Sunday, November 12, 2006

නොවැම්බර් මතකයන්

Print this post


මව්බිම | 2006 නොවැම්බර් 12
.......................................................................................................................................

දය කුමාර රණතුංග මගේ මිතුරෙකි. බොරලැස්ගමුවේ වැව පාරේ පැරණි පැඟිරි මෝලක පවත්වාගෙන ගිය ‛ලක්මිණ’ පත්තර කන්තෝරුවේදී රණේ මට හඳුන්වා දුන්නේ චන්‍ද්‍රකුමාර වික්‍රමරත්න විසිනි. ඒ 1990 මැද භාගයේදීය. එතැන් සිට නව මාසයක් ගෙවී ගිය 1991 මැයි 31 වෙනිදායින් පසු චන්‍ද්‍රකුමාර අතුරුදහන් විය. නමුත් ඒ අවුරුද්දේ අග භාගයේදී රණේ මට නැවත හමුවිය.
  
ඒ මේ වැනි නොවැම්බරයකදීය.
  
බොරැල්ලේ සුපර් මාර්කට් ගොඩනැගිල්ල පාමුල පත්තර තට්ටුව ඉදිරිපිට ඒ නොවැම්බරයේ උදයක රණේ මට නැවත හමුවිය. එදා සිට අපි එක්ව ‛ලක්දිව’ පත්තරයේ වැඩ කළෙමු. 1992 ජනවාරියේ 26 වැනිදා පළමු ‛ලක්දිව’ කලාපය ප්‍රකාශයට පත්වන විට රණේ එහි ප්‍රධාන පිටු සැළසුම් ශිල්පියා වශයෙන් වැඩ ආරම්භ කළේය. කොයි මොහොතක හෝ තමන් සොයා එතැයි සිතූ මරණය අපේක්‍ෂා කළ රණේ සෝදිසි නෙතින් ඔබ මොබ ගියේය. තැන තැන රැය ගත කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පරාජය වූ දෙවෙනි නැගිටීමේ පරාජය නොවූ සිහින සහ අපේක්‍ෂා රණේ තුළ නිධන් වී තිබුණි. ඝාතනය වූ සගයෙකුගේ නිවසක මව් පියන් හෝ අඹු දරුවන් හමු වී ගතකළ ඇතැම් රැයකින් පසු රණේ ගැඹුරු ශෝකාකූල හදින් කතා කළේය. ඒ සෑම අයෙකුගේම ජීවන වේදනාවන්ගේ කුරුසිය රණේ කර තබාගෙන ඇවිද්දේය. ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් නැතිදැයි වේදනාවෙන් විමසීය. වැඩ අතර විරාමයක් ලද ඇසිල්ලේ ‛ලක්දිව’ ඇතුළත කාමරයේ යකඩ කොටු දැලින් පිටත අහස දෙස බලා සිටින රණේගේ සංවේගජනක රුව දැන් අතීත මතකයකි.


‛ලක්දිව’ පත්‍රයට අවුරුද්දක් පිරුණායින් පසු රණේ අපෙන් ඈත් විය. අපි ඉඳහිට හමු වීමු. අන්තිම වරට ඔහු හමුවූයේ මහජන පුස්තකාලයේ තිබූ සම්මන්ත්‍රණයකදීය. චන්‍ද්‍රකුමාර ගැන මතකය අපේ ජීවිත අතර සම්බන්‍ධයේ රැහැන කරගනිමු යැයි වෙන්ව යන මොහොතේදී රණේ කීවේය. කාලය එතැන් සිට තුන් මාසයක් ගත වන්නට ඇතැයි මම සිතමි. රණේ අත්අඩංගුවට පත්වූ පුවත අප වෙත ආවේ ඒ කාලයේදීය. රත්මලානේදී සිදුවූ ලක්‍ෂ 48ක දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹා ගිය පොලිසියට රණේ කොටුවිය. නමුත් එයින් තඹ සතයක් හෝ රණේ සිය ප්‍රයෝජනයට ගෙන නොතිබිණ. අනුන්ගේ ජීවන වේදනාවන්ගේ කුරුසිය කර තබාගත රණේ ඒ කුරුසියෙන් ගැළවෙන්නට මගක් සොයාගෙන තිබිණ. 1989දී මිය ගිය සගයින්ගේ දරු පවුල් රක්‍ෂා කරනු වස් රණේ යළිත් වරක් සිය දිවිය පරදුවට තබා තිබුණේය. නමුත් ඒ මොහොතේ ගැළවී ගන්නට රණේ අපොහොසත් විය. පොලිස් අත් අඩංගුවට පත්වූ ඔහුගේ ජීවිතය පිළිබඳ සියල්ලෝ බිය වූහ. 1993 මුල් භාගයේදී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධාන නියෝජිතවරියන් කොල්ලුපිටියේ ජානකී හෝටලයේදී හමුවූ විට අපි රණේ පිළිබඳ සියලු තතු දන්වා සිටියෙමු.
  
නමුත් රණේ පොලිස් අත්අඩංගුවෙන් මහර බන්‍ධනාගාරයට මාරු කර යැවිණ. ඔහු සිය තතු දන්වා අපට පණිවුඩ එවීය. 1993 මැයි මාසයේදී ‛ලක්දිව’ පත්තරයෙන් අපි ඉල්ලා අස්වීමු. ඉක්බිති ‛හිරු’ පත්‍රය ආරම්භ කිරීමේ ක්‍රියාදාමයන් රට පුරා පැතිර ගියේය. රණේ අප සියල්ලන්ගේ හදවත් ගැඹුරෙහි සදාකාලික වේදනාවක් වූයේ ඒ වසරේ සැප්තැම්බරයේදීය. 1993 සැප්තැම්බර් 07 වෙනිදා උදයේ කොල්ලුපිටියේ ‛හිරු’ පත්‍ර කාර්යාලයේ ඉදිරිපස පඩිපෙල මතට වී මා හා උදෑසන පත්‍රය බැලුවේ විමල් වීරවංශය. රණේ පිළිබඳ පුවත පළවුයේ ඒ පත්තරයේ මුල් පිටුවෙහිය. අපි සසලව ගියෙමු. ඊට පෙර දින මහර බන්‍ධාගාරයේ ඇති වූ ගැටුමකින් මිය ගිය සිරකරුවන් පස් දෙනෙකුගේ නම් අතර උදය කුමාර රණතුංගගේ නමද විය. ඔහු මරා දැමුණේ එපරිද්දෙනි. මහර බන්‍ධනාගරයේදී නියාමකයින් හා අතවැසි මැරයින් විසින් රණේ ඇතුළු පස් දෙනෙකු මන්නා පහර දී කපා මරා දමා තිබිණ. ‛89දී දිවිදුන් දහස් සංඛ්‍යාත සගයින්ගේ මව් පිය අඹු දරුවන් පෙලූ ජීවන වේදනාවන්ගේ කුරුසිය කරට ගත් රණේ ඒ කුරුසිය මතම ප්‍රාණ පරිත්‍යාග කළේය.
  
කඩවත සූරිගම කුඩා නිවසේ රණේගේ දුක්බර දේහය සතපවා තිබිණ. කිසිත් නොතේරෙන රණේගේ සිඟිති දියණිය ඒ දේහය යට බිම වාඩි වී සෙල්ලම් කළාය. ඒ සෝබර රුව හදවත ගැඹුරෙහි ඇමිණුනු කිණිසි තුඩකි. රණේ සිය මවට එවූ අවසාන පණිවුඩය ඔහුගේ හිස අද්දරින් තබා තිබිණ. ඒ පණිවුඩය ලියා තිබුණේ වියලී ගිය බෝ කොළයකය. එහි කෙටි වැකියකි: ‛මිහිතලය ලෙයින් සහ කඳුළින් පිරී  තිබේ. - ලොකු පුතා.’ එපමණකි. අත් අඩංගුවේ පසුවූ රණේගේ බිරිඳ පැය කිහිපයකට ලැබුණු අවසරය යටතේ බන්‍ධනාගාර නියාමකවරියන් පිරිවරා පැමිණ රණේගේ දේහය අසළ වැළපුණාය. රණේගේ අවමඟුලට රැස් වූ හිත මිතුරු සෙනඟ අමතා කතා කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී අජිත් සමරනායකය. ‛මේ වැතිර සිටින්නේ සොරෙක්, මංකොල්ලකාරයෙකු නොව, මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගැනෙනු ඇත්තේ අනාගතයේදීය.’ අජිත් කීවේය.
  
සංහාරයන් පිළිබඳ අපේ අතීත වේදනාවන්ගේ බර ඒ නොවැම්බරයේදී වැඩිව තිබිණ. ඒ රණේ පිළිබඳ මතකයෙනි.
  
දැන් දහතුන් වසරක් ඉක්ම ගොස් තිබේ. මේ ඔක්තෝබරයේ 26 වැනිදා ‛හිරු’ කණ්ඩායම වෙනුවෙන් සීදුවේ රැස්වීමක කතාකරන්නට ඇරයුම් ලැබිණ. ඒ ජයන්ති දන්දෙණිය සහෝදරියගෙනි. දකුණේ ඈත පිටිසර සිට ආ කෙසඟ දුක්බර මව්වරු සිය ගණනක් ඒ රෑ මහවැසි මැද සිය මරා දැමුණු දරුවන් පිළිබඳ සමරන්නට සීදුවේ රද්දොළුව මං සන්ධියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසළට පැමිණ සිටියහ. ජයන්තිගේ සැමියා වූ රංජිත්ද, ඔහුගේ මිතුරු ලයනල්ද පොලිස් ඝාතකයින් විසින් දහහත් වසරකට පෙර මරා පුළුස්සා දමනු ලැබුවේ ඒ මං සන්ධියෙහිමය. දහහත් වසරකට පෙර පැහැරගත් සිය සොහොයුරා අත පයා කඩා දමා හෝ තමාට ගෙනවිත් දෙන මෙන් කිහිලි කරුවකින් ඇවිද ආ සොයුරියක් ඒ සෙනඟ මැද අයැද සිටියාය. පැහැරගත් සිය දරුවන්ගේ මරණ සහතිකය ලබා දෙන මෙන් කී මව්වරුන් බොහෝය. දහහත් වසරක් තිස්සේ දරුවන් පිළිබඳ මතක වේදනාවන්ගේ ගින්නෙහි දැවී කෘෂව දිරාපත් වූ ඈත දකුණේ දිළිඳු මව්වරු ඒ අන්‍ධකාරයේත් ඉකිගසමින් හඬා වැටුණාහ. ඒ උදය කුමාර රණතුංග වැනි දරුවන්ගේ මව්වරුන්ය.
  
පසුවදා අතුරුදහන් වූ දරුවන් සමරා ඒ මව්වරුන් අතින් භික්‍ෂූන්ට දානය පිළිගැන්විණ. ඒ ඔක්තෝබර් 27 වෙනිදාය.
  
මාවිල්ආරු, සාම්පූර් සහ මූත්තූර්හිදී මියගිය හමුදා සෙබළුන් 79 දෙනෙකුට පින් පැමිණවීමට අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට මහනෙල් මල් ව්‍යාපාරය සංවිධානය කළ ආගමික උත්සවයකට විමල් වීරවංශ සහභාගි වූ බව නොවැම්බර් 05 වෙනිදා ‛ලංකා’ පත්‍රය වාර්තා කොට තිබිණ. ඒ ඔක්තෝබර් 29 වෙනිදාය.
  
ලේ වැකුණු අතීතයේ මාවත් දෙස ආපසු හැරී බලන්නන් විරලය. රණේ වැනි මිනිසුන් අසාර්ථක ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කළ නොවටිනා මිනිස් කසළ මෙන් බොහෝවුන්ගේ මතකයෙන් අතු ගෑවී ගොසිනි. ඒ මතකයන් නිධන්කොට ගෙන ජීවත්වීම මේ යුගයේදී දේශද්‍රෝහීභාවයක් වශයෙන් සැළකේ. 29 වෙනිදා අනුරාධපුරයට රොක්වූ හමුදා සෙබළුන්ගේ ඥාතීන් වෙත රුපියල් දස දහසක හිමිකම් පත් පිරිනමන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාගේ සේයා රූ ‛ලංකාදීප’යේ පළව තිබිණ. දහතුන් වසරකට පෙරාතුව 48 ලක්‍ෂයක වැටුප් මුදල් මංකොල්ල කා සිය දේශපාලන සගයින්ගේ දරු පවුල් රක්‍ෂා කරන්නට ප්‍රාණය පරිත්‍යාග කළ රණේගේ සේයා රුව කිසිවෙකුගේ මතකයේ තැන්පත්ව නැත.
රණේ වැන්නන් වීරයින් සේ සැළකෙනු ඇත්තේ අනාගතයේ දිනක යැයි දහතුන් වසරකට පෙර ඔහුගේ අවමඟුල් දිනයේදී අජිත් සමරනායක කී බව ඇත්තකි. ඒ අනාගතයට මෙතැන් සිට තවත් කොතෙක් දුරදැයි මම නොදනිමි. ඒ නොදන්නාකම මේ නොවැම්බරයේත් මා පෙළයි.



2006 නොවැම්බර් | කොළඹ

Print this post

1 comments:

Anonymous said...

අප පුදුමාකාර ලෙස අමතක කරන්නට,පලායන්නට සමත් මිනිසුන් වෙමු.

Post a Comment