Print this post
මව්බිම | 2006 ජූලි 30
.......................................................................................................................................
මහනෙල් මල් ව්‍යාපාරය විසින් දියත් කරන ලද මහනෙල් මල් සතිය දැන් නිමාවට පත්ව තිබේ. ඒ රාජ්‍ය හමුදාවන්ගේ සාමාජිකයින්ව සිට යුදබිමේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල් සඳහා වූ සුබසාධන වැඩසටහනක කොටසක් වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයාද, දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකරද ප‍්‍රමුඛ සරසවි ඇදුරන් සහ කලාකරුවන් පෙරටු කොටගත් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය මහනෙල් මල් සතිය සංවිධානය කිරීමේ වගකීමට උර දී තිබිණ. හමුදා සුබ සාධනය ඉලක්ක කොටගත් පොපි මල් ව්‍යාපාරයක් වාර්ෂිකව සංවිධානය කෙරෙන අතරතුරදී මහනෙල් මල් ව්‍යාපාරයක් අවශ්‍ය වූයේ ඇයි? ඒ පොපි මල් ව්‍යාපාරයට මේ නිශ්චිත මොහොතට අදාළව උපයෝගී කොට ගත හැකි දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බැවිනි.
දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුණු සංවිධානයකි. එහි ලේකම්වරයා ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රචාරක ලේකම්ධූරයේ වගකීම උසුළන්නෙකි. හමුදා බි‍්‍රගේඩියර්වරයෙකුට මානෙල් මල් ස්ටිකරය පළඳවනවුන් අතර හෙතෙම සිනහමුසු මුහුණින් සිටින සේයාරුවක් පුවත්පත්වල පළවී තිබිණ. හරියටම මෙයින් මසකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය වීර දිනයේ ප‍්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූයේද ඔහුය. එහිදී එළිදුටු කෘතියක මුල් පිටපත දශක එක හමාරකට පෙර රාජ්‍ය හමුදා අත්අඩංගුවේදී ඝාතනය කෙරුණු ජවිපෙ කි‍්‍රයාකාරී ශිෂ්‍ය නායකයෙකු වූ එස්.එම්.නිෂ්මිගේ පියා වෙත සියතින් පිරිනමන සේයාරුවකද ඔහු සිනහමුසු මුහුණින් සිටිනු පුවත්පත්වල පළවිය.
‘මව්බිම’ පුවත්පතටම තීරු ලිපියක් සපයන අපගේ අතීත මිත‍්‍ර නන්දන ගුණතිලකගේ පසුගිය සතියේ ලියැවිල්ලේ කෝදුවෙන් මැන බලතොත් මේ සියල්ල ‘‘ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පෙර නොවූ විරූ පරිණත විප්ලවවාදී ලක්‍ෂණ’’ විය හැක. සැබෑවකිෟ එය නම් කිසි කලක ලොව කිසිදු සමාජවාදී ව්‍යාපාරයක් විසින් බිඳ හෙළීමට හෝ සම කිරීමට පවා සමත් නොවන වාර්තාවක් බව නිසැකය. 1994 නොවැම්බරයේදී මර්දනයෙන් පසු එළි දුටු පළමු ‘නියමුවා’ පුවත්පතේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලියූ නන්දන ගුණතිලකම එහි පළමු ඡේදයේ ‘‘අත් අඩංගුවේදී ම්ලේච්ඡු ලෙස ඝාතනය කළ සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, සාමාජිකයන්, හිතවතුන් ඇතුළු ලක්‍ෂයක් මව්බිමේ වීරෝධාර දූ පුතුන් එවැනි කුරිරු සංහාරයකට ගොදුරු කිරීමට වගකිව යුතු මිනීමරු ගහළයන් මුළුමහත් ලාංකීය ජනතාවටමත්, සමස්ත ලෝකයටත් එළිදරව් කිරීමත්, මේ මිනීමරුවන්හට ජනතාවට පිළිගත හැකි පූර්ණ බලැති අධිකරණමය කි‍්‍රයාදාමයක් තුළ උපරිම දඬුවම් අත්පත් කර දීමත්.....’’ අත්‍යවශ්‍ය බව ලීවේය. අනතුරුව එහිම මෙසේ ලීවේය: ‘‘උලපනේදී අත්අඩංගුවට ගත් රෝහණ විජේවීර සහෝදරයා තිඹිරිගස්යායේ ඕප්ස් කම්බයින් මූලයට ගෙන ආ පසු ඔහුගෙන් ප‍්‍රශ්න කළ ප‍්‍රධානතම පුද්ගලයින් වූයේ රන්ජන් විජේරත්නත්, හමුදාවේ සිටි දරුණුතම මිනීමරුවන් වන එවකට මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න, බි‍්‍රගේඩියර් ජානක පෙරේරා, බිගේඩියර් ලක්‍ෂ්මන් අල්ගම, බි‍්‍රගේඩියර් ජයසුන්දර, මේජර් තෝරදෙණිය, මේජර් උඩුගම්පොළ, කපිතාන් මුතාලිෆ්, ගෆූර් යන පිරිසයි...’’ (නියමුවා / 1994 නොවැම්බර් 1 - 4 පිටු). මේ වැකි ලියූ දොළොස් වසරකින් පසු රාජ්‍ය හමුදා සුබ සාධනය සඳහා මහනෙල් මල් විකිණීම ‘පරිණත විප්ලවවාදීකමක ලක්‍ෂණ’ වශයෙන් දකින්නට යෝජනා කරන නන්දන ගුණතිලකගේ වාර්තාව සම කළ හැක්කේ ලොව කවර නම් විප්ලවවාදියෙකුටද?
එපමණක් නොවේ.
1989දී කඹුරුපිටියේදී හමුදාවන් විසින් වටකොට තැබූ වෙඩි ප‍්‍රහාරයන්ගෙන් අහඹු ලෙස ගැළවුණු විමල් වීරවංශ එයින් දශකයක් ඇවෑමෙන් හමුදා සුබ සාධනය සඳහා මානෙල් මල් විකිණීමේ වර්ථමාන දේශපාලන භාවිතාව සම කළ හැක්කේ කවර නම් සමාජවාදියෙකුටද? 1992 පෙබරවාරි 18 වෙනිදා රත්මලාන තෙලවල රැුඳවුම් කඳවුරු වහළ මත නැග උපවාස කළ ජවිපෙ දේශපාලන රැඳවියන් හමුදා වෙඩි ප‍්‍රහාරයන්ට ගොදුරුවනු සියැසින් දුටු රැඳවියෙකු වූ විජිත හේරත්ගේ වර්ථමාන දේශපාලන භාවිතාව සම කළ හැක්කේ කවර නම් සමාජවාදියෙකුටද? වාද්දුව යුද හමුදා කඳවුරට පහරදීමට යාමේදී අත්අඩංගුවට පත්ව 1995 තෙක්ම බන්‍ධනාගාරගත දිවියක් ගෙවා නිම කළ ටිල්වින් සිල්වාගේ වර්ථමාන දේශපාලන භාවිතාව සම කළ හැක්කේ කවර නම් සමාජවාදියෙකුටද? දුෂ්කරතම මර්දනකාරී සමයක තමන් හා ජීවිතය බෙදාගත් සිය සහෝදර දේශපාලන මණ්ඩලයම රාජ්‍ය හමුදාවන් විසින් සමූල ඝාතනය කරනු ලබද්දී දිවි ගළවාගෙන යුරෝපයේ පිටුවහල් දිවියක් ගෙවා පැමිණි සෝමවංශ අමරසිංහගේ වර්ථමාන දේශපාලන භාවිතාව සම කළ හැක්කේ කවර නම් සමාජවාදියෙකුටද? කෙටියෙන් කිවතොත් නැගිටීම් දෙකකදී මරාදැමුණු 100,000කට ආසන්න ස්වකීය සහෝදර සාමාජිකයින් එරබදු මලින්ද, එකී ඝාතනයන් සිදුකළ රාජ්‍ය හමුදා සාමාජිකයින් මහනෙල් මලින්ද සමරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාවට අභියෝග කළ හැක්කේ ලොව කවර නම් ‘සමාජවාදී - විප්ලවවාදී ව්‍යාපාරයකටද?’
නමුත් වාමාංශය යනු සමාජයක් තුළ යුක්තිය හා යහපත පිළිබඳ පවතින සාමූහික හෘදය සාක්‍ෂියයි. එම හෘදය සාක්‍ෂිය ජීවමාන කරන්නා වූ විකල්ප මිනිස් පැවැත්මයි. අතීත ඛේදවාචකයන් පිළිබඳ හෘදය සාක්‍ෂිය විනාශ කොට දැමුණු තැන යහපත් හා යුක්තිගරුක සමාජයක් යනු වාචාලයින්ගේ වාගාලාපයක් පමණි. හඹා ගොස් දිනාගත යුතු ප්‍රෞඪ හා ස්වර්ණමය අතීතය ජවිපෙ නායකයින්ගේ උරුමයකි. එය අපේ උරුමයක් නොවේ. අපේ අතීතය යනු ජීවිතය බෙදාගත් සහෝදර මිනිසුන් පිළිබඳ පිළිස්සී අළුව ගිය, වෙඩි දුමින් සහ මිනී පුළුටු ගඳින් පිරීගත් මතකයකි.
අතීතය රාමු කොට බිත්තියක එල්ලා තැබිය හැකි සේයාරුවක් නොවන හෙයින් එය බොහෝවුන්ගේ හෘදය සාක්‍ෂිය නොපෙළයි. ‘71 සහ ‘89 දී යුක්තිගරුක ජීවිතයක් සඳහා කැරළි ගැසීමේ වරදට මාවත් අද්දර පිලිස්සී ගිය දකුණේ දුගී සිංහල තරුණ පරම්පරාවන් වනාහී වසරකට දෙවරක් ජනතා විමුක්ති පෙරමුණේ ‘නවීන විප්ලවවාදී නායකයින්ගේ’ පපුව සරසන පදක්කමකි. අපට එය අපේ සාමූහික හෘදය සාක්‍ෂියේ මැකිය නොහැකි කැළලකි. මහනෙල් මල් ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගැනීමෙන් අප වළකන ‘දේශද්‍රෝහී’ සිතිවිල්ලේ රහස එයයි.
2006 ජූලි | කොළඹ
Print this post
Sunday, July 30, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment