Print this post
මව්බිම | 2006 සැප්තැම්බර් 10
.......................................................................................................................................
සාම්පූර්වලදී කලාක් මෙන් වැඩි කල් නොගොසින්ම කිලිනොච්චියේත් ‛සිංහල කොඩිය’ ඔසවන බව ‛සරෝජා’ හැදූ සෝමරත්න දිසානායක සැප්තැම්බර් 05 වෙනිදා මානෙල් මල් ව්‍යාපාරයේ නුගේගොඩ රැස්වීම් වේදිකාවේදී කීවේය. පසුව කතාකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විමල් වීරවංශ විසින් සෝමරත්න දිසානායකගේ කතාවේදී සුළු වැරැද්දක් සිදු වූ බව කියමින් ‛සිංහල කොඩියෙ’හි ‛ල’යන්න ඉල්ලා අස්කර ගත්තේය. ඒ හේතුවෙන් දෙමළ ජනයාට සිදුවන්නට ගිය මහත් වූ අසාධාරණයක් වැළකී ගියේය. ඒ අනුව කිලිනොච්චියේ දී ඔසවන්නේ ‛සිංහ කොඩිය’ යනුවෙන් එය නිවැරදි විය යුතුය.
එදිනම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ 10 වෙනි වාර්ෂික සමුළුව මරදානේ දුම්රිය සංගම් ශාලාවේදී පැවැත්වුණි. ‛බෙදුම්වාදී සතුරු බල මුළු පරදවමු - දුම්රිය සේවක අයිතීන් දිනාගනිමු’ එහි තේමාවයි. දුම්රිය සේවක අයිතීන් උදුරාගෙන ඇත්තේ බෙදුම්වාදී සතුරු බලමුළු බව සටන් පාඨයෙන් පැහැදිලිය. ඒ අනුව සාම්පූර්හී ළෙල දෙන සිංහ කොඩිය දුම්රිය කම්කරුවන්ගේ අයිතීන් යම් තාක් දුරකට දිනාගැනීමක් වශයෙන් සැළකිය හැකිය. මක් නිසාද යත් එමගින් ‛බෙදුම්වාදී සතුරු බලමුළු’ තරමකට හෝ පරාජය වී ඇති හෙයිනි.
ඒ සන්ධ්‍යාවේම වෘත්තීය සමිති 52ක සහභාගීත්වයෙන් වෘත්තීය අයිතීන්ට එරෙහිව අධිකරණය හරහා දියත් කෙරෙන රාජ්‍ය මර්ධනයට එරෙහි උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණ. අගෝස්තු 04 වෘත්තීය සමිති ව්‍යාපාරය හා රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන කමිටුව විසින් කැඳවා තිබූ උද්ඝෝෂණයට ජවිපෙ වෘත්තීය සමිති සහභාගී නොවූහ. සැප්තැම්බර් 06 වෙනිදා කොළඹ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳ වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය, කලින් දිනයේ පැවැති දුම්රිය සේවක වැඩ වර්ජනයට තමන් කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව අවධාරණයෙන් කියා සිටියේය. ‛ත්රස්තවාදයට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමක් වශයෙන් තමන් කිසිදු වැඩ වර්ජනයක් මේ මොහොතේ දියත් නොකරන බවට’ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත සහතික විය.
මේ අනුව යුද බිමේ සිට ගලා එන දෛනික වාර්තා අනුව දකුණේ කම්කරු පන්තිය සීඝ්‍ර ජයග්‍රහණ ලබමින් සිටින බව දැන් පැහැදිලිය. ෆවුල් තුඩුවේ ලෙළදෙන සිංහ කොඩිය ඊට සාක්ෂියකි.
ඉතිහාසය එකම වටයේ යළි යළිත් කැරකෙයි. ‛තමිල් ජනයාගේ නිදහස සිංහල පීඩිත ජනයා නොතකා හරින්නේ නම් අලිමංකඩ හා කරෙයිනගර් හමුදා වධ කඳවුරු කුරුණෑගලට සහ හම්බන්තොටට ගෙන එන දිනයක් උදාවනු ඇතැයි’ අත් අඩංගුවේ පසු වූ කුට්ටිමනී 1982 සිය අධිකරණ විභාගයේදී සිංහල ජනයාට අනතුරු හැඟවීය. ඉන් වසරක් ඇතුළත එළඹි කළු ජූලියේ වැලිකඩදී ඇස් උගුල්ලා මරා දැමූ ඒ දෙමලාගේ දිවැසි වාක්‍යය ඉතිහාසය විසින් එයින් සිව් වසරක් ඇතුළත දී සනාථ කරන ලදී. 1987 මැයි දිනයේ කොළොන්නාවේ කණිජ තෙල් සංස්ථාවේ ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ විද්යෝදයේ කිත්සිරි මෙවන් රණවක නාරාහේන්පිට අභයාරාමයේදී වෙඩි තබා මරා දමමින් දකුණට මහා මර්ධනයේ පණිවුඩය සේන්දු විය. ඉක්බිතිව එළඹි රාජ්‍ය ධවල භීෂණ සමයේ කිසිදු නිවසක සිංහ කොඩිය ලෙළදුන් වගක් මගේ මතකයේ නැත. 1989 පෙබරවාරි 04 වෙනි දා සිංහ කොඩිය වෙනුවට කළු කොඩි ඔසවා විරෝධය දක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ දකුණේ ජනයාට නිවේදනය කර සිටියේය. දෙවන ඊළම් යුද්ධය ඇරඹෙන මොහොත වන විට දකුණ සමූල ඝාතනයන්ගෙන් ගැළ වී හිස එසවූවා පමණි. අඟුණකොළපැලැස්සේත්, බටලන්දේත්, මැදිරිගිරියේත්, එළියකන්දේත්, වැහැරත් වධකාගාර තුළ ගලා ගිය සිංහල පීඩිත තරුණ-තරුණියන්ගේත් රුධිරය මිදෙන්නට පවා කලක් නොලැබිණ. පිළිස්සෙන මිනිස් පුළුටු ගඳ සහ දුමාරය මැද්දේ දකුණේ දොරින් දොර යළිත් සිංහ කොඩි එක-දෙක එසවිණ. ඈත දකුණේ පැරණි වධ කඳවුරු මඩකළපුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල හා ත්‍රීකුණාමලයේ මන්කි බ්‍රිජ් කඳවුර කරාත්, යාපනය පලාලි පාරේ ඌරලූ හා අම්පාරේ කොණ්ඩවට්ටුවාන් කඳවුරු කරාත් මාරුවිණ. එහි ගලන්නේ අනුන්ගේ ලේ බැවින් සිංහ කොඩි ඔසවා තබා දකුණ නිදාගත්තේය.
තුන්වෙනි ඊළාම් යුද්ධය ආරම්භ කරමින් යාපනයේ විජයග්‍රහණයේ සිංහ කොඩිය ලෙළදෙන්නට පටන් ගත් සැණින් දකුණේ ෆැක්ටරි හා වැඩපොළ ඉදිරිපිට යළිත් බැනර් නැංවුණි. නමුත් ඒ ජය පිසදා හරිමින් 1996 කම්කරු දිනය තහනම් කොට පෙළපාලිකරුවන්ට පහර දෙනු ලැබිණ. මැයි 29 ලංකා විදුලි බල මණ්ඩල පෞද්ගලීකරණයට එරෙහිව වර්ජනයට බට විදුලි කම්කරුවන් විසින් 30 වෙනිදා කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවට කඩාවැදුණු පොලිස් හමුදා කම්කරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. ජයග්‍රාහී ‛රිවිරැස මෙහෙයුමෙන්’ යාපනය දිග්විජය කළ ආරක්ෂක ඇමති රත්වත්තේ උතුරේ ‛ඉදිරිපිම්ම මෙහෙයුමට’ සමාන්තරව විදුලි වර්ජකයින්ට එරෙහිව ‛ඔපරේෂන් ෂොක්’ හෙවත් කම්පන මෙහෙයුම අරඹන බවට මැයි 31 වෙනිදා නිවේදනය කර සිටියේය. යුද්ධයේ මුවාවෙන් පනවාගත් හදිසි නීතිය යටතේ වර්ජකයින් දඩයම ඒත් සමගම ඇරඹිණ. ‛පාදඩයෝ වර්ජනයේ - රණ විරුවෝ ගණ අඳුරේ’ යැයි පැවසෙන පෝස්ටර් නගරයෙන් නගරය ඇළවිණ. ගම්පහදී විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නන් දෙදෙනෙකු වෙනුවට අඹු දරුවන් අත් අඩංගුවට ගත් ආරක්ෂක අංශ ජූනි 01 වෙනිදා ඊරියගමදීත්, උකුවෙලදීත්, ගොතටුවේදීත්, කොලොන්නාවේදීත් වර්ජනයේ යෙදුණවුන් අත් අඩංගුවට ගනු ලැබූහ. මැයි 31 වෙනිදා විදුලි සංදේශ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සභාපති ජේ.බී.සී.දිසානායකට නිවසේදී වෙඩිතබා ඝාතනය කරන්නට ප්රයත්න දැරිණ. ජූනි 06 වෙනිදා මැකලම් පාරේ වෘත්තීය සංගම් රැස්වීම් අවසන් කොට යමින් සිටියදී බැංකු සේවක සංගම් නිළධාරීන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ‛බෙදුම්වාදී සතුරු බල මුළු පරදවා කම්කරු අයිතීන් දිනාගැනීමේ’ ඉතිහාස කතාව එබඳුය.
දැන් සිව්වැනි ඊළම් යුද්ධය ආරම්භ වී තිබේ. දෙමසකට පෙර වර්ජනයේ නියැළුණු වරාය කම්කරුවන් හා සතියකට පෙර වර්ජනයේ යෙදුණු දුම්රිය කම්කරුවන් කොටින්ගේ ආධාරකරුවන් බවට රජයේ ඇමතිවරු ප්‍රකාශ නිකුත් කළහ. ඒ අතරේ සමස්ත නැගෙනහිර පළාතේම ‛සිංහ’ කොඩිය ඔසවා කම්කරු අයිතීන් රැකගන්නට ජනතා විමුක්ති පෙරමුණ ආරාධනා කර සිටියි. ජීවන බරින් පීඩිත කම්කරුවන් අතරේ මානෙල් මල් විකිණේ. සාම්පූර් ජය අපේ පීඩිතභාවයේ යථාර්ථයන් කෙසේ වෙනස්කරනු ඇතිදැයි කිසිවෙක් නොඅසයි. දකුණේ දිස්ත්‍රික් හතක සුනාමියෙන් උන්හිටි තැන් අහිමිව තැන් තැන්වල දිවි ගෙවන 65,300කට ආසන්න සරණාගත ජනයාගේ ඉරණම ෆවුල් තුඩුවේ ලෙළදෙන සිංහ කොඩියෙන් වෙනස් වනු ඇතිද? 2005 වසරේ වසා දමන ලද ෆැක්ටරි 26කින් මහපාරට ඇද දමන ලද කම්කරු ස්ත්‍රීන් හා පිරිමින් 4900කගේ ඉරණම සෝමරත්න දිසානායක විසින් කිලිනොච්චියේ එසවීමට නියමිත සිංහ කොඩියෙන් වෙනස් වනු ඇතිද? ඉකුත් හය මාසය තුළ රැකියාවලින් දොට්ට දැමූ කටුනායක වෙළඳ කලාපයේ ඒ.ජේ.මිල්ටන් හා හොන්කොන් නිටර්ස් ෆැක්ටරිවලත් ඒකල කාර්මික ජනපදයේ මල්බා රෝප් සහ රොබියලැක් ෆැක්ටරිවලත් දහසකට නොඅඩු කම්කරුවන්ගේ ඉරණම ‛බෙදුම්වාදී සතුරු බලමුළු පැරදවීමෙන්’ විසඳෙනු ඇතිද?
‛‛ෆැසිස්ට්වාදයේ වංචනිකකම වන්නේ ධනවාදයට බරපතල ලෙස පහරදීමෙන් තොරව තමන් ධනපති විරෝධී ලෙස හඳුන්වා ගැනීමය. එය පළමුවෙන් තැත් කරනුයේ බහු ජනයාගේ ධනේශ්වර විරෝධය ජාතිකවාදය බවට පෙරළීමටයැ’’යි යුරෝපයේ ෆැසිස්ට්වාදය නැගී ආ සමයේදීම ඒ ගැන දීප්තිමත් විශ්ලේෂණයක් කළ ඩැනියෙල් ගෙරාන් ලීවේය. දක්ෂිණාංශික තක්කඩින්ගේ මුග්ධභාවය දේශප්‍රේමය බවට පත් වූ තැනෙක මිනිස් විචාර බුද්ධිය දේශද්‍රෝහී ගොඩට විසි වෙයි. ලංකාව යළිත් අසීමිත උද්යෝගයෙන් ගමන් කරමින් සිටින්නේ පැරණි පාරකය. ඒ පාරේ පැරණි ඉරණම් මිස අලුත් ඉරණම් හමුවීමට ඉඩක් නොමැත.
2006 සැප්තැම්බර් | කොළඹ
Print this post
Sunday, September 10, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment