Sunday, October 8, 2006

අතුරුදහන් වීමේ නිදහස

Print this post


මව්බිම | 2006 ඔක්තෝබර් 08
.......................................................................................................................................

සැප්තැම්බර් 21 වෙනිදා ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ලිප්ටන් වටරවුමට රැස්ව සිටි ජනයා අතර දහසය වසරකට පෙර අතුරුදහන් වූ සිය දරුවන්ගේ සේයා රූ රැගත් මව්වරු විඩාපත් මුහුණින් කැකෑරෙන අව් රැස් යට සිටගෙන සිටියහ. ඔවුන් අත වූ කළු සුදු සේයාරූවල සිටි තරුණ රූ දැන් කිසිවෙකු තුළ සාමූහික කම්පනයන් අවදි නොකරයි. ඔවුන්ගේ තරුණ දෑස් යුක්තිය හෝ නිදහස පිළිබඳ දකුණේ මිනිස් ආවේගයන් තවදුරටත් අවුළුවනු නොලබයි. ඔවුන් කාගේ කවුදැයි කිසිවෙක් නොදනී. දහසය වසක් ඇවෑමෙන් මිනිසුන් දෙතුන් දෙනෙකුගේ පෞද්ගලික ජීවන වේදනාවන් බවට දැන් ඔවුන් පෙරළී තිබේ.

1992 පෙබරවාරියේදී නව නගර ශාලාවට මව්වරුන්ගේ පෙරමුණ රැස්වීමක් කැඳවා තිබිණ. හැඬුම් - වැළපුම් පිරුණු සිය ගණන් මව්පියන් අතර සිටි මහනුවර හතරළියැද්දේ සිට ආ පියෙක් දරු සොවින් විසඥව ඇද වැටී මිය ගියේය. ඒ මහා සෙනඟ මැදට ආ නන්දා මාලනි ‛ලේ කිරි කර දුන් - අපගේ දරුවන් - බිලිගත් මරුවන්  - කවුරුද විමසන්’ යැයි ගී ගැයුවාය. වේදනාවෙන් පීඩිත ගම්බදින් ආ මව්වරුන් අතර ඇවිද ගිය රිචඩ් ද සොයිසාගේ මව - වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු - ඔවුන් තුරුළු කොටගෙන සැනසුවාය. එයින් දශකයක් ඇවෑමෙන් සිහිමද ගතියකින් මැකාති රෝහලේ ඔත්පලව අසරණව හිඳ මියගිය ඇගේ සිරුර කිසිවෙකුගේ විශේෂ බුහුමනට පාත්‍ර නොවී බොරැල්ලේ බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තිබිණ. රිචඩ් ඝාතනයේ විත්තිකරුවන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලද්දේ එයින් පසුවය.


1987-89 ධවල භීෂණ සමයේ ඇඹිලිපිටියේදී ඝාතනය කරන ලද්දන්ගේ සමූහ ඝාතක බිම් සොයා දේශපාලකයෝ 1994 මහ මැතිවරණය ආසන්න කාලයේ සූරියකන්ද පීරූහ. සෙවණගල යුද හමුදා කඳවුරෙහි වාඩි ලා ගත් හමුදාවන් විසින් අත් අඩංගුවට ගෙන ඝාතනය කරන ලද ඇඹිලිපිටිය මහා විදුහලෙහි සිසුන් 31 දෙනා එවකදී සංවේගජනක ජනමාධ්‍ය නිමිත්තක්ව තිබිණ. අතුරුදහන් වූ දරුවන් පිළිබඳ වේදනාවෙන් කවි ලියා කොළඹ රැගෙන ආ ඇඹිලිපිටියේ මව්පියන්ට කුමක් වීදැයි සොයන්නට කිසිවෙක් දැන් උනන්දු නොවේ. සූරියකන්දේ වැළලුණු පාසල් සිසුන් ගැන ලියූ ගීත කැසට් කර කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂයෙන් එළිදැක්වූ සෝමරත්න දිසානායක දැන් මානෙල් මල් ව්‍යාපාරයේ ප්‍රධාන කථිකයෙකු වශයෙන් රජයේ හමුදා කඳවුරුවල දේශන පවත්වමින් සංචාරයේ යෙදෙයි.

දශක එක හමාරක් ඇතුළත අතීත ඝාතක බිම් පිළිබඳ සාමූහික මතකයන් සහ කම්පනයන් දකුණේ ජන මනසින් මැකී ගොස් තිබේ. සෙවණගල කඳවුර ආශ්‍රිත සූරියකන්ද අමතකව ගිය එක් ඝාතක බිමකි. දිවුලපිටියේ හුණුමුල්ලේ යුද හමුදා සිංහ රෙජිමේන්තු කඳවුරේ අත්අඩංගුවෙහි පසු වූ තරුණ-තරුණියන් සමූහ වශයෙන් ඝාතනය කොට වළ දැමූ වල්පිට සමූහ ගොවිපොළ තවත් ඝාතක බිමකි. දිද්දෙණිපොත හමුදා කඳවුර ආශ්‍රිතව සිදුවූ මුලටියන සමූහ ඝාතනයන්ද, මාතලේ විජය විද්‍යාලීය ගජබා රෙජිමේන්තු කඳවුර ආශ්‍රිත සමූහ ඝාතනයන් සහ අතුරුදහන්වීම්ද, පොළොන්නරුවේ මීගස්වැව යුද හමුදා කඳවුර ආශ්‍රිත සමූහ ඝාතනයන්ද ඇතුළු අමතකව ගිය සංහාරක බිම් තව බොහෝය. ඒ අතුරුදහන්වීම් හා ඝාතක ක්‍රියාදාමයන් ගැන යුක්තිය ඉටු නොවීම පිළිබඳ පශ්චාත්තාපයකින් කිසිවෙක් නොපෙළේ. නමුත් දශක එක හමාරකින් පසුව හෝ සිය දරුවන් සොයාදෙන්නැයි ඉල්ලා මව්වරු සිය දරුවන්ගේ දුර්වර්ණව වියැකී ගිය සේයා රූ රැගෙන අගනුවර ජනාකීර්ණ වීදි අයිනක කලින් කල රොක් වී බලා සිටිති. කලකට පෙර සාමූහික වේදනාවක් බවට පත් අතුරුදහන් වූ මිනිසුන් පිළිබඳ මතකයන් දැන් පෞද්ගලිකව විඳ දරාගන්නා වියෝගයන් බවට පත්ව තිබේ. නිදොස් කොට නිදහස් වූ ඒ බොහෝ ඝාතකයින් හා සහජීවනයෙන් ජීවත්වීමේ අභිමානය දැන් අපේ යුගයේ ගරු කටයුතු දේශප්‍රේමයේ කොටසකි. අතීත ම්ලේච්ඡත්වයන් නිදොස් කොට දැමීම මගින් අප හඹා එන අතීත මළවුන්ගේ මතකයන්ගෙන් ගැළවී සිටීමේ මගක් අපි දැන් සොයාගෙන ඇත්තෙමු.

‛ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් යටතේත් මවු පෙරමුණක් අවශ්‍ය වනු ඇති දැ’යි 1992 සැප්තැම්බර් 06 වෙනිදා ‛ලක්දිව’ පුවත්පත හා සාකච්ඡාවක යෙදුණු විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය: ‛‛ඇත්ත වශයෙන්ම මීළඟ ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් යටතේ මෙවැනි අසාධාරණකම් ඇතිවීමට අප ඉඩ තියන්නේ නැහැ. එවැනි ශ්‍රී.ල.නි.ප.යක් තුළ අපි මොහොතක් හෝ රැඳෙන්නේ නැති බවට සහතික වෙන්නම්.’’ ඒ මහින්ද රාජපක්‍ෂ දැන් රටේ ජනාධිපතිවරයාය. ඒ සාකච්ඡාව කළ ඩලස් අලහප්පෙරුම දැන් ජනාධිපති උපදේශකයෙකි. ඒ සාකච්ඡාවෙන් දහ හතර වසරක් ගෙවුණු පසු දෙමළ ජනයා රූපවාහිනී තිර මත යළිත් හඬා වැටෙති. අතුරුදහන්ව ඇති සිය දරුවා හෝ සැමියා හෝ පියා සොයා දෙන මෙන් ඔවුහු අයදිති. පැහැරගත් ඇතැම් දෙමළ වැසියන්ගේ මළ සිරුරු අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් හමු වේ. ගුවනින් බෝම්බ දැමීමට පසසන අතරේම උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට බලකරමින් කොළඹ විදීවල පෙළපාලි යන්නවුන් මේ මළසිරුරු උඩින් පැන යති. ආණ්ඩුවේම මානව හිමිකම් කොමිෂම විසින් සැප්තැම්බර් 28 වෙනි දින නිකුත් කරන ලද වාර්තාවක් අනුව අගෝස්තු මාසය තුළ දී යාපනය අර්ධ ද්වීපය තුළ පමණක් අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 50කි.

‛අයුක්තියට එරෙහිව අප සටන් කළ යුත්තේ අපගේම මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගනු පිණිස යැයි’’ මැන්ඩෙලා වරෙක ලීවේය. නමුත් දශක එක හමාරකට පෙර අතුරුදහන් වූ මිනිසුන් සහ ගැහැණුන් අපේ හෘදය සාක්‍ෂියේ නොමැකෙන එකම එක කැළලක් හෝ ඉතුරු කොට නැති සෙයකි. භීෂණයේ විෂම චක්‍රය යළිත් අපි සොයා අපේ ගෙමිදුල් උඩින් ඇවිද ඒමට ඉඩක් නැතැයි බොහෝ දෙනා කල්පනා කරති. එහෙයින් වර්තමානයේ අතුරුදහන්වන්නන් අප කිසිවෙක් නොදන්නා වෙනත් ග්‍රහලෝකයක වැසියන් සේ අපි සළකමු. ඉංග්‍රීසි කවියෙකු වූ ජෝන් ඩන් මෙසේ ලීවේය: ‛‛කිසිදු මිනිසෙකු මුළුමණින්ම දූපතක් නොවේ. සෑම අයෙකුම මහාද්වීපයක කොටසකි. විශාල දෙයෙහිම අර්ධයකි. මා මානව වර්ගයා තුළ අඩංගුව සිටින නිසා සෑම මිනිසෙකුගේම මරණයක් විසින් මා ක්‍ෂය කරනු ලබයි. එනිසා සීනුව හැඬවෙන්නේ කාටදැයි නොසොයන්න. එය ඔබට හැඬවෙන්නකි.’’ (Meditation xvii) 

 
නිදහස සහ යුක්තිගරුකභාවය සඳහා වන අපේ යුගයේ මිනිස් අභිලාෂයන් දේශප්‍රේමයේ සිරභාරයට පත්ව සිටියි. එක්කෝ එය ඒ සිර අඩස්සියේම මිය යා යුතුය. නැතහොත් එය බිඳ දමන මගක් සොයා ගත යුතුය.



2006 ඔක්තෝබර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment