Sunday, September 24, 2006

ස්වෛරීභාවය පිළිබඳ පැරණි රසාංග

Print this post


මව්බිම | 2006 සැප්තැම්බර් 24
.......................................................................................................................................

සැප්තැම්බර් 13 වෙනිදා පදනම් ආයතනයට කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ‛නොකා නොබී මැරුණත්’ රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරන බවට ශපථ කොට සිටියේය. 19 අවුරුද්දකට පෙර දෙමළ ජනයාගේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරනු වස් නොකා නොබී නිරාහාරව මිය ගිය රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් සිය මාරාන්තික උපවාසය යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිල අභියස දී ආරම්භ කරන ලද්දේද 1987 සැප්තැම්බර් 12 වෙනිදාවකය. තිලීපන්ගේ ක්‍රියාව සහ වීරවංශගේ කතාව එකම මාසයක ආසන්න දින දෙකක සිදුවීම මුළුමණින්ම අහඹුවක් බවට සැක නැත. නමුත් දකුණේ දවසින් දවස වැඩිවන බඩගිනි හමුදාවන් ලවා ස්වෛරීභාවයවත් ආරක්‍ෂා කරගැනීමට සැළසුම් නොකළහොත් ඒ බඩගිනි හමුදාවන් මැඩලන්නට උතුරේ හමුදාවන් ආපසු කැඳවීමට සිදුවීමේ අනතුර ජවිපෙ නායකයින්ටද ඉව වැටී ඇති සෙයකි.

කෙසේ වුවද ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ මාරාන්තික ස්ථාවරය 13 වෙනිදාවේම ප්‍රකාශයට පත් කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත්වන්නේ ටෝකියෝ ආධාර සමුළුවේ සම සභාපතිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනය සැප්තැම්බර් 12 වෙනිදා බ්‍රසල්ස් නගරයේදී ප්‍රකාශයට පත්වීම බව නිසැකය. නිවේදනයේ සාරය සරළව සළකා බලතොත් එහි අඩංගු වන්නේ සටන් විරාමයකට නොඑළඹුණහොත් ලංකාවට අපේක්‍ෂිත ආධාර නවතාලීමක් පවා සිදුවීමේ තර්ජනයක් ඇති බවයි. සම සභාපති රටවල භූමිකාව හා ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ කල්පනා කරන ආකාරය අතර සම්බන්‍ධය ගැන කදිම සාකච්ඡාවකට මෙමගින් දොරටු විවර වෙයි. එහෙයින් අපි ඒ ගැන කතා කරමු.


ටෝකියෝ ආධාර සමුළුවේ සම සභාපතිත්වය දරන රාජ්‍යයන් හතරක් තිබේ. එක්සත් ජනපදයත්, ජපානයත්, යුරෝපා සංගමයත්, පහසුකාරක නෝර්වේ රාජ්‍යයත් ඒ රටවල්ය. මේ අතරින් සෙසු රටවල් කෙරෙහි එක්සත් ජනපදය සතු බලපෑමේ හැකියාව හා අධිකාරය අවිවාදිත කරුණකි. ජවිපෙ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක්සත් ජනපදය නිර්දය ලෙස විවේචනය කිරීමට වැඩි වැදගත්කමක් දී ඇත්තේ ඒ අනුව බව පැහැදිලිය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය යනු මුළුමණින්ම වෙනත් රටවල ස්වෛරීභාවයට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමේ පිළිවෙත හඳුන්වන තවත් ආකාරයක් මිස අන් කිසිත් නොවේ. නමුත් එක්සත් ජනපදය ලංකාවේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමද අලුත් දෙයක් නොවේ. ඒ ඉතිහාසය සහ ඒ පිළිබඳ ජවිපෙ ප්‍රතිපත්තිය විමසා බැලීමට වටින්නේ ඒ නිසාය.

ශ්‍රී ලංකා රජයේ හමුදාවන් සහ එක්සත් ජනපද ග්‍රීන් බෙරේස් විශේෂ බලකායන් අතර ඒකාබද්ධ යුද අභ්‍යාස ආරම්භ කරන ලද්දේ 1996 මුල් කාර්තුවේදීය. 1996 මැයි 01 වෙනිදා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඒ බව නිල වශයෙන්ම පිළිගනු ලැබිණ. නමුත් ඒ පිළිබඳ වඩාත් පුළුල් විවරණයක් කරන ලද්දේ ඇමරිකාවේ පළ කෙරෙන ‛ඩලාස් මොර්නින් නිවුස්’ පත්‍රයේ 1996 ජූනි 30 වෙනිදා කලාපයට ඒ පිළිබඳ ලිපියක් ලියූ මාර්ක් කවුෆ්මාන් විසිනි. වියට්නාමයේ ජන සංහාරයන් සම්බන්‍ධයෙන් වාර්තා තැබූ එක්සත් ජනපද ග්‍රීන් බෙරේස් සේනාංකය දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ගගන යාත්‍රාංගණය ආශ්‍රිතව ශ්‍රී ලංකා රජයේ හමුදාවන් පුහුණු කරන බවට අදාළ ලිපිය මගින් හෙළි කරනු ලැබිණ. ‛සමතුලිත ආරේ මෙහෙයුම’ වශයෙන් නම් කොට තිබූ මෙම රහසිගත ඒකාබද්ධ අභ්‍යාසයන්ට අමතරව ඇමරිකානු නාවුක හමුදාවේ විශේෂ සීල්ස් සේනාංකයේ සෙබළුන් තංගල්ලේ කිරින්ද ආසන්න මුහුදේ රජයේ නාවුක හමුදාවන් සමඟ පුහුණුවීම් කටයුතුවල නිරතවන බවද වාර්තා විය. ඒ වසරේම අගෝස්තු 16 වෙනිදා හවායි හි එක්සත් ජනපද පැසිෆික් ආඥාව මේ කරුණු විවෘත නිවේදනයකින් පිළිගනු ලැබිණ. මේ සියළු සිදුවීම් සිදුවෙමින් පැවති හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි එකම ජවිපෙ මන්ත්‍රීවරයා රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මතු නොකළේය. ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය එවකදී තිබුණේ කොහේද?

ශ්‍රී ලංකා - ඇමරිකානු ඒකාබද්ධ අභ්‍යාස එතැන් සිට වාර්ෂිකව පවත්වනු ලැබීය. ඊට සමගාමීව එක්සත් ජනපදයේ ආක්‍රමණික ප්‍රතිපත්තිය ලෝකයේ සවෛරී ජාතීන්ගේ අයිතීන් කීතු කොට දැමීමද වේගවත්ව පෙරට ඇදුණේ. 2001 සැප්තැම්බර් නිව්යෝක් ප්‍රහාරය දඩමීමා කරගනිමින් ඇෆ්ගනිස්ථාන ජනයාගේ ස්වෛරීභාවය පොකුරු බෝම්බ හෙළමින් විසුණු කළ එක්සත් ජනපදය 2003 මාර්තුවේදී ඉරාකයට එරෙහිව බිහිසුණු සමුල ඝාතක යුද්ධය ආරම්භ කළේය. වසරක් ඇතුළතදී 100,000ක් ඉරාක ජනයා යුද්ධයෙන් මරා දමා ඇතැයි වාර්තා කරන ලද්දේ බටහිර මාධ්‍යයන් විසින්මය. මේ සියල්ලටම පසුව 2004 ජූලි මස 11 වෙනිදා ඉරිදා දිවයින සංග්‍රහය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මෙසේ ප්‍රකාශ කළේය: ‛‛තමන්ගේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් කොටි සංවිධානය ඉවත් කරන්නේ නැහැ කියලා ඇමරිකාව ප්‍රකාශ කරලා ඉවරයි. ඒක ඉතාම හොඳ ප්‍රකාශයක්. අපි ඒ පිළිබඳව ඇමරිකාවට ස්තූතිවන්ත වෙනවා. ඒ ප්‍රකාශය විතරක් නෙවෙයි, ක්‍රියාත්මක වීමත් දැන් අවශ්‍යයි. ක්‍රියාවෙනුත් ඒ දේ පෙන්විය යුතුයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන ප්‍රපංචයට එරෙහිව ඇමරිකාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය මෙතැනදීත් අපි දකින්න කැමැතියි.’’

ස්වෛරීභාවය සහ ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ මෙතරම් කදිම රැඩිකල් ප්‍රකාශයක් තවත් තිබිය හැකිද?

එපමණක් නොවේ. 2005 අප්‍රේල් මාසයේදී දකුණු ආසියාව භාර සහකාර එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරියවූද, ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයේ හිටපු කුප්‍රකට නිලධාරිනියක වූද ක්‍රිස්ටිනා රොකා ලංකාවට පැමිණියාය. අප්‍රේල් 20 වෙනිදා කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඇය සඳහා විශේෂ සාකච්ඡාවක් සූදානම් කොට තිබිණ. ඇය සමඟ ඊට සහභාගී වූවන් අතර එවකට ඇමරිකානු තානාපති ජෙෆ්රි ලුන්ස්ටඩ්ද, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහද,  ජවිපෙ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්ද විය. ජවිපෙ සහ ක්‍රිස්ටිනා රොකා අතර මෙම විශේෂ හමුවේදී පිටු දෙකක වැදගත් ලියවිල්ලක් ජවිපෙ දේශපාලන මණ්ඩල නියෝජිතයන් විසින් ඇයට භාරදෙන ලදී. මෙම ලිපිය ‛ලංකා ටෲත්’ වෙබ් අඩවිය විසින් වහ වහා අභිරුචියෙන් පළකරනු ලැබිණ. ජනාධිපති බුෂ්ගේ දෙවෙනි ජනාධිපති නිල වාරය ආරම්භ කරමින් කළ කතාව මහත් අභිරුචියෙන් වර්ණනා කරන එම ලිපිය ‛‛සෑම ජාතිය තුළමත්, සංස්කෘතිය තුළමත් ප්‍රජාතන්ත්‍ර ව්‍යාපාරයන් සහ සංස්ථාවන් වර්ධනයට දිරි දී....ලෝකය පුරා ප්‍රජා පීඩනය අවසන් කර දැමීම’’ පිළිබඳ බුෂ්ගේ ප්‍රතිඥාව ලංකාවටද ආදේශ කරන මෙන් ඉල්ලා තිබිණ. ඉන් දින කීපයක් ඇතුළත අප්‍රේල් 26 වෙනිදා මාධ්‍යකරුවන් අමතා කතාකළ ජවිපෙ නායකයා ලංකාවට ‛‛සාමය සඳහා මාර්ග සිතියමක්’’ සපයා දෙන මෙන් ‛‛ජාත්‍යන්තර ප්‍රජාවෙන්’’ ඉල්ලා සිටියේය.

නොකා නොබී රැකිය යුතු ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය ඒ මොහොතේ කොහේ තිබිණිද?

දැන් එක් පැත්තක මර්දනකාරී අණ පනත් සහ තුවක්කු ගොඩගැසේ. අනෙක් පැත්තෙහි දුක්ඛිතභාවයෙහි ගිළුනු බඩගිනි හමුදාවන් ගොඩගැසේ. නොකා නොබී ස්වෛරීභාවය ආරක්‍ෂා කරනු වෙනුවට කකා බිබී හෝ සිය පැරණි වාර්තාවන් කියවා බැලීම ජවිපෙ නායකයින්ට වැදගත් වනු ඇත්තේ එහෙයිනි.



2006 සැප්තැම්බර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment