Print this post
රාවය | 2004 ජූනි 20
.......................................................................................................................................
පවතින අනම්‍ය රාජ්‍ය සැකැසුමේ ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිව්‍යුහකරණයක් ඇති කිරීමට බල කෙරෙන දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් උඩින්, ලැබෙන ඕනෑම අවස්ථාවකදී ඉන්දියානු බුල්ඩෝසර් යැවීමේ ‘දේශමාමක සැළසුම්’ යළිත් අභියෝගයට ලක්ව තිබේ. ඒ, කලාපීය දේශපාලනය ගැන අභිනව ඉන්දීය ආණ්ඩුව පෙන්නුම් කොට ඇති රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රවේශයේ ස්වභාවය හේතුවෙනි. කොංග‍්‍රසය ප‍්‍රමුඛ ‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන’ රජය මැයි 27 වෙනිදා එළිදැක්වූ නව ආණ්ඩුවේ ‘පොදු අවම වැඩපිළිවෙල’ (Common Minimum Programme - CMP) පිළිබඳ ලියැවිල්ලෙහි ලංකාව ගැන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තිය පැහැදිලි කොට ඇත්තේ මෙසේය:
‘‘ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා සහයෝගීතාව තුළ දෙමළ ජනයාගේත්, ආගමික සුළුතරයන්ගේත් යුක්ති සහගත අභිලාෂයන් මුදුන්පත් කරවන සාම සාකච්ඡුාවන්ට එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධානය සහාය දක්වනු ඇත.’’ (The Hindu - 2004 මැයි 28). ජූනි 01 වෙනිදා ඉන්දීය පාර්ලිමේන්තුව අමතා කතාකරමින් ‘‘ශී‍්‍ර ලංකාවේ සියළු භාෂාමය හා ආගමික සුළුතරයන්ගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පමුණුවන්නාවූද, සියළු ජන කොටස්වල අභිමානය හා ආත්ම ගරුත්වය සඳහා අත්‍යාවශ්‍ය සියල්ල සහතික කරන්නාවූද සාමයක් සඳහා මගේ රජය සහාය දක්වනු ඇතැ’’යි (The Hindu - 2004 ජූනි 07) ජනාධිපති අබ්දුල් කලාම් විසින්ද අවධාරණය කරන ලදී. මේ තැන් දෙකෙහිදීම ‘සුළුතර ජනයාගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පත්කිරීම’ අත්‍යවශ්‍ය ව්‍යතිරේඛයක් වශයෙන් ඉන්දියාව සළකන බව හඟවා තිබේ. පසුගිය දශකය තුළ දෙමළ ජාතික අරගලය කෙරෙහි වූ ඉන්දියානු ආකල්පය, දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් තුළ අඩංගු පොදු ප‍්‍රජාතාන්ති‍්‍රක අන්තර්ගතය බිඳදැමීමේ ‘නකල් ඩස්ටරයක්’ බවට පත්කරගැනීමේ ප‍්‍රාර්ථනාවන් මෙකී ස්ථාවරයන් විසින් තරමක් දුරට හෝ අර්බුදයේ හෙළා ඇති බව පෙනේ. ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිළිබඳ ඉන්දීය විරෝධය තවදුරටත් යථාර්ථයක් වන තරමටම අනම්‍ය ඒකීය රාජ්‍යයක්ද ඉන්දීය අපේක්‍ෂාව නොවන බව මෙමගින් පැහැදිලි වේ.
අපගේ අවශ්‍යතාව මේ පිළිබඳ හාරා ඇවිස්සීම නොවේ. වැදගත් හා වඩාත් ගැඹුරු ප‍්‍රශ්නය අනෙකකි. අභිනව ඉන්දීය රජයේ රාජ්‍ය තාන්ත‍්‍රික මූලෝපාය සකස් වී ඇත්තේ ඉහතින් කී ‘පොදු අවම වැඩ පිළිවෙල’ (CMP) තුළින් ප‍්‍රකාශයට පත් කෙරී ඇති ප‍්‍රතිපත්තිමය රාමුව මත නම්, එය දකුණු ආසියාවේ නව කලාපීය බලතුලනයකට අවකාශ විවර කරනු ඇතිද? එහි මෙසේ දැක්වේ: ‘‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන රජය එහි අතීත සම්ප‍්‍රදාය මතකයේ තබාගනිමින් ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. මෙම ප‍්‍රතිපත්තිය, ජගත් සබඳතා පිළිබඳ බහුධ‍්‍රැවීයතාව ප‍්‍රවර්ධනයට මං සොයනු ඇති අතර එකපාර්ශ්විකභාවය පිළිබඳ සියළු ප‍්‍රයත්නයන්ට විරුද්ධ වනු ඇත.’’ මෙහි අදහස පැහැදිලිය. එක්සත් ජනපද තනි බලාධිකාරය සහිත ලෝක යථාර්ථයක් තුළ ‘බහුධ‍්‍රැවීය ලෝකයක්’ සඳහා ඉන්දියාව කැපවනු ඇත.
බැලූ බැල්මට ඉකුත් දශකයේදී කලාපය තුළ එක්සත් ජනපද-ඊශ‍්‍රායෙල් මැදිහත්වීම් ශක්තිමත් කළ භාරතීය ජනතා පක්‍ෂයේ පිළිවෙතින් තීරණාත්මක ලෙස බිඳී යාමක් නව ආණ්ඩුවේ ‘පොදු අවම වැඩපිළිවෙලෙහි’ අඩංගු විදේශ පිළිවෙත මගින් සහතික කර තිබේ. නමුත් යටින් පවත්නා යථාර්ථයන් එතරම් සුමට පරිවර්ථනයක් පෙන්නුම් නොකරයි. නව ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ ජූනි 18 වෙනිදා ‘ෆ‍්‍රන්ට්ලයින්’ සඟරාවට ලිපියක් ලියන ජෝන් චෙරියන්, ප‍්‍රකාශයට පත්කර ඇති ලියැවිල්ල හා කොංග‍්‍රසය විසින් මුලින් ඉදිරිපත් කොට තිබූ කෙටුම්පත අතර වූ වැදගත් වෙනස්කම් පෙන්වා දී තිබේ. ඒ අනුව කොංග‍්‍රසය විසින් ඉදිරිපත් කරන ලද මුල් කෙටුම්පතේ ඉන්දු-එක්සත් ජනපද සබඳතා පිළිබඳ වගන්තිය මෙපරිදිය: ‘‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන රජය, එක්සත් ජනපදය සමඟ සමීප උපාය මාර්ගික හා ආර්ථික සබඳතාවන් පවත්වනු ඇති නමුත් සියළු කලාපීය හා ගෝලීය ප‍්‍රශ්න අරභයා ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයේ ස්වාධීනත්වය පවත්වාගෙන යනු ඇත.’’ නමුත් අවසාන ප‍්‍රකාශිත ලියැවිල්ලේ අදාළ වගන්තිය වාම කණ්ඩායම්වල බලපෑම් හේතුවෙන් මෙසේ සංශෝධනය වී තිබේ: ‘‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන රජය, එක්සත් ජනපදය සමඟ සමීප ලෙස කටයුතු කිරීම හා සබඳතාවන් පවත්වනු ඇති නමුත් සියළු කලාපීය හා ගෝලීය ප‍්‍රශ්න අරභයා ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයේ ස්වාධීනත්වය පවත්වාගෙන යනු ඇත. රුසියාව සහ යුරෝපය සමඟ සබඳතා ගැඹුරු කරගැනීමට එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන රජය කැපව සිටියි.’’ මේ අතර නව ඉන්දීය ආරක්‍ෂක උපදේශක ජේ.එන්.ඩික්සිට් උපුටා දක්වන Far Eastern Economic Review සඟරාව මැයි මස අග සතියේදී වාර්තා කොට තිබුණේ ‘එක්සත් ජනපදය සමඟ නව සබඳතාවන්ට මුලපුරන ලද්දේ රාජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග‍්‍රස් පාලන සමයේදී වන හෙයින් එකී සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බව’යි.
කලින් පැවති ආණ්ඩු සමයේ ඉන්දීය භූ දේශපාලන අවශ්‍යතා, කලාපය තුළ එක්සත් ජනපද-ඊශ‍්‍රායෙල් අභිලාෂයන් සමඟ තදින් ගැට ගසනු ලැබිණ. 1992 සිට ඊශ‍්‍රායෙලය සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කෙරුණු අතර මේ වනවිට ඉන්දියාවේ දෙවැනි විශාලතම අවි සැපයුම්කරුවා වන්නේ ඊශ‍්‍රායෙලයයි. එක්සත් ජනපද හා ඉන්දීය උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් ආරම්භ කෙරුණු ඉන්දු-එක්සත් ජනපද ‘ආරක්‍ෂක ප‍්‍රතිපත්ති කණ්ඩායම’ නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවද ශිම්ලා නගරයේදී රැුස්වී ආරක්‍ෂක තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කළහ (Indo-US Military Talks Conclude : Sandeep Dikshit - The Hindu | 2004 ජූනි 03). ඉන්දු-එක්සත් ජනපද සබඳතාවන්ගේ අනාගතය කෙරෙහි අවධානය යොමුකරමින් වොෂින්ටනයේ ජාත්‍යන්තර උපායික අධ්‍යයනයන් සඳහා වූ ආයතනය (CSIS) විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වූ ක්ලින්ටන් පාලන සමයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වූ කාල් ඉන්ඩර්ෆර්ත් ‘ඉන්දීය හා එක්සත් ජනපද අභිලාෂයන් වර්ධනීය ලෙස එකිනෙක හා බැඳි පවත්නා බව ඉක්මණින් අවබෝධ කරගනු ඇති බවට’ විශ්වාසය පළ කළේ යැයි Hindustan Times පුවත්පත ජූනි 08 වෙනිදා වාර්තා කොට තිබුණි. ආර්ථික ක්‍ෂෙත්‍රය තුළදී එක්සත් ජනපදයේ ප‍්‍රමුඛතම වෙළෙඳ ගණුදෙනුකරුවන් 20 දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වයට පසුගිය සමයේ ඉන්දියාව ළඟා වී තිබීමේ යථාර්ථයද මෙහිදී නොසළකා හැරීමක් සිදු නොවනු ඇත.
ඉන්දීය රජයේ කලාපීය ප‍්‍රතිපත්තීන් හා මූලෝපායයන් සමඟ ලංකාවේ දේශපාලන ඉරණම නොවැළැක්විය හැකි ලෙස ගැට ගැසී පවතින්නේ ඉහත කී ගෝලීය දේශපාලන බලයන් කලාපයට සම්බන්‍ධ කරන්නා වූ අසව්ව ඉන්දියාව වන හෙයිනි. ගතව ගිය සහස‍්‍රය විසින්ම පෙන්නුම් කරන ලද්දේ දූපත් යථාර්ථයන් විසින් අපගේ ඉරණම් තීරණය නොකරන බවයි. එය තීරණය කරන්නේ උප මහාද්වීපික යථාර්ථයන් විසිනි. ඉන්දු උප-මහාද්වීපික කලාපයට අදාළ උපායික අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයන් කෙරෙහි ගැඹුරු සංවේදීතාවයක් විකල්ප දේශපාලන ප‍්‍රවණතාවන් තුළ වර්ධනය කරගැනීම අත්‍යාවශ්‍යව පවතින්නේද ඒ නිසාය.
2004 ජූනි | කොළඹ
Print this post
Sunday, June 20, 2004
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment