Sunday, December 10, 2006

නොදන්නාකම දේශප්‍රේමය වු කළ

Print this post


මව්බිම | 2006 දෙසැම්බර් 10
.......................................................................................................................................
ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමය ඉදිරියට ගෙනයමින් ඇමරිකානු හමුදා ඉරාකයට ඇතුළු වූයේ 2003 මාර්තු 20 වෙනිදාය. මැයි 02 වෙනිදා USS ඒබ්‍රහම් ලින්කන් නාවුක යාත්‍රාවට විශේෂ ජෙට් යානාවකින් ගොඩබට ජනාධිපති බුෂ් ඇමරිකානු සේනාංක අමතා සිය සුප්‍රකට 'Mission Accomplished' දේශනය මගින් ඉරාකයේ අවසාන ජය ප්‍රීති ඝෝෂා මැද වාර්තා කර සිටියේය.

මේ 2006 දෙසැම්බරයයි. ආක්‍රමණය දැන් එළඹෙමින් සිටින්නේ එහි සිව් වන වර්ෂ පූර්ණය කරාය. කරුණු එසේව තිබියදී ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ’ සමාරම්භකයෙකු වූ ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ඉකුත් නොවැම්බර් 08 වෙනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඊට දින දෙකකට පෙර ඔහු විසින් නිකුත් කළ අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවක් දෙසැම්බර් 03 වෙනිදා නිව්යෝක් ටෛම්ස් පත්‍රය විසින් හෙළිදරව් කළේය. එහි මෙසේ සඳහන්ය:

‛‛ඉරාකය තුළ පවතින තත්ත්වය පරිණාමය වෙමින් පවතින අතර මේ කාලය තුළදී ක්‍රියාන්විත මෙහෙයුම්වල සිට ත්‍රස්ත මර්දන හා කැරළි මර්දන යුද ක්‍රියාවන්ටත්, ඝාතක කල්ලි සහ නිකායන් අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් කටයුතු කිරීමටත් එක්සත් ජනපද හමුදාවන් හැඩගැසිණ. මගේ ආකල්පය අනුව දැන් ප්‍රබල වෙනස්කිරීම් සඳහා කාලය එළඹ තිබේ. පැහැදිලි වශයෙන්ම වර්තමානයේදී එක්සත් ජනපද හමුදා ඉරාකයේ කරමින් සිටින කිසිවක් නිසි පරිදි ක්‍රියා නොකරයි.’’

ඉරාක ආක්‍රමණයේ ආරම්භක වකවානුව තුළ එක්සත් ජනපද හමුදා කඳවුරු 110ක් ඉරාකය පුරා පිහිටුවා තිබූ අතර මේ වනවිට එම සංඛ්‍යාව 55 දක්වා අඩු කරනු ලැබ තිබේ. ‛නිව්යෝක් ටෛම්ස්’ වාර්තාවට අනුව රම්ස්ෆෙල්ඩ් තම අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාව මගින් මෙම කඳවුරු සංඛ්‍යාව 2007 අප්‍රේල් මාසය වනවිට 10-15 අතර ප්‍රමාණයක් දක්වාත් 2007 ජූලි අවසන් වන විට කඳවුරු 5ක් දක්වාත් අඩුකිරීමටත් යෝජනා කර තිබේ.
  
රම්ස්ෆෙල්ඩ්ගේ මතභේදාත්මක අභ්‍යන්තර පත්‍රිකාව පිළිබඳ මාධ්‍ය හෙළිදරව්වෙන් තුන් දිනක් ඇතුළතදී තවත් වැදගත් වාර්තාවක් නිකුත් කෙරිණ. ඇමරිකානු දක්‍ෂිණාංශික රාජ්‍ය තාන්ත්‍රිකයින් හා උපායික විශේෂඥයින්ගෙන් සමන්විත ‛ඉරාක අධ්‍යයන කණ්ඩායම’ විසින් දෙසැම්බර් 06 වෙනිදා නිකුත් කරන ලද විශේෂ වාර්තාවක නිර්දේශයන්ට අනුව ඉදිරි වසර අවසන් වනවිට ඉරාකය තුළ රඳවා ඇති හමුදා ඉවත් කරගැනීම ආරම්භ කළ යුතුය. ‛ඉරාකය තුළ තවදුරටත් රැඳී සිටීම කිසිසේත්ම වලංගු නොවේ’යි වාර්තාව අවධාරණය කරයි.
  
මේ වනවිටත් ඉරාකය තුළ රඳවා ඇති ඇමරිකානු සෙබළ සංඛ්‍යාව 1,40,000කි. 2003 මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඉරාකයේ නුපුහුණු අසංවිධිත ගරිල්ලා කණ්ඩායම්වල ප්‍රහාරයන්ගෙන් මරණයට පත්ව ඇති ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 2800කි. දෙසැම්බර් 03 වෙනිදා විකාශය වූ අල් ජසීරා වාර්තාවකට අනුව ඉකුත් නොවැම්බර් මාසය තුළ පමණක් මිය ගිය සෙබළුන් සංඛ්‍යාව 100කි. දෙසැම්බරයේ තත්ත්වය කෙසේ වනු ඇතිදැයි ඉඟි කරන්නාක් මෙන් ඉකුත් බදාදාවේදී ඇමරිකානු සෙබළුන් 10 දෙනෙකු ගරිල්ලා ප්‍රහාරයන්ගෙන් ජීවිතක්‍ෂයට පත්විය.
  
එක්සත් ජනපද ෆෙඩරල් අයවැය සංඛ්‍යා ලේඛණයන්ට අනුව ඉරාකය තුළ ආක්‍රමණික සේනාංක රඳවා තැබීමට 2003 වසරේදී මසකට දරණ ලද වියදම ඩොලර් බිලියන හතරකි. මේ වනවිට එය මසකට ඩොලර් බිලියන අටක් දක්වා ඉහළ නැග තිබේ. 2003 ඔක්තෝබර් මාසය වනවිට ඉරාකය යටත් කොට තබාගැනීම සඳහා එක්සත් ජනපද රජය විසින් දරණ ලද සෘජු වැය ඩොලර් බිලියන 350කි. ඒ වනාහී ඉරාක ගරිල්ලන් විසින් වසරක් සඳහා වැය කරනු ලබන බවට තක්සේරු කර ඇති ඩොලර් මිලියන 200කට මුහුණ දීම සඳහාය. ඉරාකය තුළ යළිත් දිගහැරෙමින් තිබෙන්නේ දාවිත් සහ ගොලායත්ගේ පැරණි සංග්‍රාමයයි. ඒ වනාහී ඇෆ්ඝනිස්ථානයේ විසිරුණු ගරිල්ලා ප්‍රහාරයන්ට මැදිව සිව් වසරක් තිස්සේ කොටුවී සිටින 42000ක එක්සත් ජනපද සේනාංකයන්ගේ ඉරණමට අමතර වශයෙනි.
  
‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමයක’ නිරත ලොව සුපිරිතම යුදකාමී රාජ්‍යය, විනාශ කරන ලද පැරණි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ගිනිබත් සටන් බිම් තුළ සිය ඉතිහාසයේ තවත් අපකීර්තිමත් පරාජයක පාඩමක් උගනිමින් සිටියි.
  
ශ්‍රී ලංකාව සිය ආරක්‍ෂක වැය 43%කින් ඉහළ නංවා තිබෙන්නේ මේ ගෝලීය යථාර්ථයන්ගේ පසුබිම තුළය. එක්සත් ජනපද ඩොලර්වලින් කිවතොත් දැන් ලංකාවේ වාර්ෂික යුද වැය ඩොලර් බිලියන 1.3කි. ඒ අනුව 2006 වසරේ රුපියල් බිලියන 108ක් වූ ආරක්‍ෂක වැය 2007 වසරේදී රුපියල් බිලියන 139ක් දක්වා ඉහළ නංවා තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත දැන් යළිත් පූර්ණ වශයෙන්ම ක්‍රියාන්විතය. ‛ත්‍රස්තවාදයට’ එරෙහිව ඉකුත් විසි පස් වසරක් තිස්සේම නොකෙරුණු සංග්‍රාමය දැන් ආරම්භ වීමට නියමිතව ඇතැයි දකුණේ ජනයා අපේක්‍ෂා කරති. නමුත් නොදන්නා යථාර්ථයන් සැඟව පවතී. නොවැම්බර් 29 වෙනිදා නිකුත් කරන මහ බැංකු වාර්තාවකට අනුව මහා පරිමාණ වශයෙන් මුදල් මුද්‍රණය හේතුවෙන් උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය තුළ පමණක් 4.4%කින් ඉහළ නැග තිබේ. එය ඉන්දියාව වසරක් ඇතුළත අත්දකින උද්ධමනයේ ඉහළ යාමට සමානය. මේ අනුව නොවැම්බර් මාසය අවසන් වන විට සමස්ත උද්ධමන අනුපාතය 19.8ක් දක්වා ඉහළ නැග තිබේ. මේ වසර තුළදී පමණක් ඩොලරයට සාපේක්‍ෂව රුපියලෙහි අවප්‍රමාණ වීම 5.8%කි.
  
අප්‍රකට කරුණු තවත් බොහෝ තිබේ. 2006 වසර මුලදී ඉන්දියාවේ  "උපායික පූර්වේක්ෂණ කණ්ඩායම" (Strategic Foresight Group) විසින් නිකුත් කරන ලද ‛ශ්‍රී ලංකාවේ ගැටුම් පිරිවැය’ (Cost of Conflict in Sri Lanka - 2006) පිළිබඳ වාර්තාවට අනුව දකුණු ආසියාවේ වැඩිම මිලිටරීකරණය වූ රාජ්‍යය ලංකාවය. එහි ජනගහණයෙන් මිලියනයකට අඩංගු වන හමුදා සාමාජිකයින් ප්‍රමාණය 8000කි. හමුදා රාජ්‍යයක් සේ සැළකෙන පකිස්ථානයේ එම සංඛ්‍යාව 4000ක් වන අතර දැවැන්ත සිවිල් යුද්ධයක් බල පැවැති නේපාලයේ එම සංඛ්‍යාව 2700කි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් දකුණු ආසියාව තුළ ඉහළම ආරක්‍ෂක වියදම දරණ රාජ්‍යය ලංකාවයි. නමුත් ඒ ‛ශ්‍රේෂ්ඨත්වය’ දකුණු ආසියාවෙන් ඔබ්බටද පැතිර යයි. මහා පරිමාණ දිග්ගැසුණු අභ්‍යන්තර යුද්ධයන් සහිත කොලොම්බියාව, මියන්මාරය, සූඩානය, උගන්ඩාව, සියෙරා ලියෝන්, සහ පිලිපීනය යන රාජ්‍යයන් සියල්ලම ආරක්‍ෂක වැයෙන් සිටින්නේ ලංකාවට පසුපසිනි. නමුත් සෞඛ්‍ය වැනි සුබ සාධන ක්‍ෂේත්‍රයක් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කෙරෙන ප්‍රතිශතයන් සැසඳීමේදී ලංකාව සිටින්නේ ඉතියෝපියාවටත් පසුපසිනි.
  
නමුත් යුද මාවත ඒකාන්ත ජයග්‍රහණය ගෙන එනු ඇතිය යන විශ්වාසය උණක් මෙන් පැතිර යමින් පවතී. බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තියේ නිර්දය විවේචකයෙකු වන ජෝර්ජ් මොන්බියෝ මෙසේ ලියයි: ‛‛ඔබ ජනතාව දන්නා දෙයක්ම ඔවුන්ට කියන්න. ඔවුන් ඔබට ස්තූති කරනු ඇත. ඔබ ඔවුන් නොදන්නා දෙයක් ඔවුන්ට කියන්න. ඔවුන් ඔබට වෛර කරනු ඇත.’’
  
අපේ යථාර්ථයන් එබඳුය. මුළුමහත් සමාජයක නොදන්නාකම දේශප්‍රේමය බවට පෙරළාගනිමින් තිබේ. සාගිනි හමුදාවන්ගෙන් යුද්ධ කිරීමේ ප්‍රතිවිපාක එළඹෙන කාලයේදී ලංකාව විසින් ඔප්පු කොට පෙන්වනු ඇත්තේ එමගිනි.

2006 දෙසැම්බර්

Print this post

0 comments:

Post a Comment