Print this post
මව්බිම | 2006 සැප්තැම්බර් 17
.......................................................................................................................................
රොබට් ටේබර් ඇමරිකානුවෙකි. ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් මධ්‍යම ඇමරිකාවේත්, උතුරු අප්‍රිකාවේත්, කැරීබියානු කලාපයේත් විප්ලව අරගල වාර්තාකරණයෙහි යෙදුණ ටේබර් කියුබානු විප්ලව සමයේ ෆිදෙල් සමඟ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සියෙරා මයේස්ත්‍රාවේදී සිදුකළ වාර්තාකරුවා වශයෙන් ඉතිහාසයට එක්විණ. ඒ ෆිදෙලිස්තා හමුදාව යාන්තම් සිය දෙනෙකු ඉක්මවා පැතිරෙමින් සිටි කාලයේදීය. ඉන් කලකට පසු ජයග්‍රාහී කියුබානු විප්ලවය පෙරළා දැමීමට ඇමරිකානු මැදිහත්වීමෙන් දියත් වූ ‛බේ ඔෆ් පිග්ස්’ ආක්‍රමණයේදී ටේබර්, මාධ්‍ය වෘත්තිය පසෙක ලා කියුබානු විප්ලවය ආරක්‍ෂා කරනු වස් කියුබානුවන් සමඟ එක්ව සටන් කොට තුවාල ලැබුවේය.
1969දී ටේබර් වැදගත් කෘතියක් ලීවේය. එහි පළමු මුද්‍රණයේ පිටපත් සියල්ලම පාහේ එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනවල ප්‍රයෝජනය සඳහා මිලට ගන්නා ලදී. එහි පසුකාලීන මුද්‍රණයන්ද මිලිටරි චින්තකයින්ගේ සහ ආයතනවල නොමද අවධානයට පාත්‍ර විය. War of the Flee (මැක්කාගේ සංග්‍රාමය) නමින් ලියැවුණු ටේබර්ගේ කෘතිය ගරිල්ලා යුද්ධයේ න්‍යාය සහ ව්‍යවහාරය පිළිබඳ ලියැවුණු අතිශය සංවිධිත අධ්‍යයනයකි. චීනයේත්, කියුබාවේත්, වියට්නාමයේත්, ඇල්ජීරියාවේත්, අයර්ලන්තයේත්, ඊශ්‍රායෙලයේත්, මොරොක්කෝවේත්, සයිප්‍රසයේත්, පිලිපීනයේත්, මලයාවේ සහ ග්‍රීසියේත් සමාන්තර ගරිල්ලා අත්දැකීම් පිළිබඳ කදිම විශ්ලේෂණයක් ඉදිරිපත් කළ ටේබර්ගේ කෘතිය යුද විද්‍යාවේ පසුකාලීන වර්ධනයන් සමඟ බොහෝවුන්ගේ මතකයෙන් බැහැරව ගියේය. නමුත් දශක තුනකින් පසු ටේබර්ගේ අවතාරය යළිත් මිලිටරි චින්තකයින් අතර සැරිසැරීමට පටන්ගෙන තිබේ. ඒ, ලෝකයේ අනභියෝගී යුද බලවතා වශයෙන් සැළකෙන එක්සත් ජනපදයේ සුපිරි හමුදාවන් ඇෆ්ඝනිස්ථානයේදී සහ ඉරාකයේදී ‛මැක්කන්ගේ සංග්‍රාමයට’ කොටුවීමත් සමගය.
ටේබර් සිය කෘතියේ මෙසේ ලියයි: ‛‛සටනකට මැදිහත්ව සිටින භට සංඛ්‍යාව කවරක් වුවද, ගරිල්ලන් සටන් කරනු ඇත්තේ නිශ්චිත මූලධර්මයන්ට අනුකූලවය. භූමිය අල්ලාගෙන සිටීමට හෝ ශක්තියෙන් වැඩි හමුදාවක් හා සටන් කිරීමට ඔවුන් උත්සාහ නොකරනු ඇති අතර ඒ වෙනුවට ප්‍රතිවාදියා ව්‍යාකූලත්වයට හා විඩාවට හෙළීමටත්, තමන්ට හානි පමුණුවා නොගනිමින් ප්‍රතිවාදියාට හානි ගෙනදීමටත් උත්සාහ කරනු ඇත......භූමියේ වාසිය නොලබන තාක් කල් ගරිල්ලන් සටනක් නොදෙයි.’’ (War of the Flee - 140 පිට)
රොබට් ටේබර් විසින් මතුකොට පෙන්වනු ලබන ‛භූමිය සහ ගරිල්ලා සටන්කරුවා’ අතර පවතින සම්බන්‍ධයේ අති මූලික ලක්‍ෂණය වටහා ගැනීමට අවශ්‍ය විචක්‍ෂණභාවය විසි වසරකට වැඩි කාලයක් දිග්ගැසුණු යුද්ධයකින් පසු පවා දකුණේ කිසිවෙකුට පහළ වී ඇති බවක් නොපෙනේ. ඒ නිසාම පුවත්පත් සිරස්තල වලින් ඔබ්බට ගිය යුද විද්‍යාවක් කිසිවෙක් දන්නා බවක්ද නොපෙනේ. සාම්පූර් සටන යුද්ධයේ තීරණාත්මක හැරුම් ලක්‍ෂ්‍යයක් කොට සළකා යුද්ධයෙන්ම ප්‍රශ්නය කෙළවර කිරීමේ තර්කය තොරොම්බල් කෙරෙන්නේ එබැවිනි. ඉතිහාසය වැදගත් වන්නේ මෙහිදීය.
අතිශය සීමිත ජංගම ප්‍රහාරක ශඛ්‍යතාවන් සහිත ගරිල්ලා ව්‍යාපාරයක් වශයෙන් ඇරඹි කොටි සංවිධානය සාම්ප්‍රදායික යුද ක්‍රියාවන්හී (conventional warfare) තීරණාත්මක සමත්කමක් පෙන්නුම් කරන ලද්දේ 1993 නොවැම්බරයේ ශ්‍රී ලංකා රජයට අයත්ව තිබූ පුනරීන්-නාගදේවන්තුරෛ දැවැන්ත කඳවුරු සංකීර්ණයට පහර දී යටත් කරගැනීමෙනි. එය වියට්නාම් යුද්ධයෙන් පසු ගරිල්ලා ව්‍යාපාරයක් විසින් ඒ මට්ටමින් සාම්ප්‍රදායික ප්‍රහාරක ශක්‍යතාවන් ප්‍රකට කළ ප්‍රධානතම අවස්ථාවක් වශයෙන් සැළකේ. එම ප්‍රහාරයෙන් සිය තත්ත්වය සාම්ප්‍රදායික හමුදාවක තත්ත්වයට ඔසවා තබාගත් කොටි සංවිධානය දෙවසරක් ඇතුළත දී එතෙක් දෙමළ අරගලයේ හදවත සේ බාහිර පිරිස් සැළකූ යාපනය මුළුමණින්ම අත්හැර පසුබැස්සාහ. ඒ මොහොතේ එය ඔවුන්ගේ තීරණාත්මක පරාජය වශයෙන් සළකනු ලැබිණ. අනතුරුව වසරක් ගතවන්නට පෙරාතුව මුලතිවූ හී පිහිටි රජයේ දැවැන්ත හමුදා කඳවුරු සංකීර්ණය යටත් කරගනිමින් සාම්ප්‍රදායික යුද ක්‍රියාවන්හී තමන් සතු සමත්කම යළිත් පෙන්වන්නට කොටි සංවිධානය ක්‍රියා කළේය. 1997දී රජයේ හමුදාවන්ගේ ‛සත්ජය මෙහෙයුමට’ ඉඩ දෙමින් කිලිනොච්චිය අත්හැර දමා පසු බැස ගිය ඔවුහු 1998 සැප්තැම්බරයේදී දැවැන්ත සංග්‍රාමයකින් පසු යළිත් කිලිනොච්චිය අත්පත් කරගත්හ. යාපන අර්ධද්වීපය කරා ගොඩබිම් මාර්ගයක් විවෘත කරගනිමින් ඒ-9 මාර්ගය අත්පත් කරගැනීම හරහා කොටි පාලන ප්‍රදේශ දෙකඩ කිරීමේ උපායික අරමුණු සහිතව දියත් කරන ලද ‛ජයසිකුරුයි හමුදා ක්‍රියාන්විතය’ මාන්කුලම් දක්වා භූමිය අත්පත් කරගනිමින් දෙවසරකට වැඩි කලක් තිස්සේ පෙරට ඇදුනේය. කොටි සංවිධානය පරාජිත වේශයක් පා මාන්කුලම් තෙක්ම පසුබසිමින් භූමිය අත්හළ අතර අනතුරුව වේගවත් ප්‍රතික්‍රියාන්විතයක් මගින් ඕමන්තෛ පසුකර තාණ්ඩිකුලම් දක්වාම භූමිය අල්ලා ගත්හ. සුවිශාල අලිමංකඩ යුද කඳවුරු සංකීර්ණය පූර්ණ වශයෙන්ම අත්පත් කරගැනීමේ තීරණාත්මක ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඊටත් පසුව 2000 අප්‍රේල් මාසයේදීය. ඒත් සමඟම වන්නිය මුළුමණින්ම අත්පත් කරගනිමින් 1995දී යාපනය අත්හැර පසුබැසීමේ තීරණයට පිටුබල දුන් උපායික ගණන් බැලීමේ රහස කොටි සටන්කරුවන් විසින් පෙන්නුම් කරන ලදී.
ගරිල්ලා ව්‍යාපාරයක් ප්‍රමුඛතාව දෙනු ලබන්නේ භූමිය අල්ලාගෙන සිටීමේ ස්ථානීය යුද ක්‍රියාවන්ට නොව, වේගවත්ව ඔබ මොබ චලනය වෙමින් පහර එල්ල කළ හැකි ජංගම යුද ක්‍රියාවන්ටය. මෑත දශක එක හමාරක කාලය තුළ කොටි සංවිධානයේ සංග්‍රාම රටාවන් හැදෑරීමෙන් හෙළිකරගත් හැකි වැදගත්ම ලක්‍ෂණය වන්නේ මෙම දෙයාකාර වූ යුදක්‍රියාවන් අතර දෝලනය වීමේදී එය විසින් පෙන්නුම් කරනු ලබන නම්‍යශීලීත්වයයි. එය වරෙක සාම්ප්‍රදායික හමුදාවක ආකාරයෙන් භූමිය අල්ලා ගනිමින් ආරක්‍ෂා කරගැනීමට ස්ථානීය යුද ක්‍රියාවන්හී (positional warfare) නිරත වේ. තවත් වරෙක එය ගරිල්ලා හමුදාවක ආකාරයෙන් භූමිය අත්හැර දමමින් ජංගම යුද ක්‍රියාවන්ට (mobile warfare) මාරු වේ.
සාම්පූර් යථාර්ථය තේරුම් ගැනීමේදී අමතක කරනු ලබන ඊළාම් යුද්ධයේ සමස්ත ඓතිහාසික පසුබිම මෙයයි. මාවෝට අනුව ‛උපාය මාර්ගික විද්‍යාව යනු යුද තත්ත්වයක් සමස්තයක් වශයෙන් සළකා හැදෑරීමයි.’ සාම්පූර් සටන වනාහී ඊළාම් යුද්ධය නමැති සමස්තයෙන් කොටසක් මිස ඉන් හුදකලා වූවක් නොවේ. ටේබර්ට අනුව මැක්කාගේ සංග්‍රාමයේදී බල්ලාගේ අවාසිය වන්නේ ආරක්‍ෂා කිරීමට ඇති ප්‍රමාණයෙහි විශාලත්වයයි. මැක්කාගේ වාසිය එහිම අනෙක් පැත්තයි.
2006 සැප්තැම්බර් | කොළඹ
Print this post
Sunday, September 17, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment