Sunday, July 25, 2004

'වාම' බහුජනවාදය නරකාදියට බැසීම

Print this post


රාවය | 2004ජූලි 25
.......................................................................................................................................
 
ත්මලානේ බාටා කම්කරුවන් මේ ලියන මොහොතේත් සටනේය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගෙන ආ වන්දි සූත‍්‍රය අහෝසි කරන තුරුම නොනැගිටින්නට සිතාගෙන නාරාහේන්පිට නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයට වාඩි වූ අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් සහෝදරයා දැන් වාඩි වී සිටින්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය පැත්තේය. ඒ ආණ්ඩුව විසින්ම අත්හිටුවන ලද බව කියන වන්දි සූත‍්‍රය යොදාගෙන පළමු වටයේදී 146 දෙනෙකුගේ සේවය නැවැත්වීමට එරෙහිව සටන් වදින බාටා කම්කරුවෝ, දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පිටකොටුවේ පිකට් කරති. 

1994 අවුරුද්දේ ප‍්‍රසිද්ධ තලයේ මැතිවරණ දේශපාලනයට එන්නට තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ සිය සම්ප‍්‍රාප්තිය සළකුණු කරනු ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති නිදහස උදෙසා ජනතා ව්‍යාපාරයේ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයෙනි. ‘‘නරකාදිය ඉස්සරහ පිටින් ඇස් ඇරගෙන යනවාද - ඇස් වහගෙන යනවාද කියන එක තීරණය කරන තැනකට ලාංකීය ජනතාව දැන් ඇවිත් සිටිතැ’’යි වත්මන් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහෝදරයා කීවේ ඒ රැස්වීමේ අවසාන කතාව ආරම්භ කරමිනි. දැන් දස වසක් ඉක්ම ගොස් තිබේ. බාටා කම්කරුවෝ නරකාදියේ හෙළනු ලැබ සිටිති. ඒ නරකාදිය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණේ ඇස් ඇරී ඇතිදැයි - වැසී ඇතිදැයි දැනගැනීම බොහෝවුන්ට වැදගත් වනු ඇත.

නමුත්  දශකයක් තුළ දිගහැරුණු මෙකී ජවනිකා මාලාවන් හුදෙක් දූපතක යථාර්ථයක් නොවේ. ආසියා - අපි‍්‍රකා හා ලතින් ඇමරිකානු ත්‍රෛ මහාද්වීපික කලාපයන් සිසාරා ‘70 සහ ‘80 දශකවල නැඟී ආ විප්ලවකාරී රළ වේගයන් මාධ්‍යමික සහ දක්‍ෂිණාංශික සාගර ගැඹුරේ සන්සුන්ව ගිළී යමින් පවතී. විප්ලවකාරී වාම බහුජනවාදයන් සහ ධනේශ්වර නව ලිබරල්වාදය අතර නග්න සම්මුතින්ද, පැරණි කැරළිකාරී බලයන්ගේ අභ්‍යන්තර බිඳී විසිරී යාම්ද මහාද්වීපික යථාර්ථයකි. එහෙයින්ම එය විමසීම වැදගත්ය. 

‘70 දශකය නිමාවේදී මධ්‍යම ඇමරිකාව විප්ලවීය රණකාමයෙන් අවදි කළ සැන්දිනිස්තා ජාතික විමුක්ති පෙරමුණ මැතිවරණ පරාජය පිළිගෙන බල වේදිකාවෙන් බැස ගියේ 1990දීය. අනතුරුව බිඳි විසිරී යාමේ වකවානුව ඇරඹිණ. කීර්තිමත් සටන් ඉතිහාසයක් සහිත සැන්දිනිස්තා පුරෝගාමීන් වූ සර්ජියෝ රමිරේස් සහ ඩෝරා මරියා තෙලේස් ඇතුළු ප‍්‍රබල පිරිස් සැන්දිනිස්තා පෙරමුණෙන් වෙන්ව සැන්ඩිනිස්තා පුනර්ජීවන ව්‍යාපාරය (MRS) ඇරඹීය. සැල්වදෝරයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව දිග්ගැසුණු දුෂ්කර අරගලයට නායකත්වය සැපයූ සන්‍ධානගත වාමාංශික පෙරමුණ වූ ෆැරබුන්ඩෝ මාටි ජාතික විමුක්ති පෙරමුණ (FMLN) දක්‍ෂිණාංශික ඇල්ෆ්‍රෙදෝ කි‍්‍රස්තියානිගේ  ජාතික ජනරජ සන්‍ධාන (ARENA) රජය සමඟ සාම ගිවිසුමකට එළඹුණේ 1991 දෙසැම්බරයේදීය. දෙවසරක් ඇතුළත එහි සන්නද්ධ අංශය වූ විප්ලවකාරී ජනතා හමුදාවට නායකත්වය දුන් විලාලොබෝස්ගේ මූලිකත්වයෙන් ඉන් බිඳීගිය පිරිස් මාධ්‍යමිකවාදී  ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය පිහිටුවා දක්‍ෂිණාංශික ජනරජ සන්‍ධාන රජයේ ආධාරකරුවෙකු දක්වාම ගමන් කළේය. පේරුවියානු සෙන්දිරෝ ලූමිනාසෝ ව්‍යාපාරය හා පිලිපීන නව මහජන හමුදාවේ අභ්‍යන්තර ඉරණම්ද ඊට නොදෙවෙනිය.

අභ්‍යන්තර බිඳි යාම්වලට අමතරව බහුජන අරගලකාරී නැඹුරුව පරයා පාර්ලිමේන්තුවාදය පළමුව උපක‍්‍රමයක් වශයෙනුත්, දෙවනුව ප‍්‍රතිපත්තියක් වශයෙනුත් වැළඳ ගැණින. නව ලිබරල්වාදයට හා දක්‍ෂිණාංශික අගතීන්ට යටත්වීමේ මාවත වැටී ඇත්තේ ඒ ඔස්සේය. ‘80 දශකයේදී ඉහත කී ත්‍රෛ මහාද්වීපික කලාපයන් තුළ නාගරික කම්කරුවන් හා දුගීන්ගේද, ගම්බද දිළින්දන්ගේද අයිතීන් සඳහා සමාදාන විරහිතව පෙනී සිටි ජනපි‍්‍රය වාම රැුඩිකල් ව්‍යාපාර බහුතරයක් ‘90 දශකය අවසාන වන විට එක්කෝ එකී ජනතා විරෝධී පිලිවෙත් කි‍්‍රයාත්මක කරන්නන්ගේ තත්ත්වයට පිරිහෙළි සිටියහ. නැතහොත් ඒවායේ උද්‍යොගීමත් ආධාරකරුවන් බවට පත්වී තිබිණ.

අරගලකාරී අතීතයක් පසුකරමින් රාජ්‍ය බලය කරා ගමන්කළ බොලීවියානු විප්ලවකාරී වාමාංශික ව්‍යාපාරයේ (MIR) ජායිම් සමෝරාගේ ‘සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ ආණ්ඩුව බලයෙන් පහ කෙරුණේ ගොවි-කම්කරු ජනයා යටපත් කිරීමේ සහ දූෂිතභාවය පිළිබඳ චෝදනා යටතේය. කොලොම්බියාවේ සුප‍්‍රකට MR-19 වාමාංශික ගරිල්ලෝ,  ලිබරල් ජනාධිපති ගැවීරාගේ නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණයන්ට සහාය පළකිරීමට වන්දි වශයෙන් සිය ඡුන්ද ප‍්‍රතිශතය 20% සිට 4% දක්වා අඩු කරගත්හ. වෙනිසියුලාවේ කලක් විප්ලවකාරී වාමාංශිකයන්ගෙන් සැදුම්ලත් වාම මාධ්‍යමික සන්‍ධානය, සමාජ කි‍්‍රස්තියානි රෆායෙල් කල්දේරාගේ රජයේ පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තීන් හා කම්කරු විරෝධී මර්දනකාරීත්වයන්ට සහාය දක්වමින් සිය ජන පදනම් බරපතල ලෙස අහිමි කරගත්තේය. ඉක්වදෝරයේ ජනපි‍්‍රය වාම නායක ලූසියෝ ගුටීඑරස්ගේ ‘වාමාංශික ආණ්ඩුව’ කෙටි කලක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, කොලොම්බියානු සැළැස්මටත්, පෙට්‍රෝලියම් සහ විදුලිය පෞද්ගලීකරණයටත් විවෘත සහාය පළකර සිටියේය. ආර්ජන්ටිනාවේ බහුජන නැඟිටීම් විසින් බලයට ගෙන ආ නෙස්ටර් කෂ්නර්ගේ ‘ජනපි‍්‍රය ආණ්ඩුව’ද ආර්ජන්ටිනියානු දිළින්දන් පොරොන්දු දේශය කරා කැටුව නොගියේය. ඔහුගේ පළමු වසර ගෙවී යන විටත් ආර්ජන්ටිනියානුවන් 51.7%ක්  දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙති. ඉමහත් සුබවාදී අපේක්‍ෂා අවුළුවමින් බලයට පත්,  බ‍්‍රසීලයේ ලෝහ කම්කරුවෙකු හා වාම වෘත්තීය සමිති නායකයෙකු වූ ලූලා ඩි සිල්වාගේ කීර්තිමත් කම්කරු පක්‍ෂයේ ඉරණමද මෙයින් වෙනස් නොවේ. බ‍්‍රසීල ඉඩම් අහිමි ගොවීන්ගේ ව්‍යාපාරය (MST)  විසින් මේ වනවිටත් වෙවුළුම් කවා තිබෙන ලූලාගේ  නව පාලනය යටතේ ගත් ‘‘ප‍්‍රගතිශීලී පියවරයන්ට’’ අනුව ෆ්ලීට් බොස්ටන් ග්ලෝබල් බැංකුවේ හිටපු සභාපතිවරයා මහ බැංකු ප‍්‍රධානියා ලෙස පත්කෙරිණ. දැඩි නව ලිබරල්වාදියෙකු ලෙස ගැණෙන ඇන්ටෝනියෝ පැලෝචි මුදල් ඇමතිවරයා ලෙස පත්කෙරිණ. ඇමරිකානු කොල්ලකාරී මොනසැන්ටෝ සමාගමේ සමීප ව්‍යාපාරික ගණුදෙනුකරුවෙකු  වූ රොබෙතෝ රොඞ්රිගුවස් කෘෂිකාර්මික ඇමතිවරයා ලෙස නම් කෙරිණ. මහාචාර්ය ජේම්ස් පෙට‍්‍රාස්ගේ වචනයෙන් කිවතොත් ‘‘ජනතාවට කතා පවත්වමින් ප‍්‍රාග්ධනයට වැඩ කිරීම’’ පිළිබඳ තිත්ත ඇත්ත එබඳුය.

නව ලෝක යථාර්ථයන් විසින් නිරායුධ කරන ලද ‘80 දශකයේ මැද පාන්තික උද්‍යෝගීමත් කැරළිකාරී බලවේග බහුතරයකගේ  සුරතාන්තය නව සහශ‍්‍රයේ ආරම්භයේදීම ළඟා වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දී ඇත්තේද මෙකී ඓතිහාසික සන්‍ධිස්ථානයටය. බාටා කම්කරු සටන අභිමුව නිහඬව සිටීම හා සෞඛ්‍ය සේවක සටන ‘යූ.ඇන්.පී. අවශ්‍යතාවක්’ ලෙස ලේබල් ගැසීම මගින් සිය ඉදිරිය පිළිබඳ පූර්ව සංඥා ජවිපෙ සපයමින් සිටියි. නමුත් ආඪ්‍ය සම්පන්නභාවය සහ දුක්ඛිතභාවය අතර මැද මාවතක් නැත.  ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහෝදරයාගේ දස වසක් පැරණි වචන ණයට ගෙන කිවතොත් ‘නරකාදිය’ ඇත්තේ ඉදිරියෙනි. එක්කෝ ඇස් වහගෙන යා යතුය. නැතහොත් ඇස් ඇරගෙන යා යුතුය.


2004 ජූලි | කොළඹ

Print this post

0 comments:

Post a Comment