මව්බිම | 2006 ජූලි 23
.......................................................................................................................................
කරුණා අම්මාන් ප‍්‍රමුඛ ‘නැගෙනහිර කොටින්ගේ මුදාගත් ප්‍රදේශ’ හා ‘රහස් කඳවුරු’ දැන් කොළඹ ජනමාධ්‍යකරුවන්ට ඒකාකාරීත්වයෙන් මිදී සති අන්ත විනෝදයෙන් ගෙවා දැමිය හැකි ‘ඇඞ්වෙන්චර් පාර්ක්ස්’ සහ ‘ෆන් අයිලන්ඞ්ස්’ බවට පත්ව තිබේ. ‘නම් හෙළි නොකළ’ ස්ථානයකදී කරුණා අම්මාන් හමුවී කරන සම්මුඛ සාකච්ඡා දකුණේ මාධ්‍ය ස්වයං වින්දනයේ උපරිම අනුරාගී නිමිත්තයි! ලංකාවේ දෙමළ ජනයාට ඇති ප‍්‍රශ්නය කුමක්දැයි අසමින් සිටියවුන් හිටි හැටියේ නැගෙනහිර දෙමළ ජනයාට ඇති සුවිශේෂී ප‍්‍රශ්න පිළිබඳ විශේෂඥයින් බවට පත්ව ඇත්තේ ඒ යටතේය. දශක හයක් තිස්සේ ලංකාවේ ධනපති පාලන තන්ත‍්‍රයන්ට විසඳාගත නොහැකිවූ ජාතික සමානතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුවට ‘විසඳුම් මාර්ගයක්’ විනායගමූර්ති මුරලීදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පිහිටෙන් හමුවී තිබේ. ඒ අනුව දැන් සිංහල ඒකීයවාදයේ වැඩවසම් සේනාවන්ගේ පෙරමුණේ ලෙළදෙන අලූත් රණකාමී ධජයකි: මෙවර එය හමුවී ඇත්තේ මඩකළපුවට උතුරින් කිරාන්හී දෙමළ මුක්කුවාර් කුලයේ දුගී පවුලකිනි.
නමුත් ‘කරුණා කණ්ඩායම’ හරහා දියත් කෙරෙන අත්හදා බැලීම අලූත් එකක් නොවේ. එය ලංකාව තුළ මෙන්ම මහාද්වීපිකවද ‘කැරළි මර්දන යුද කි‍්‍රයා’ (counter insurgency warfare) සම්බන්‍ධයෙන් නැවත නැවතත් යොදාගන්නා ලද පැරැුණි වට්ටෝරුවකින් සකසා ගන්නා ලද එකකි. ඒ නිසාම සවිස්තරාත්මකව විමසා බැලීමට තරම් වටනේය.
රාජ්‍යයක් සතු බල අධිකාරයේ උල්පත එහි සන්නද්ධ බලයයි. රාජ්‍ය හමුදාවන් වනාහී එම බලය අභ්‍යාස කිරීම පිණිස රාජ්‍ය සතුව ඇති උපකරණයයි. රාජ්‍ය විරෝධී සන්නද්ධ කැරළිකාරී ව්‍යාපාර තමන්ගේ දේශපාලන ඉල්ලීම් සඳහා වාසිදායක විකල්ප බල තුලනයක් නිර්මාණය කරගන්නේ සාම්ප‍්‍රදායික යුද කි‍්‍රයා හෝ ගරිල්ලා උපක‍්‍රම මගින් රාජ්‍ය සතුව ඇති අවි දැරීමේ ඒකාධිකාරය පහළින් බිඳදැමීම හරහාය. එසේ බිඳ දමන ලද තුලනය පෙරළා ස්ථාවර කොට නගා සිටුවීමට ගනු ලබන සාම්ප‍්‍රදායික කැරළි මර්දන (conventional counter insurgency methods) පිළිවෙත් අසාර්ථක වුවහොත් රාජ්‍ය තන්ත‍්‍රයන් කරන්නේ විවෘත ප‍්‍රහාරයන්ගේ ස්වරූපයේ සිට සංවෘත රහස් යුද්ධයක (proxy war) ස්වරූපයකට යුද්ධයේ වෙස් මාරු කිරීමයි. අදාළ කැරළිකාරී ව්‍යාපාරය පැන නගින සමාජයේ අභ්‍යන්තර සාමාජිකයින්ම රාජ්‍යයේ අත් මුගුරක් වශයෙන් යොදා ගැනෙන්නේ ඒ යටතේය.
බි‍්‍රතාන්‍යයේ කැරළි මර්දන යුද න්‍යායට අදාළ විශිෂ්ඨතම න්‍යායධරයෙකු වශයෙන් පිළිගැනෙන ජෙනරාල් ෆ‍්‍රෑන්ක් කිට්සන් විසින් අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවට එරෙහිව උතුරු අයර්ලන්තයේදී ද, මාවු මාවු ව්‍යාපාරයට එරෙහිව කෙන්යාවේදී ද මෙම ක‍්‍රමවේදයන් අත්හදා බලන ලදී. නමුත් කෙන්යානු හෝ අයර්ලන්ත ජනයාගේ නිදහස පිණිස වන අදිටන ඊට වැඩි බලයක් සහිත එකක් බව ඒවායේ ප‍්‍රතිවිපාක විසින් පෙන්නුම් කර දී තිබේ. ප‍්‍රංශ නූතන යුද න්‍යායේ දැවැන්තයින් වශයෙන් පිළිගැනෙන රොජර් ට‍්‍රැන්කියේ විසින් ඉන්දු චීනයේදී කොමියුනිස්ට් ගරිල්ලන්ට එරෙහිවත්, ඬේවිඞ් ගලූලා විසින් ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුණට එරෙහිවත් මීට සමාන ක‍්‍රම වේදයන් යොදා ගනු ලැබූහ. නිදසුන් වශයෙන් ඉන්දු චීනයේදී සටන් කළ 500,000ක ප‍්‍රංශ හමුදාවන්ගෙන් 325,000ක්ම ස්වදේශික ඉන්දු චීන වැසියන් විය. නමුත් ප‍්‍රංශ හමුදාවන් ඩියෙන් බියෙන් ෆූ සටනින් අත්කරගත් තීරණාත්මක පරාජය එයින් වැළකී නොගියේය. ඇල්ජීරියානු ජනයාගේ දේශපාලන නිදහස යටපත් කිරීම සඳහා යෙදවූ ප‍්‍රංශ හමුදාවන්ගෙන් 25%ක්ම සමන්විත වූයේ ඇල්ජීරියානුවන්ගෙනි. නමුත් 1962දී ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුණේ අවසාන විජයග‍්‍රහණයට එය බාධාවක් නොවීය.
මොසැම්බික් නිදහස් අරගලය මෙහෙයවූ මොසැම්බික් විමුක්ති පෙරමුණට (FRELIMO) එරෙහිව සුදු රෝඬේෂියානු හමුදාවන් විසින් මොසැම්බික් ජාතික විරෝධතා ව්‍යාපාරය (MNR) ගොඩනංවනු ලැබුවේද කලකදී මොසැම්බික් විමුක්ති පෙරමුණේම සෙන්පතියෙකු වූ අන්ද්‍රේ මටාන්ගයිඞ්ද්සේගේ නායකත්වයෙනි. ෆ්‍රෙලිමෝ ව්‍යාපාරයට ප‍්‍රහාර එල්ල කිරීමේදී ඔහුගේ අතීත දැනුම විශාල වශයෙන් ප‍්‍රයෝජනයට ගැණින. නමුත් මොසැම්බික් නිදහස එයින් වැළකී නොගියේය. ඇන්ගෝලානු මහජන විමුක්ති ව්‍යාපාරයට (MPLA) එරෙහිව දකුණු අපි‍්‍රකාව හා එක්සත් ජනපදය විසින් ජෝනාස් සාවිම්බිගේ ඇන්ගෝලානු පූර්ණ විමුක්තිය සඳහා වූ සංගමය (UNITA) සහ ඇන්ගෝලානු ජාතික විමුක්ති පෙරමුණ (FNLA) යොදාගනු ලැබුවේද මේ තර්කනය යටතේය. ඒවා මුළුමණින්ම සමන්විත වූයේ ඇන්ගෝලානු ජාතික සටන්කරුවන්ගෙන් වුවද අවසාන විග‍්‍රහයේදී ඒවා ඉතිහාසගත වූයේ අසාර්ථක අත්හදා බැලීම් වශයෙනි. ‘70 දශකයේදී දකුණු රොඬේෂියාව හෙවත් සිම්බාබ්වේ රාජ්‍යයේ නිදහස වැළැක්වීමට විශාල වශයෙන් ප‍්‍රයෝජනයට ගනු ලැබුවේ සමස්ත සිම්බාබ්වේ ජාතික සංගමය (ZANU) සහ සමස්ත සිම්බාබ්වේ මහජන සංගමය (ZAPU) අතර වූ භේදයත්, සමස්ත සිම්බාබ්වේ ජාතික සංගමය තුළම පැවැති අභ්‍යන්තර අසමගියත්ය.
ලතින් ඇමරිකානු නිදසුන්ද එබඳුය. නිකරගුවානු සැන්දිනිස්තා ජාතික විමුක්ති පෙරමුණට එරෙහිව හොන්ඩියුරාස් දේශ සීමාවේ රහස් කඳවුරු තුළදී පුහුණු කොට යොදවනු ලැබු කොන්ට‍්‍රා අතුරු හමුදා කණ්ඩායම් බහුල වශයෙන්ම සමන්විත වූයේ නිකරගුවානු ස්වදේශික මිස්කිටෝ ඉන්දියානු ජනයාගෙන්මය. මේ වනවිටත් කොලොම්බියානු විප්ලවකාරී සන්නද්ධ සේනාවන්ගේ මහජන හමුදාවට (FARC - EP) එරෙහිව ගොඩනංවන ලැබ ඇති විශාලතම අතුරු හමුදා කණ්ඩායම වන කොලොම්බියානු එක්සත් ආත්මාරක්‍ෂක බලකාය (AUC) බහුතර වශයෙන් නියෝජනය කරන්නේ කොලොම්බියානු ගම්බද ගොවීන් සහ හිටපු FARC සටන්කරුවන්ය. නමුත් මේ කිසිදු කි‍්‍රයාමාර්ගයක් විසින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල අත්කර දී නොමැතිවා පමණක් නොව, දීර්ඝකාලීන අර්ථයෙන් අසාර්ථකභාවය ඔප්පු කොට පෙන්වා දී තිබේ.
කරුණා අම්මාන් වර්ගයේ අත්හදාබැලීම් පිළිබඳ මහාද්වීපික යථාර්ථයන් එබඳුය. එය එසේව තිබියදී කරුණා අම්මාන් හා ’නැගෙනහිර දෙමළ ජනයා’ ලවා සිංහල බෞද්ධ ඒකීයවාදය ආරක්‍ෂා කරගැනීම දැන් වේගයෙන් වැඩෙන සොඳුරු අපේක්‍ෂාවකි. හමුදා පාලනය යටතේ පවතින වැලිකන්දේ සිංහල ගම්මාන ආශ‍්‍රිත මදුරන්ගල, උනාවැව, කරපොල හා තිවුචේන ආදී ප‍්‍රදේශවල කරුණා අම්මාන්ගේ ‘රහස් කඳවුරුවල’ සංත්රාසජනක සති අන්ත ගෙවා දමා හමුදා මුර කපොලූ පසුකොට කොළඹ එන මාධ්‍යකරුවන්ගේ වික‍්‍රමාන්විත චාරිකා සටහන් දැන් දකුණේ අදේශපාලනික මැද පංතිකයින්ගේ සහ ඔවුන්ගේ ව්‍යාපාරවලට ප‍්‍රණීත අතුරුපසකි. නමුත් පශ්චාත් නිදහස් ලංකාවේ ගැඹුරු වන දේශපාලන අර්බුදයේ හරිමැද සළකුණුව ඇත්තේ දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නොවිසඳුණු දේශපාලන ගැටළුවෙනි. කරුණා අම්මාන් වනාහී ඒ ගැටළුවේ කොටසකි. විසඳුමක් නොවේ.
2006 ජූලි | කොළඹ
Print this post
0 comments:
Post a Comment