Sunday, August 22, 2004

ප්‍රොපගැන්ඩා ගැන ප්‍රොපගැන්ඩා

Print this post


රාවය | 2004 අගෝස්තු 22
.......................................................................................................................................

53 අගෝස්තු හර්තාලයට පනස් එක් අවුරුද්දක් පිරුණ අගෝස්තු 12 වෙනිදා මධ්‍යහ්නයේ රත්මලාන බාටා ෆැක්ටරියේ වැඩ වර්ජිත කම්කරුවන්ට සන්නද්ධ පොලිස් හමුදා එලව එලවා පහර දුන්හ. එයින් දින දෙකක් ඇතුළතදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ ජාතික භික්‍ෂු පෙරමුණ විසින් ‘හමුදා ශක්තිය තර කරනු’ යි රට පුරා පෝස්ටර් අලවා තිබිණ. 17 වෙනිදා ‘සාමයේ සතුරන් හෙළිදරව් කරමින්’ රට පුරා යන ජවිපෙ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය මහරගමට කැඳවා තිබුණි. නමුත් 18 වෙනිදා දුම්රිය සේවා වෘත්තීය සමිති 32ක් නියෝජනය කරමින් මරදානට රැස්වූ කම්කරු පිරිස් දුම්රිය අධිකාරී පනත අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළහ.

එක් පැත්තකින් බඩගිනි හමුදාවකි. අනෙක් පැත්තෙන් ‘ප්‍රොපගැන්ඩා’ හමුදාවකි. තර කෙරෙන හමුදා ශක්තිය හා ගුටිකන කම්කරු පන්තිය අතර සම්බන්‍ධය එළඹෙන කාලයේදී තවදුරටත් පැහැදිලි වීමට නියමිතව තිබේ. ඒ අනුව බඩගිනි යුද්ධය ඇවිළ යන තෙක් ‘ප්‍රොපගැන්ඩා’ යුද්ධය නගර වනසනු ඇත.

බැරී ලෙවින්සන්ගේ Wag the Dog සිනමා පටය රාජ්‍ය ප්‍රොපගැන්ඩා හෙවත් ප‍්‍රචාරක යාන්ත‍්‍රණය පිළිබඳ විශිෂ්ට උත්ප‍්‍රාසාත්මක නිරූපණයකි. කතාව මෙබඳුය: ජනාධිපතිවරණය මුවවිටේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ලිංගික පලහිලව්වක් හෙළිදරව් වේ. කැළඹීම සමනය කරමින් අවධානය වෙනත් අතකට හැරවීම සඳහා ප්‍රොපගැන්ඩා සැළැස්මක් දියත් කෙරේ. ඒ අනුව ව්‍යාජ යුද්ධයක් රූපගත කිරීම ඇරඹේ. ඒ ව්‍යාජ යුද්ධයට පිටපතක් තිබේ. අධ්‍යක්‍ෂවරයෙක් සිටියි. ඇමරිකානුවන් හදිසි යුද අනතුරක සංත‍්‍රාසයෙන් කුළුගැන්වේ. ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතියක අරමුණ එයයි. එනම් යථාර්ථය සහ දෛනික මිනිස් ජීවිතය අතරමැදට ප‍්‍රබන්‍ධයක් ආදේශ කර එය යථාර්ථයක් වශයෙන් පිළිගැන්වීමයි. ඒ හරහා යථාර්ථය හා ජීවිතය අතර සම්බන්‍ධය වසන් කිරීමයි. එයින් පසු බල්ලා විසින් වලිගය නටවනු නොලැබේ. ඒ වෙනුවට ‘වලිගය විසින් බල්ලා නටවනු’ (wag the dog) ලැබේ.

ඇත්ත වශයෙන්ම කිවතොත්, රාජ්‍ය ප‍්‍රචාරක සැලසුම් මගින්ද අපේක්‍ෂා කරන්නේ ජනයා අතර සාමූහිකත්වයක් ගොඩනැංවීමය. නමුත් ඒ රාජ්‍යයට එරෙහිව නොව, රාජ්‍යය වෙනුවෙනි. එය ප‍්‍රායෝගික නිදසුනකින් කිවහොත් මෙබඳුය: ‘බඩුමිල වැඩිවන විට ඔබ පාරිභෝගිකයන් වශයෙන් කල්පනා කළ යුතු නැත. එවිට ඔබ යූ.ඇන්.පී.කාරයින්, ශී‍්‍ර ලංකාකාරයින් හා ජේවීපීකාරයින් වශයෙන් කල්පනා කළ යුතුය. නමුත්  යූ.ඇන්.පී.යේ ගිය පාරේම අලූතෙන් ඉදිරියට යන විට ඔබ යුඇන්පීකාරයින්, ශී‍්‍ර ලංකාකාරයින් හා ජේවීපීකාරයින් වශයෙන් කල්පනා කිරීම පටු කමකි. එවිට ඔබ කල්පනා කළ යුත්තේ සිංහලයින් වශයෙනි. එහෙත් රාජ්‍ය දේපළ බහුජාතික සමාගම් ග‍්‍රහණයට යටත් වනවිට ඔබ සිංහලයින් වශයෙන් කල්පනා කිරීම වැරැද්දකි. එවිට ඔබ කල්පනා කළ යුත්තේ පාරිභෝගිකයින් වශයෙනි.’ වැල්වටාරම් කපා හළ විට කතාව මෙබඳුය: ‘ඔබ සාමූහිකව සිතීම නරක නැත. එය හොඳය. නමුත් ඒ රාජ්‍යය පැත්තේ සිටගෙන රාජ්‍ය සමඟය. ඊට එරෙහිව නොවේ.’

ගල්ෆ් යුද සමයේ  ‘අපේ හමුදාවන්ට සහාය දක්වන්නැ’යි ඇමරිකානු ජනයා අතර පතුරුවා හළ සටන් පාඨය ගැන ලියමින් ඇමරිකානු රාජ්‍ය ප‍්‍රතිපත්තියේ නිර්දය විවේචකයෙක් වන චොම්ස්කි මෙසේ ලියයි: ‘‘අපේ හමුදාවන්ට සහාය දක්වන්න’ වැනි සටන් පාඨ කිසිදු තේරුමක් නොහඟවයි. ඇත්ත වශයෙන්ම වැදගත් කරුණ වන්නේ ‘ඔබ අපේ ප‍්‍රතිපත්තියට සහාය දක්වන්නේද?’ යන්නයි. නමුත් ජනයා ඒ ප‍්‍රශ්නය පිළිබඳ සිතනු දකින්නට රජයට අවශ්‍ය නැත. හොඳ ප්‍රොපගැන්ඩාවල විශිෂ්ට ලක්‍ෂණය එයයි. ඔබට අවශ්‍ය වන්නේ කිසිවෙකු විරුද්ධ නොවන සටන් පාඨයක් නිර්මානය කිරීමයි. එයින් අදහස් වන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනී. ඊට හේතුව ඇත්ත වශයෙන්ම එය කිසිත් අදහස් නොකරන නිසායි. එහි ඇති තීරණාත්මක වටිනාකම වන්නේ වැදගත් ප‍්‍රශ්න කෙරෙන් ඔබේ අවධානය වෙනතකට යොමුකිරීමට එම සටන් පාඨය සතු සමත්කමයි.’’ (Media Control: The Spectacular Achievements of Propagnda) 

සටන් වදින කම්කරුවන්ට පොලිසිය බිම ඇදගෙන ගොස් පහර දෙයි. කම්කරු මර්දන අණ පනත් හා පෞද්ගලීකරණ ප‍්‍රතිපත්ති තවදුරටත් නිරුපද්‍රිතව කි‍්‍රයාත්මක වේ. ගෑස් හා ඉන්ධන මිලද, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද, ප‍්‍රවාහන හා වෙනත් ගාස්තුද සමඟ ජීවන වියදම ඉහළ යයි. එවිට ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක් පැන නගී.  කෙළින්ම ඇසුවොත් ප‍්‍රශ්නය මෙයයි: ‘ඔබ අපේ ප‍්‍රතිපත්තියට සහාය දක්වන්නේද?’  නමුත් ඒ ප‍්‍රශ්නය අනවශ්‍ය එකක් වශයෙන් තීරණය කර තිබේ. එහෙයින් වෙනත් සටන් පාඨ ආදේශ වේ.  ‘ජීවන වියදම පහත හෙළනවාද?’ - කළකිරීමට පත් කම්කරුවා අසයි. ‘රට කඩන්නට ඉඩ දෙනවාදැයි?’ රජය පෙරළා අසයි. ‘පෞද්ගලීකරණ ප‍්‍රතිපත්ති අහෝසි කරනවාද?’ - උද්ඝෝෂකයා අසයි. ‘වන්නි කොටින්ගේ තර්ජනවලට දණ ගසනවාද?’- ආණ්ඩුව පෙරළා අසයි. ‘අපි අපේ අයිතීන් වෙනුවෙන් මැරෙන්නම්’ යැයි වැඩ වර්ජක බාටා කම්කරුවෝ කියයි. ‘මව්බිම වෙනුවෙන් අපි දිවි පුදමු’යි ජවිපෙ භික්‍ෂු පෙරමුණ යෝජනා කරයි.

‘ධනපති ක‍්‍රමය යනු නිමක් නැති සංත‍්‍රාසයැයි’ ලෙනින් ලීවේ විසිවන සියවසේ මුලදීය. සංත‍්‍රාසයෙන් තොරව රටක් පාලනය කරන්නට කොයි ධනපති ආණ්ඩුවත් නොදනී. ‘හැම අතකින්ම ඔවුන් විනාශ කිරීමට අර අඳින හැම වර්ගයකම යක්‍ෂයින් ගැන නොනවතින අති මහත් භීතියක් ජනයා මත පවත්වාගෙන යා යුතුය. නැතහොත් ඔවුන් සිතන්නට පටන් ගනු ඇත’යි චොම්ස්කි වෙනත් වචනවලින් ලියන්නේද මේ ගැනය.

ප්‍රොපගැන්ඩා ව්‍යාපෘති අවශ්‍ය වන්නේ මේ නොනවතින සංත‍්‍රාසය නිෂ්පාදනය කිරීම හා එය පවත්වාගෙන යාම සඳහාය. 12 වෙනිදා ගිනි දහවලේ බාටා කම්හලේ අමරා වාද්දුවගේ සහෝදරියට පොලිස් හමුදා බැටන් පොලූ වලින් බිම දමා පහරදීම යනු යථාර්ථයකි. එක්සත් ජනපද ආරක්‍ෂක ප‍්‍රධානීන් හා හමුදා සේනාංක රාජ්‍ය අවසරය මැද රටේ වන මූකලාන්වල ගැවසීම යථාර්ථයකි. ගෑස්, ඉන්‍ධන හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම යථාර්තයකි.  වන්නි කොටින් විසින් එළඹෙන කෙටි කාලය තුළ රට හා ජාතිය යටත් කරගැනීම පිළිබඳ සංත‍්‍රාසයෙන් සියල්ලන් මුසපත් කිරීම අවශ්‍යව ඇත්තේ මේ බලවත් යථාර්ථයන් මකාලීම පිණිසය.


2004 අගෝස්තු | කොළඹ

Print this post

0 comments:

Post a Comment