Sunday, June 13, 2004

කුකුළේගඟ ඇමරිකානු සාම සාධනය

Print this post


රාවය | 2004 ජූනි 13
....................................................................................................................................... 

ජූනි 12 වෙනිදා සිංහරාජයට ප‍්‍රත්‍යන්ත කුකුළේගඟදී ‘‘සාම සාධක ෆැක්ටරියක’’ වැඩ ඇරඹිණ. අභිනවයෙන් ඇරඹුණු කුකුළේගඟ මිලිටරි පුහුණු සංකීර්ණයේදී එක්සත් ජනපද පැසිෆික් ආඥාවේ අධීක්‍ෂණය යටතේ නිත්‍ය හමුදා අභ්‍යාසයන් සඳහා මුලපුරා ඇත. පළමු ඒකාබද්ධ වැඩසටහන සඳහා මොංගෝලියාව, බංග්ලාදේශය, නේපාලය හා ශී‍්‍ර ලංකාව මෙන්ම එක්සත් ජනපදයද සහභාගී වීම නිල වශයෙන්ම නිවේදනය කෙරී තිබේ.  ප‍්‍රකාශිත අරමුණ ‘එක්සත් ජාතීන්ගේ සාම සාධනය’යි. නව අවුරුද්දක් තිස්සේ වැඩි හා-හූවකින් තොරව පවත්වාගෙන ගිය ශී‍්‍ර ලංකා - ඇමරිකානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් හෙවත් ‘සමතුලිත ආරේ මෙහෙයුම්’ (Operation Balance Style) මාලාව මේ යටතේ නව අධියරකට එළඹ ඇත. කුකුළේගඟ හමුදා පුහුණු අභ්‍යාසයන් ‘සාම සාධනයට’ අදාළ යැයි පැවසෙන නමුත් අධීක්‍ෂණ කටයුතු සිදු කෙරෙන්නේ සාම සාධනයේ ලෝ පතල කීර්තියක් සහිත එක්සත් ජනපද පැසිෆික් ආඥාව මගිනි. පැරණි ආණ්ඩුවෙන් සැපයුණු යටි තල පහසුකම් යටතේ දැන් අභිනව ආණ්ඩුව සමඟ ‘රට පෙරට’ය. තනියට ඇමරිකානුවෝද සිටිති. 

සාම සාධන කටයුතු හා එක්සත් ජනපද මිලිටරි කි‍්‍රයාකාරකම් අතර ඓතිහාසික සම්බන්‍ධය කොහොමටත් සිත්ගන්නා සුළු එකකි. දෙවන ලෝක සංග‍්‍රාමය අවසාන වනවිට රටවල් සහ කලාප 200ක් තුළ පිහිටුවන ලද කඳවුරු 2,000ක රඳවා තිබූ 30,000කට වැඩි ඇමරිකානු සෙබළුන් ගැන කතාකරමින් ජනාධිපති හැරී ටෲමන් මෙසේ කීය: ‘‘එක්සත් ජනපදයට මේ යුද්ධයෙන් ආත්මාර්ථකාමී ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය නැත. නමුත් අපගේ අවශ්‍යතාවල හා ලෝක සාමයේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම යුද කඳවුරු පවත්වාගෙන යාම අවශ්‍යව තිබේ.’’ මේ ප‍්‍රකාශය විසින් හකුළා දක්වන වැදගත් යථාර්ථය කුමක්ද? ‘ඇමරිකානු අවශ්‍යතා සහ ලෝක සාමයේ ආරක්‍ෂාව’ අතර ඇතැයි සිතන ‘සංසාරික බැඳීම’ ගැන යුද්ධයෙන් පසුකාලීනව වර්ධනය වූ ඇමරිකානු අධිරාජ්‍යයේ ආකල්පයයි. විදේශ සබඳතා පිළිබඳ එක්සත් ජනපද සෙනේට් කමිටුවට යටත් ආරක්‍ෂක ගිවිසුම් පිළිබඳ උප කමිටුව 1970 දෙසැම්බර් 21 වෙනිදා තරම් ඈතදී නිකුත් කළ වාර්තාවක් විසින් මේ ආකල්පය තවදුරටත් සනාථ කරයි: ‘‘විදේශයක පිහිටුවන ලද ඇමරිකානු කඳවුරක පැවැත්ම තීරණය කරන්නේ මතුවන තත්ත්වය විසින්ය. එවැන්නක් පිහිටුවන ලද මූලික අරමුණ ඉටුවූ පසුවද, අළුත් අමුණු ඇතිවිය හැක. ඒ අනුව එම කඳවුර පවත්වාගෙන යාමට පමණක් නොව, විශාල කිරීමටද සිදුවීමට ඉඩ තිබේ.’’      

නමුත් එක්සත් ජනපදයට අයත් ස්ථාවර හමුදා විදේශ රටවල රඳවා තැබීම් පසුකාලීනව වේගයෙන් පහත වැටිණ. එක්සත් ජනපද යුද හමුදා පාසල විසින් 1999දී සිදුකරන ලද අධ්‍යයනයක් තුළින්ම මේ බව සනාථ කොට තිබිණ. ඒ වෙනුවට ලෝක පරිමාණව ඇමරිකානු යුද බලය ව්‍යාප්ත කිරීමේ නව ක‍්‍රමෝපායයක් ඇමරිකානු ආරක්‍ෂක ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් සොයාගෙන තිබිණ. ඒ, විදේශ රටවල් තුළ මෙහෙයුම් අභ්‍යාස මුවාවෙන් කරනු ලබන ‘කි‍්‍රයාන්විත විහිදුවීම්ය’ (Operational deployment).  2002 ජනවාරි 06 වෙනිදා පළ වූ ‘ලොස් ඒන්ජල්ස් ටයිම්ස්’ පත‍්‍රයේ වාර්තාවකට අනුව සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝක් ප‍්‍රහාරයට පෙරාතුව පවා 60,000කට වැඩි ඇමරිකානු භට පිරිස් රටවල් 100ක පමණ ‘මෙහෙයුම් අභ්‍යාස’ පවත්වමින් උන්හ. 2003 මුදල් වර්ෂය සඳහා එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) විසින් නිකුත් කළ කඳවුරු ව්‍යුහ වාර්තාවට (Base Structure Report) අනුව විදේශ රටවල් 40ක පවත්වාගෙන යන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ඇමරිකානු කඳවුරු 702197,000කට වැඩි ති‍්‍රවිධ හමුදා සේනාංක රඳවා ඇති බව පිළිගෙන තිබිණ. නමුත් මේ ගණන් බැලීම්වලට බොස්නියාවේ, කොසෝවෝ හා බල්ගේරියාවේ රඳවා ඇති සේනාංක පමණක් නොව, නිව්යෝක් ප‍්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයට, පාකිස්ථානයට, කිර්ගීස්ථානයට, උස්බෙකිස්ථානයට හා තජිකිස්ථානයට ගොඩබස්වා ඇති සේනංකයන් පවා අතුළත් නොවිණ.

සාම සාධනයට අදාළ එක්සත් ජාතීන්ගේ ‘කීර්තිමත් කි‍්‍රයාකලාපයේ’ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කළ යුත්තේ මේ පසුබිමේ තබාය. එක්සත් ජනපද හමුදා ඉරාකයට ගොඩබසින්නට කලින්ම ඉරාකයේ සමූල ඝාතන කි‍්‍රයාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග‍්‍රහයෙන් අරඹා තිබිණ. ඉරාකයට එරෙහි එක්සත් ජාතීන්ගේ ‘සමූල ඝාතක සම්බාධක’ විසින් සිදුකළ මරණ සංඛ්‍යාව, සමස්ත මිනිස් ඉතිහාසය තුළ සමූල ඝාතක අවි හේතුවෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි එකක් බව බොහෝ දෙනා නොදනිති. හිටපු ඇමරිකානු නීතිපතිවරයෙකු වූ රැම්සේ ක්ලාර්ක්, ඉරාකයේ සම්බාධක පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවක් අවසන් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට 2000 ජනවාරි මාසයේදී ඉදිරිපත් කළ සුප‍්‍රකට වාර්තාව අවසානයේ ‘ඉතිහාසයේ විනිශ්චයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිදොස් කරගැනීමට අවශ්‍ය නම් ඉරාකයට පනවා ඇති සම්බාධක ආරක්‍ෂක කවුන්සිලය විසින් වහාම ඉවත් කළ යුතුව තිබේ. මෙය සමූල සංහාරයකැ’’යි දක්වන ලද්දේ එහෙයිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වනාහී ඇමරිකාවේ ලෝක ව්‍යාප්තවාදී යුද ව්‍යාපාරයට මිනිස් බලය සපයන බහුජාතික ‘මෑන් පවර් ඒජන්සියකි’. බැග්ඩෑඩයේ වීදිවල නොනැවතී පුපුරා යන ඉරාක දේශපේ‍්‍රමයේ මිනිස් බෝම්බ විසින් පසුබස්සවනු ලැබ ඇති ධෛර්යය පිරිහුණු ඇමරිකානු හමුදාවන්ගේ තැනට දැන් පිටස්තර හමුදා සේනාංක අවශ්‍යව තිබේ. එක්සත් ජාතීන්ගේ ධජය ළෙලවන බහුජාතික ‘සාම සාධන හමුදා’ අවශ්‍යව ඇත්තේ ඒ උගුලේ පැටලවීමටය. කුකුළේගඟ ඇරඹෙන ‘සාම සාධක යුද අභ්‍යාස’ එක්සත් ජනපද පැසිෆික් ආඥාවේ අධීක්‍ෂණයට යටත්වන්නේ ඒ නිසාය. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මැදිහත්වීම් ගැන දෙවසරකට පෙර ‘නිව්යෝක් ටයිම්ස්’ පත‍්‍රයට ලියමින් හාවඞ් සරසවියේ මානව හිමිකම් ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රකට මහාචාර්ය මයිකල් ඉග්නාතියෙෆ් මේ යථාර්ථය දීප්තිමත් ලෙස හකුළුවා දක්වන්නේ මෙසේය: ‘‘එක්සත් ජනපද විශේෂ බලකායන් සමාජ සේවකයින් නොවේ. ඔවුහු මධ්‍යම ආසියාවේ ඇමරිකානු බලය හා අභිලාෂයන් පෙරට ගෙනයන අධිරාජ්‍ය බලඇණි වෙති. අවශ්‍ය නම් එයට සාම සාධනය හෝ ජාතිය ගොඩනැංවීම හෝ ඔබ කැමති  ඕනෑම දෙයක් කියන්න. නමුත් එහි සිදුවන්නේ අධිරාජ්‍ය ප‍්‍රතිපත්තිය පෙරට ගෙනයාමක් පමණි.’’

කුකුළේගඟ ‘සාම සාධක මිලිටරි අභ්‍යාස’ ගැන කියන්නට ඇත්තේද ඒ ටිකමය. ‘අධිරාජ්‍යවාදී යුද බලයේ ගෝලීයකරණය’ යල්පිනූ වාමාංශික මනෝ භ‍්‍රාන්තියක් නොවේ. බැග්ඩෑඩයේ හා බස්රාවේ පමණක් නොව, අග‍්‍රාවේදීත් කොචින් බොක්කේදීත්, විල්පත්තුවේ හා කිරින්දේදීත් ප‍්‍රදර්ශනය කෙරෙන්නේ එම යථාර්ථයයි. ඊට පිටුපෑමට අවශ්‍ය නම් එක්කෝ මැද සාලයට වී අභිනව පාර්ලිමේන්තුවේ මාසික කික් බොක්සිං තරඟ මාලා නැරඹිය හැකිය. නැතහොත් මේ සියළු ව්‍යසනයන් මැදදීත් ධනාත්මකව සිතන්නේ කෙසේදැයි කියාදෙන කුමා ඉද්දමල්ලෙනගේ ‘සුව කිරීමේ මෙහෙයකට’ සහභාගී වී මාර්ග ඵල ලැබිය හැකිය.


2004 ජූනි | කොළඹ

Print this post

0 comments:

Post a Comment