Sunday, May 30, 2004

ඉන්දියානු 'ලොකු අයියා'ගේ පුනරාගමනය

Print this post


රාවය | 2004 මැයි 30
.......................................................................................................................................

ල්ලීම් ඉල්ලන දෙමළා ඉන්දියානු මුගුරෙන් තලා බිම හෙළාගැනීමේ සුබ සිහින යළිත් දේශ හිතෛශීන්ගේ මනස් තුළ හොල්මන් කරන්නට පටන්ගෙන ඇති සෙයක් පෙනේ. ‘අවසාන ඉන්දියානු සෙබළාත් ඉන්ද්‍රප‍්‍රස්ති පුරය දක්වාම පළවා හරින්නට’ කලක අසිපත් ලෙළවූ සෙනෙවිවරුන් ඉන්දීය මැදිහත්වීමක් සඳහා රතු කාපට් පිළිගැනීමක් දෙන්නට මඟ බලා සිටින්නේ එහෙයිනි. සමීකරණය සරළය: ‘බටහිරින් සිදුකෙරෙන මැදිහත්වීම් තුලනය කරගැනීම සඳහා ඉන්දියානු ලොකු අයියා කැඳවාගත යුතුය.’ මේ විස්මයජනක ප‍්‍රඥාව ගැන කලබල විය යුතු නැත. කොහොමටත් ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ දූරදර්ශීම දේශපාලනයත් තුන්මාසයක ගැරන්ටියක් සහිත එකකි. පැරණි නිරවි යුද්ධයේ නිමාවෙන් පසු වෙනස් වූ කලාපීය භූ දේශපාලන ජවනිකා හා ඊට අනුරූපව ගොඩනැගී ඇති නව උපාය මාර්ගික සන්‍ධාන පිළිබඳ කිසිදු යථාර්ථයක් මේ සරළ සමීකරණ සඳහා අදාළ කර නොගැනෙන්නේ එනිසාය.

ඉන්දීය මැදිහත්වීමක් විසින් ලංකාව මුහුණ දී ඇති ව්‍යාකූලතා නිරාකූල කර දෙනු ඇතැයි සිතිය හැකිද? මේ සඳහා නිදහසින් පසු කාලයේ කලාපය තුළ වර්ධනය වූ සමස්ත ඉන්දීය මිලිටරි-දේශපාලන කි‍්‍රයාකාරීත්වයන් විමසා බැලීම අත්‍යවශ්‍යය. ඒවා හැමවිටම ගැටගැසී තිබුණේ ඉන්දීය ජාතික ආරක්‍ෂාව පිළිබඳ මුලෝපායික අභිලාෂයන් සමඟය. කවර හෝ මට්ටමකින් සිදුවන ඉන්දීය මැදිහත්වීම් සම්පූර්ණයෙන් සැලසුම් කරනු ලැබෙන්නේ යට කී අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අත්‍යවශ්‍ය වූ මිලිටරි-දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලාය. ලංකාවේම අතීත අත්දැකීම් අමතක කළද සමාන්තර නිදසුන් කිහිපයක් විමසා බැලීම වුව ප‍්‍රමාණවත්ය. (වර්තමාන වර්ධනයන් ගැන දෙවැනි සටහනකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමි.)

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා නීර්ණයේදී බි‍්‍රතාන්‍යයන් විසින් අඳින ලද මැක්මෝහන් රේඛාව තීරක බෙදුම වශයෙන් පිළිගැනීමට 1914 සිම්ලා සමුළුවේදී චීනයේ එකඟවුයේ මූළුමණින්ම බි‍්‍රතාන්‍ය බලපෑමට යටත්වය. එහෙයින්ම බි‍්‍රතාන්‍යයින් ඉන්දියාව අතහැර යන මොහොත වනවිටත් මෙම දේශසීමා පිළිබඳ පුළුල් එකඟතාවක් නිර්මානය වී නොතිබිණ. නොබැඳි පිළිවෙත මත පදනම් වූ ස්වකීය විදේශ ප‍්‍රතිපත්තිය සමඟ එළිපිට නොගැටෙන සේ චීනයට එරෙහි රහසිගත කි‍්‍රයාකාරීත්වයන් පිළිබඳ සළකා බැලීමට නේරු පාලනයේ අවධානය යොමුවූයේ දේශසීමා මුල්කරගත් මෙකී නොවිසඳුණු ආතතිය හේතුවෙනි. ඒ අනුව එක් අතකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්ව අපේක්‍ෂක ධූරය සඳහා වූ චීනයේ ඉල්ලීමට විවෘත සහාය පළකරන අතරතුරම, චීන පාලනයට එරෙහිව සටන් කළ ටිබෙට් කැරළිකරුවන් සඳහා ‘50 සහ ‘60 දශකවලදී එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවයේ ආධාර ඇතුව පුහුණු පහසුකම් සැපයීමට ඉන්දියාව නොපැකිළව ඉදිරිපත් විය. ඒ, චීනය සහ ඉන්දියාව අතර ටිබෙටය මුල්කරගෙන 1954 දී අත්සන් කෙරුණු ඉන්දු-චීන ගිවිසුමක් පසුබිමේ තිබියදීය. ඇත්ත වශයෙන්ම ටිබෙට් ජනයාගේ ස්වාධීනත්වය පිළිබඳ සාධකය ඉන්දියාවට මෙහිදී කිසිදු වැදගත්කමක් සහිත එකක් නොවීය. කි‍්‍රයාමාර්ග තීරණය කෙරුණේ ඉන්දියානු උතුරුදිග දේශසීමාවන් පිළිබඳ භූ දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් බලා ය.

නිදහස් බංග්ලාදේශයක් නිර්මාණය වීමේ නිදසුන තවත් එකකි. ‘60 දශකයේ මැද භාගයේ සිට බටහිර පාකිස්ථාන මර්දනකාරී පාලනයට එරෙහිව උත්සන්න වූ නැගෙනහිර පාකිස්ථාන ජනතා විරෝධයන්ටද ඉන්දියාව සෘජුව මැදිහත් විය. නැගෙනහිර පාකිස්ථාන සටන්කරුවන්ට ඉන්දියාවේ නොමසුරු ආධාරය ලැබුණු අතර 1971 ජනවාරියේදී නැගෙනහිර පාකිස්ථාන ජනයාගේ නිදහස් අරගලයේ පෙරටු සංවිධානය වූ මුක්ති භාහිනී ව්‍යාපාරය බිහිකිරිමේලා ඉන්දියාව සැපයූ මිලිටරි හා වෙනත් ආධාර තීරණාත්මක විය. 1971 මාර්තුවේදී පිටුවහලේ සිට බංග්ලාදේශ මහජන ජනරජය විමුක්තිකාමීන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලද්දේ ඉන්දියානු භූමියේ රැකවරණ යටතේය. මුක්ති භාහිනී සටන්කරුවන්ට පුහුණු පහසුකම් සැපයීමට අමතරව 1971 දෙසැම්බරයේදී නිදහස් බංග්ලාදේශයක් සඳහා සිවිල් යුද්ධය පුපුරා යාමත් සමඟම චිතගොං කඳුකර ප‍්‍රදේශයන්හිදී බටහිර පාකිස්ථානු හමුදාවන්ට එරෙහිව විශේෂ දේශසීමා බලකාය (Special Frontier Force) යොදවා ප‍්‍රහාරයන් එල්ල කිරීමටද ඉන්දියාව ඉදිරිපත් විය. පසුකාලීන ප‍්‍රතිවිරෝධතා විසින් යම් තරමකට අකර්මණ්‍ය කර දැමු 1972 ඉන්දු-බංග්ලාදේශ මිත‍්‍රත්ව ගිවිසුම අත්සන් තැබුණේද පාකිස්ථානයට එරෙහිව ඉන්දියානු උපායික පරිධිය තුළට නව බංග්ලාදේශ රාජ්‍යය උරා ගැනීම නීතිගත කිරීම පිණිසය.

ඉන්දු-හිමාලයානු දේශසීමාවේ පිහිටි සිකීමයට අත් වූ ඉරණමද දැන් අමතකව ගිය එකකි. බි‍්‍රතාන්‍යයින් ඉන්දියාව අතහැර යනවිට ඉන්දියාවේ හිමාලයානු ප‍්‍රවේශ මාර්ගයේ උපායික වැදගත්කමක් සහිත සිකීමය ස්වෛරී රාජ්‍යයක්ව පැවතිණ. 1950 දී නවදිල්ලි පාලනයට සිකීමය පිළිබඳ නිශ්චිත වගකීම් ප‍්‍රමාණයක් පැවරුණද, සිකීම් පාලනයේ ස්වෙරීභාවය මූලික වශයෙන් පිළිගැණින. නමුත් 1962 ඉන්දු-චීන දේශසීමා යුද්ධය විසින් සිකීමය ප‍්‍රමුඛ නේපාලය, භූතානය ආදී දකුණු හිමාලයානු රාජ්‍යයන් සමූහය හා ඉන්දියාව අතර සම්බන්‍ධතාව පිළිබඳ නැවත සිතා බැලීමට ඉන්දීය ආරක්‍ෂක ප‍්‍රතිපත්ති සැලසුම්කරුවන්ට බලකරන ලදී. ඒ අනුව පළමුව ඉන්දියාවේ මූලිකත්වයෙන් දකුණු හිමාලයානු ප‍්‍රතිපත්ති ජාලයක් සම්පාදනය කිරීම හරහා මෙකී රාජ්‍යයන් ඉන්දීය ආරක්‍ෂක දැල තුළට උරා ගැණින. අනතුරුව බරපතල විරෝධතා නොතකමින් ඉන්දීය ජාතික ඔත්තු සේවාවන්ගේ සෘජු හා විචක්‍ෂණ මෙහෙයුම් සැලසුම් මගින් 1975 දී සිකීමය ඉන්දියානු සංගමයේ 22වෙනි රාජ්‍යය වශයෙන් ඈඳාගනු ලැබිණ. අවශේෂ රාජ්‍යයන් වූ නේපාලය හා භූතානය සිකීමයේ ඉරණම අත්කර නොගත්තද, සමස්තයක් වශයෙන් ඉන්දීය අඩස්සිය යටතට ස්ථිර වශයෙන්ම ගැණුනි. ඉන්දීය මිලිටරි-දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බැලූ විට හිමාලයානු දේශසීමාවට හිමිවන අතිශයින් තීරණාත්මක උපායික වැදගත්කම හමුවේ ඉහත කී රාජ්‍යයන්ගේ සවෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නය අනිවාර්යයෙන්ම ද්විතියික එකක් වේ. ‘නේපාලයේ ස්වාධීනත්වය අපි අගයමු. නමුත් හිමාලයානු ප‍්‍රවේශ මාර්ගයේ ඉන්දියාව හා චීනය අතරමැදින් පිහිටි වැදගත් රෝධක රාජ්‍යයක් (Buffer State) වන නේපාලය තුළ ඉන්දියානු ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිවක් සිදුවනු දැකීම අපි නොඉවසමු’යි 1950 දෙසැම්බරයේදී ලෝක් සභාව අමතා නේරු කළ ප‍්‍රකාශයේ හරය එයයි.

අන්  ඕනෑම බලගතු රාජ්‍යයක් පරිද්දෙන්ම, කලාපය තුළ කරනු ලබන මැදිහත්වීම්වලට අදාළ ඉන්දීය දෘෂ්ටිකෝණය හැමවිටම සකස්වන්නේ ස්වකීය කලාපීය මූලෝපායික අභිලාෂයන් පදනම් කරගෙනය. මෙහි ඉහතින් ප‍්‍රකාශිත අතීත නිදසුන් විසින් තහවුරු කරනු ලබන්නේද එයයි. මේ වනවිට වෙනස් වී ඇති කලාපීය භූ දේශපාලන යථාර්ථයන් හා ඉන්දියාවේ භූමිකාව වෙනම සාකච්ඡා කළ යුත්තේ මේ අවබෝධය මත පිහිටාය. වඩා වැදගත් වන්නේ නෝර්වේ හෝ ඉන්දීය මැදිහත්වීම් අතර තුලනයක් සඳහා සටන් කිරීම නොව, දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සහ ජාතික නිදහස සහතික කිරීම සඳහා අවශ්‍ය දේශපාලන තෙරපුම පීඩාවට පත් පහළ පංතීන් අතරින් ජාතිකව නිර්මාණය කරගැනීමයි. බාහිර මැදිහත්වීම් වැළැක්විය හැකි ස්ථිරසාර මඟ එයයි.


2004 මැයි | කොළඹ

Print this post

0 comments:

Post a Comment