Sunday, August 14, 2005

කදිරගාමර් සහ පොන්නම්බලම්: ඝාතන දෙකක් - ප්‍රතිචාර දෙකක්

Print this post


හිරු | 2005 අගෝස්තු 14
.......................................................................................................................................

කොළඹ 07 බුලර්ස් පටුමගේ සිය පෞද්ගලික නිවසේදී දුර සිට වෙඩි තබන ඉලක්කකරුවෙකුගේ ගොදුරක් බවට විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වූයේ 12 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේදීය. දේශපාලන ලෝකය තුළ පළමුව වික්‍ෂිප්තභාවයත්, දෙවනුව කම්පනයත්, තෙවනුව ශෝකය සහ කෝපයත් ප‍්‍රකාශයට පත්වීම ආරම්භ වූයේ අනතුරුවය. අගනුවරදී ස්නයිෆර් වෙඩික්කරුවෙකුගේ ගොදුරක් බවට පත් පළමු රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රභූවරයා වූයේ කදිරගාමර් ඇමතිවරයාය. ඝාතනයේ වගකීම පළමු පැය විසි හතර තුළදීම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙත පැවරුණු අතර ඊළඟ පැය විසි හතර තුළදී විමුක්ති කොටි සංවිධානය එහි වගකීම භාරගැනීම නිල වශයෙන් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබිණ. දැන් පරීක්‍ෂණ ආරම්භව ඇතැයි වාර්තා වන අතර අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවලින් විශාල දෙමළ වැසියන් සංඛ්‍යාවක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ලිපිය කදිරගාමර් ඝාතනය කේන්‍ද්‍රකරගත් ජනපි‍්‍රය සාකච්ඡාවක් ඇරඹීමේ අපේක්‍ෂාවෙන් ලියැවෙන්නක් නොවේ. මෙහි අරමුණ කදිරගාමර් ඝාතනයට දකුණේ සිංහල ජන සමාජය ප‍්‍රතිකි‍්‍රයා දක්වන ලද ආකාරයේ සාමූහික මනෝ විද්‍යාව විමසීමයි. එය ජනපි‍්‍රය නැති සාකච්ඡාවකි. ජනප‍්‍රිය වේ යැයි සිතීමට වුවද ඉඩක් නැති සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව සඳහා වැදගත් වේ යැයි කල්පනා කරන ලියුම්කරුගේ ප‍්‍රශ්නය මෙසේ සංක්‍ෂිප්තව ගොණු කළ හැක:

 ‘ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ මරණය අන් දෙමළ ජාතිකයෙකුගේ මරණයට වඩා සාමාන්‍ය සිංහල ජන විඥාණය තුළ විශේෂ ශෝකයක් නිර්මාණය කරන ලද්දේ ඇයි?’ බැලූ බැල්මට ප‍්‍රශ්නය අති සරළ එකකි. ඇතැම් විට පිළිතුරද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් සරළ එකක් වීමට ඉඩ තිබේ. නමුත් එය සාකච්ඡාවට වටිනා තරම් එකකි. ඒ සඳහා සංසන්දනයන් වැදගත් වේ. කදිරගාමර් ඝාතනය කිරීමට වසර 5කට පෙර 2000 වසරේ ජනවාරි 05 වෙනිදා කොළඹදී සිදු වූ කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනය මෙහිදී වැදගත් සංසන්දනයකට අවකාශ සළසයි. එබැවින් අපි පසුබිම් සසඳා බලමු.

කදිරගාමර් පැවත එනුයේ දෙමළ ප‍්‍රභූ පසුබිමකිනි. කුමාර් පොන්නම්බලම් පැවත ආවේද ඊට සමාන හෝ බොහෝ දුරට ඊටත් වැඩි ප‍්‍රභූ පසුබිමකිනි. කදිරගාමර් උගත්තේ ඔක්ස්ෆර්ඞ් සරසවියේය. පොන්නම්බලම් උගත්තේ කේම්බි‍්‍රජ් සරසවියේය. කදිරගාමර් නීති වෘත්තියේ නියැළුණු බැරිස්ටර්වරයෙකි. පොන්නම්බලම්ද වෘත්තීමය වශයෙන් නීති ක්‍ෂෙත‍්‍රය තුළ සප‍්‍රකට බැරිස්ටර්වරයෙකි. කදිරගාමර් ජීවත්වූයේ සිංහල ජනයා බහුල වශයෙන් ජීවත්වන දකුණේ කොළඹ හත, බුලර්ස් පටුමගේය. පොන්නම්බලම් ජීවත්වූයේද සිංහල ජනයා බහුල දකුණේ කොළඹ 07, රැජින පාරේය. කදිරගාමර් මරණයට පත්වූයේද අගනුවර සිදුවූ වෙඩිතැබීමකිනි. පොන්නම්බලම් මරණයට පත්වූයේද අගනුවර සිදුවූ වෙඩි තැබීමකිනි. නමුත් සමානකම් මෙතරම් තිබියදීත් පොන්නම්බලම් ඝාතනය සැනසිල්ලෙන් භාරගත් බොහෝ සිංහල වැසියන් කදිරගාමර් ඝාතනය කම්පාවෙන් භාරගත්තේ ඇයි?

මෙය තව දුරටත් විමසා බැලීමට තරම් වටිනා එකකි. ලක්‍ෂ්මන් කදිරගාමර් ප‍්‍රසිද්ධ සහ සකී‍්‍රය දේශපාලනයට පැමිණියේ 1994 තරම් මෑත කාලයේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ පාලනය ආරම්භයත් සමඟය. නමුත් කුමාර් පොන්නම්බලම්ගේ ප‍්‍රසිද්ධ දේශපාලන ජීවිතයේ ආරම්භය ඊට බොහෝ පැරණි එකකි. කදිරගාමර් ඉංගී‍්‍රසි බස හැර සිංහල හෝ දෙමළ භාෂා විෂයෙහි කිසිදු චතුරභාවයක් දැක්වූවෙක් නොවීය. නමුත් පොන්නම්බලම් ඉංගී‍්‍රසි සහ දෙමළ භාෂාවන් පමණක් නොව සිංහල භාෂාව සම්බන්‍ධයෙන්ද මනා චතුරභාවයක් පෙන්නුම් කළේය. අනෙක් අතින් කදිරගාමර්ට දෙමළ හෝ සිංහල ජන සමාජයන් සමඟ ඓන්ද්‍රීය සම්බන්‍ධයක් නොවූ නමුත් පොන්නම්බලම් දෙමළ සමාජයට මෙන්ම සිංහල සමාජයටද ඓන්ද්‍රීය සම්බන්‍ධකම් සහිත අයෙක් විය. 1971 රජයට විරුද්ධව කැරළි ගැසූ පළමු කරළිකාරී සිංහල තරුණයින් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි හෙතෙම 1987-89 සමයේ දෙවෙනි කැරැල්ල ගැසූ තරුණයින් සමඟද සමීප සබඳතා පැවැත්වීය. 1988 අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනැංවීමට කටයුතු කළ (ශී‍්‍රලනිපය ඇතුළත්) පක්‍ෂ අටේ දේශපේ‍්‍රමී සන්‍ධානය තුළ ජවිපෙට සිටි වඩාත් ප‍්‍රබලතම ආධාරකරුවෙකු වූයේද පොන්නම්බලම්ය. එමෙන්ම ‘ගීතාංජලී’ නමින් හැඳින්වුණු පොන්නම්බලම්ගේ රැජින පාරේ පාරම්පරික නිවස එවකදී අවිශිබම ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් පමණක් නොව, ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මික වැනි ජවිපෙ ඉහළ පෙළේ සාමාජිකයින් පවා යාම් ඊම් කළ සමීප ස්ථානයක් විය. (එවකදී අවිශිබම තුළ ජවිපෙ කි‍්‍රයාකාරිකයෙකුව සිටි වත්මන් හෙළ උරුමය නායක පාඨලී චම්පික පසුකලෙක ‘දිවයින’ පත‍්‍රයේ බදාදා අතිරේකයට ලියූ ‘අමු සොහොනක විලංගු ලා’ ලිපි පෙළෙහි මෙම සබඳතා පිළිබඳ ඔහුගේ සමරණයන් අඩංගු කර තිබේ.) දකුණේ කැරළිකාරී තරුණයින් වෙනුවෙන් මෙන්ම රාජ්‍ය මර්ධනයට ඉලක්ක වූ වාමාංශික නායකයින් හා කි‍්‍රයාකාරිකයින් වෙනුවෙන්ද පොන්නම්බලම් දේශපාලනිකවද, ඇතැම්විට අධිකරණය හමුවේ වෘත්තීමය වශයෙන්ද පෙනී සිටියේය. උතුරේ කැරැළිකාරී පරම්පරාවන් සමඟ ඔහු ගොඩනඟාගත් සම්බන්‍ධතාවය වටහාගැනීමේදී ඉහත ඉතිහාස කාරණා අතිශය වැදගත්කමක් සහිත වේ.

නමුත් කදිරගාමර්ගේ පසුබිම ඊට වෙනස් එකකි. ඔහු ඉහතින් කී සමාජ-දේශපාලන කැළඹීම් සමඟ කිසිදු ඓන්ද්‍රීය සබඳතාවක් නොපැවැත්වූ අතර එහෙයින්ම දේශපාලනිකවද ඒවා තේරුම්ගැනීමේ පෘථුල සිතීමක් පෙන්නුම් නොකළේය. ඉහතින් කී දකුණේ පළමු කැරැල්ලට සහභාගී වී, දෙවෙනි කැරැල්ලේ නායක ශ්‍රේණීන්ද නියෝජනය කළ වත්මන් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සමඟ මුල්වරට මෑතකාලයේ සිදුවූ හමුවීමෙන් පසු ‘ඒ අය මම හිතුවට ගොඩක් වෙනස් විදියක අය’ යැයි කදිරගාමර් ඇමතිවරයාම කළ බවට ජවිපෙ හිතවාදී පුවත්පත් විසින්ම වාර්තා කළ ප‍්‍රකාශය පමණක් සළකා බැලූවද මෙම යථාර්ථය හෙළි වේ. එසේවීත් පොන්නම්බලම් ඝාතනය සැනසිල්ලෙන් භාරගත් බොහෝ සිංහලයින් කදිරගාමර් ඝාතනය හමුවේ කම්පාවට පත්වීමේ රහස කුමක්ද?

පිළිතුර සරළ එකකි. පොන්නම්බලම් මෙන්ම කදිරගාමර්ද දෙමළෙකු බව ඇත්තකි. නමුත් කදිරගාමර් සිංහලයින් වන අපි කැමති වර්ගයේ දෙමළෙකි. තමන් එවැන්නෙකු බව කදිරගාමර්ද දැන සිටියේය. නමුත් පොන්නම්බලම් එවැන්නෙකු නොවේ. තමන් එවැන්නෙකු නොවන බව පොන්නම්බලම් දැන සිටියා පමණක් නොව, ඔහු එය විවෘතවම ප‍්‍රකාශ කරන්නටද නොපැකිළුණේය. ඊට දිය හැකි හොඳම නිදසුන ‘ස්වර්ණවාහිනියේ’ චන්දන සූරියබණ්ඩාර ඔහු සමඟ පැවැත්වූ සුප‍්‍රකට ‘රතුඉර’ වැඩසටහනයි. සිංහලයින් පිළිබඳ තමන්ගේ ආකල්ප මිත‍්‍රශීලී හා ගෞරවාන්විත වන නමුත් දෙමළ ජනයාට සුවිශේෂ වූ දුක් ගැනවිලි හා ප‍්‍රශ්න සම්බන්‍ධයෙන් සම්මුති විරහිතව ගැටෙන්නට ඇති සූදානම ඔහු එහිදී හෙළි කළේය. ඒ හේතුවෙන් ඔහු තමන් විශ්වාස කරන ලද නමුත් සිංහල බහුතර ජනයා විශ්වාස කරන්නට අකමැති තිත්ත සත්‍යය නොවළහා හෙළි කළේය. දෙමළ ජනයාගේ එකම නියෝජිතයා පිළිබඳ මතභේදාත්මක කරුණ කුමක් වුවද, කොටි සංවිධානයද දෙමළ ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන බව ඔහු විවෘතව ප‍්‍රකාශ කළේය. සමානයින් වශයෙන් නොසළකන්නේ නම් එක්ව ජීවත්වීම සඳහා ඉඩක් නැති බවත් වෙන්ව ජීවත්වීම දෙමළ ජනයාගේ අභිමතය බවත් ඔහු කීවේය. ජාතික ප‍්‍රශ්නය විසඳන්නට අවශ්‍ය සාකච්ඡාවන් පදනම් විය යුත්තේ 1985 දෙමළ සටන්කාමී සංවිධාන සියල්ලන්ගේ සහභාගීත්වයෙන් තිම්පු නුවරදී ඉදිරිපත් කළ සිව් වැදෑරුම් තිම්පූ මූලධර්මයන් මත පමණක් බව ඔහු හැමවිටම අවධාරණය කළේය. තමන් උපන් යාපනයට යන්නට සිංහල රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට තමන් සූදානම් නැති බව ඔහු ප‍්‍රසිද්ධියේ ලීවේය. අවිහිංසාවාදී හා සාමකාමී ලෙස අදහස් පළකරන්නට නිදහසක් නොවේ නම් තරුණයින්ගේ ප‍්‍රචණ්ඩත්වය නොවැළැක්විය හැකි යථාර්ථයක් බව ඔහු සිංහලෙන්ම කීවේය.

කදිරගාමර් මේ කිසිත් නොකීවේය. මේ කිසිත් නොලීවේය. ඒ වෙනුවට ඔහු සිංහල කේන්‍ද්‍රීය රාජ්‍ය වෙනුවෙන් ‘‘ජාත්‍යන්තර ප‍්‍රජාව’’ හමුවීමට යාමේ රාජ්‍ය තාන්ති‍්‍රක වගකීම ඉටු කළේය.

පනස් වසරක් තිස්සේ සිංහල පාලකයින් මෙන්ම බහුතරයක් සිංහල ජනයා අත්හරින්නට අකමැති අධිපතිවාදයේ කැත කදිරගාමර් කිසිවිටක අපිට සිහිපත් නොකළේය. නමුත් පොන්නම්බලම් හැමවිටම එහි කැත අපේ මුහුණටම කීවේය. ඒ හේතුවෙන් කදිරගාමර් අපි කැමති වර්ගයේ දෙමළෙකු විය. ඒ හේතුවෙන්ම පොන්නම්බලම් අපි අකමැති වර්ගයේ දෙමළෙකු විය. පොන්නම්බලම්ගේ මරණය සැනසිල්ලක් වී කදිරගාමර්ගේ මරණය සංවේගයක් බවට පත් වීමේ පිටුපස ඇති සමාජ මනෝ විද්‍යාත්මක ඇත්ත එයයි.


2005 අගෝස්තු | කොළඹ

Print this post

0 comments:

Post a Comment