Sunday, August 6, 2006

බුදුරැස් ඕනෑකර තිබේ

Print this post


මව්බිම | 2006 අගෝස්තු 06
.......................................................................................................................................

ප්‍රොපගැන්ඩා (propaganda)  යන වචනය බිඳී ආවේ ලතින් භාෂාවේ propagare යන වචනයෙනි. ලතින් බසින් propagare යනු උද්‍යානකරුවෙකු විසින් පැලයකින් දළුලන නව රිකිලි බිඳ අලූත් පැලෑටි වශයෙන් වෙනම පොළොවේ ඉන්දවීමයි. නමුත් ඒ වචනය අද භාවිතා වන සමාජ විද්‍යාත්මක අර්ථයෙන් මුලින් යොදාගත්තේ රෝමානු කතෝලික පල්ලියයි. සැළකිය යුතු කලකට පෙර Techniques of Persuasion කෘතිය ලියූ බි‍්‍රතාන්‍ය මනෝ ප‍්‍රතිකාරක ආයතනයේ ආචාර්ය ජේම්ස් බ‍්‍රවුන් propaganda සහ පල්ලිය අතර සම්බන්‍ධය ගැන සාකච්ඡා කරමින් මෙසේ ලියයි:

‘‘රෝමානු කතෝලික පල්ලිය විසින් propagare යන වචනය සමාජ විද්‍යාත්මක අර්ථයෙන් යොදාගැනීමේදී එහි එක් අදහසක් වූයේ මේ ආකාරයෙන් පතුරුවන ලද අදහස් වූ කලී වපුරන ලද හෝ කෘතිමව ජනනය කරන ලද ඒවා බවයි.’’ - (Techniques of Persuasion: From Propaganda to Brainwashing)


මධ්‍යතන යුගයේ යුරෝපයේ බලාධිකාරය හෙබවූ ආයතන අතුරින් වැදගත්ම ආයතනය පල්ලියයි. ඒ නිසා අදහස් ජනනය කිරීමේත්, ඒවා පැතිරවීමේත් බලය තිබුණේ ඔවුන් අතය. ඒ යුගයේදී මෙන්ම අදහස් පැතිරවීමේ බලය මේ යුගයේද ඇත්තේ බලාධිකාරය හොබවන්නන්ටය. එසේ පතුරුවන අදහස්  කෘතිමව ජනනය කිරීමද ඔවුන් විසින්ම කරනු ලැබේ. ඒ අදහස්වල වසඟයට ගන්නා යටත් ජනයා ඒ අනුව සිතති. හරියටම එපික්ටීටස් දෙවියන් ගැන සිතුවා මෙනි. ඔහු සිතුවේ මෙසේය: ‘‘මට උණ වැළඳිය යුතුයැයි එතුමා අදහස් කරයි. මමත් එයම අදහස් කරමි. මා යම් දෙයක් තේරිය යුතු යැයි එතුමා අදහස් කරයි. මමත් එයම අදහස් කරමි. මා යම් දෙයකට ආශා කළ යුතුයැයි එතුමා අදහස් කරයි. මමත් එයම අදහස් කරමි. මට යමක් ලැබිය යුතුයැයි එතුමා අදහස් කරයි. මගේ පැතුමත් එයම වේ. එය නොලැබිය යුතුයැයි එතුමා අදහස් කරයි. මගේ පැතුමත් එයම වේ. මේ අනුව මිය යාමටද මම අදහස් කරමි. දඟගෙයි වධ විඳීමටද මම අදහස් කරමි...’’

අගෝස්තු පළමුවෙනිදාවේ බොහෝ දෙනෙකුට බුදුරැස් පෙනෙන්නට පටන් ගත් බව වාර්තා විය. අගනුවරදීද මං මාවත් අවහිර කරමින් ජනී ජනයා බුදුරැස් නැරඹූහ. විද්‍යුත් මාධ්‍ය නාලිකාවන් බුදුරැස් දර්ශනය වීමේ ආශ්චර්යය සජීවීව විකාශනය කරන ලද අතර රථ වාහන පොලීසියේ නිළධාරීහු පාරවලට බැස වාහන හැසිරවූහ. එක් පිළිමයකින් එය දැක  බලා ගන්නට අසමත් වූවෝ වෙනත් පිළිම සොයා කොළඹ පීරූහ. බුදුරැස් දැක්කවුන් දවස අවසානයේ සතුටින් විසිර ගිය අතර නොදුටුවෝ දුටු බව හඟවා ගේ දොර බලා ගියහ. බුදුරැස් අමාරුවෙන් දැකබලාගන් ශ‍්‍රද්ධාවන්ත ජනතාව ඇදී යන මාවත් ඔස්සේම ආශ්චර්යයකින් තොරව තවත් බොහෝ දේ සිදුවිය. රැකියා අහිමි වූ සතොස සේවකයෝ සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඒ වීදි ඔස්සේම විරෝධතා පෙළපාලි ගියහ. මහබැංකුවේ අනියම් රැකියා අහිමි වූ තරුණ - තරුණියෝ ආධාර කැටයක් තබාගෙන කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට  ඕල්කට් මාවතේදී 73 වෙනි දිනයටත් විසඳුමක් නොලබාම සත්‍යග‍්‍රහ කළහ. හිටි හැටියේ විහිදුණු බුදුරැස් විසින් මේ යථාර්ථයන් කිසිවක් පිසදා හරිනු නොලැබිණ.

ප‍්‍රාතිහාර්යයන් අවශ්‍යව ඇත්තේ එබැවිනි. ‘ධනපති ක‍්‍රමය යනු නිමක් නැති සංත‍්‍රාසයැයි’ ලෙනින් ලීවේ විසිවන සියවසේ මුලදීය. ප‍්‍රාතිහාර්යයන් යනු එකී සංත‍්‍රාසයේම කොටසකි. සංත‍්‍රාසයෙන් තොරව රටක් පාලනය කරන්නට කොයි ධනපති ආණ්ඩුවත් නොදනී. ප්‍රොපගැන්ඩා ව්‍යාපෘති අවශ්‍ය වන්නේද ඒ සඳහාය. පෙනෙන දෙය ඛේදවාචකයක් වූ විට නොපෙනෙන දෙය ආශ්චර්යයක් බවට පෙරළේ. Information is Power නම් කුඩා ලියැවිල්ල ලියමින් විශිෂ්ඨ මාධ්‍යකරුවෙකු වූ ජෝන් පිල්ජර් මෙසේ ලියයි: ‘‘ඇස ගැටෙන දේත්, මඟ හරින දේත් තුළින් මහජන ආකල්පය ගොඩනැගේ...වැරදි අවබෝධය නිවැරදි නොකළහොත් ඒවා සත්‍ය බවට පෙරළේ.’’ අපේ යථාර්ථයන්ද එසේමය. අගනුවර බෝ ගස් යටදී මහදවල් බුදු රැස් ඇස ගැටේ. නමුත් ජීවිතවලට යුක්තියක් ඉල්ලා මහමඟ පෙළපාලි යන, විරෝධතා දක්වන, උපවාස කරන මිනිසුන්ගේ කුසගිනි මගහැරේ. අගෝස්තු පළමුවෙනිදාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නාලිකාවන්ගේ හදිසි සාකච්ඡාවන් බුදුරැස් වෙතට යොමුවේ. දෙවෙනිදාවේ ගෑස් රුපියල් සියයකින්ද, ඉන්‍ධන මිල රුපියල් පහකින්ද, අත්‍යවශ්‍ය සියළු ද්‍රව්‍ය ඊට සමානවද වැඩි වේ.

සාගින්නත්, යුද බියත්, අවිනිශ්චිතතාවත් ජීවිතය බවට පත් වූ විට එක්කෝ යථාර්ථයන් විසින් සාමූහික ආතතිය ඇවිළවිය යුතුය. නොඑසේනම් ආශ්චර්යයන් විසින් සාමූහික ආතතිය ඇවිළවිය යුතුය. එක්කෝ දකුණේ පීඩිත ජීවිත වෙළාගත් ඒකාකාරීත්වය යථාර්ථයන් තුළ පුපුරා යා යුතුය. නැතිනම් මිත්‍යාවන් තුළ සමනය විය යුතුය.

මහ බැංකුවෙන් මහපාරට ඇද දැමූ තරුණ තරුණියන් අතර විරෝධයන් කැකෑරේ. සතොස රැකියා අහිමි වූවන්ගේ දරු පවුල්වල සාගින්දර කැකෑරේ. ති‍්‍රකුණාමලයේ යුදබිමේ සිට මිනී පෙට්ටි තුළ බහා දකුණට පැටවෙන දුගී තරුණයින්ගේ ගේ දොරවල වේදනාවන් කැකෑරේ. ඉහළ යන බඩු මිලෙන් සහ ජීවන බරින් පරිපීඩිත ජනයා ඇවිද යන වීදිවල කළකිරීම් කැකෑරේ. බුදුරැස්  ඕනෑකර තිබෙන්නේ මේ කැකෑරීම් යටපත් කරනු පිණිසය.



2006 අගෝස්තු | කොළඹ

Print this post

0 comments:

Post a Comment