් කරන්නන්ගේ ඉරණමද පුරාණ රෝමයේ මෙනි. ඔවුහු බඩගිනි සිංහයින්ගේ ආහාරය පිණිස පිදෙති.



2006 ඔක්තෝබර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment