Sunday, May 23, 2004

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්ද?

Print this post


රාවය | 2004 මැයි 23
.......................................................................................................................................

>ර්මරත්නම් සිවරාම් (තරාකී) මාස කිහිපයකට පෙරාතුව අවධානය යොමුවිය යුතු ලිපියක් Daily Mirror පුවත්පතට ලියා තිබිණ. ලිපියේ මාතෘකාව වශයෙන් යොදා තිබුණේ සිත්ගන්නා සුළු ‘ත‍්‍රස්තවාදී’ ප‍්‍රශ්නයකි : ‘ශී‍්‍ර ලංකාව සැබැවින්ම ස්වෛරීද?’ (Is Sri Lanka Truly Sovereign?) 

ඉකුත් සති කිහිපයේ දිගහැරුණු සිදුවීම් දාමය ඇසුරින් කල්පනා කළ විට සිවරාම් විසින් මතුකළ ප‍්‍රශ්නයෙහි අදාළත්වය යළි යළිත් පසක් වේ. නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශ දූතයින් පසුපසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කටයුතු භාර සහකාර ලේකම් කි‍්‍රස්ටිනා රොකා සිව්දින චාරිකාවක් සඳහා ලංකාවට පැමිණියාය. ඒ පිළිබඳ පළවු කොළඹ මාධ්‍ය වාර්තා අනුව නම් ඇයගේ චාරිකාව ‘ති‍්‍රකුණාමලයේ කස්තුරිනගර් ධීවරයන්ට බෝට්ටු බෙදාදීමට’ ආ ගමනකැයිද හැඟී යාමට ඉඩ තිබේ. ඒ අතරවාරයේදී එක්සත් ජනපදය දෙමළ සටන්කාමී ව්‍යාපාරය සම්බන්‍ධයෙන් දශමයක හෝ බුරුලක් කිසිසේත් නොදෙන බවට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් රිචඞ් ආමිටේජ් ලංකාවේ විදේශ ඇමතිවරයාට සහතික කොට තිබුණේය. ඒ සකළ දේශ හිතෛශීන්ගේ පහන් සංවේගය පිණිසය. ලංකාව පිළිබඳ ඉන්දියාවේ නිම නොවන උනන්දුවද, යසූෂි අකාශිගේ ලංකාගමනයද මේ සිදුවීම් දාමයේම පුරුක් වශයෙන් ගත යුතුය.


සිවරාම් මතුකොට ඇති ප‍්‍රශ්නයට අදාළ දුරදිග යන දේශපාලන ගැටළු  ‘දිවයින’ පත‍්‍රයේ  කීර්ති වර්ණකුලසූරියගේ සති අන්ත මාරක කතා ලිපි පෙළින් හෝ උදෑසන හිස් බඩ පුවත්පත් සිරස්තල කියවන ධර්ම ශී‍්‍ර කාරියවසම්ගේ ‘අපි දෙන්නයි පාළු ලොවයි’ රූපවාහිනී අඩ පැයෙන් අනාවරණය නොවේ.

කුඩා රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය ඇත්තෙන්ම සංකීර්ණ ගැටළුවකි. කලාපීය යථාර්ථයන් ඉක්මවා ගිය මහාද්වීපික යථාර්ථයන් විසින්ද පෙන්නුම් කරන්නේ මේ සංකීර්ණත්වයයි. ඒවායේ ‘ස්වෛරීභාවයේ හා ස්වාධීනත්වයේ’ වැදගත්කම තක්සේරු කෙරෙන්නේ වඩා විශාල රාජ්‍යයන්ගේ උපායික හා භූ දේශපාලනික උවමනාවන්ට එය අදාළ වන ප‍්‍රමාණයටය.

පින්ලන්තය එක් නිදසුනකි.  නැගෙනහිර හා බටහිර යුරෝපා කඳවුරු අතරමැදින් සිටගත් පින්ලන්තයේ ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව හැමවිටම සළකා බැලූණේ එහි භූගෝලීය ස්ථානගත වීම සඳහා කලාපීයව ලැබී තිබුණු උපායික වැදගත්කමට දෙවැනි කොටය. නිදසුන් වශයෙන් පින්ලන්තය ස්වීඩන අධිරාජ්‍යයේ කොටසක්ව තිබියදී ඇවිළ ගිය රුසියානු-ස්වීඩන යුද්ධ සමයේ වඩාත්ම අවදානමට ඇද හෙළනු ලැබුවේ අතරමැදින් පිහිටි පින්ලන්තයේ තත්ත්වයයි. නමුත් පශ්චාත් විප්ලවීය රුසියානු රාජ්‍ය සැකසීමේදී ලෙනින් පින්ලන්තයේ වෙන්වීමේ අයිතිය පිළිගත්තේය. ඒ අනුව අතීත සාර් අධිරජ්‍යයේ සිරගෙයින් මිදුණු පින්ලන්තය ස්වාධීනත්වය අත්කරගත්තේය. නමුත් පින්ලන්තයේ ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව  සහ කලාපීය භූ දේශපාලනය අතර සමනය කළ නොහැකි ප‍්‍රතිවිරෝධතා එලෙසින්ම පැවතිණ. නැගෙනහිර හා බටහිර යුරෝපා බලයන් අතර දෙවන ලෝක සංග‍්‍රාමයට ආසන්නව වර්ධනය වූ ප‍්‍රතිවිරෝධතා හමුවේ පින්ලන්තයේ ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව යළිත් ඉස්මත්තට ඇදී ආවේය. ඒ වනවිට ලෙනින්ග‍්‍රාදය සහ සෝවියට් - පින්ලන්ත දේශ සීමාව අතර දුර කිලෝ මීටර 32ක් තරම් අඩු එකක් විය. පින්ලන්ත බොක්කේ සිට එල්ලවිය හැකි ජර්මානු ප‍්‍රහාරයක් හමුවේ සෝවියට් සංගමයේ තත්ත්වය වඩාත් නරක එකක් වීමට  ඕනෑ තරම් ඉඩ තිබිණ. පින්ලන්ත භූමිය යොදාගනිමින් සිදුවිය හැකි ජර්මානු ආක‍්‍රමණයක අනතුර අවධාරණය කරමින් 1939 නොවැම්බරයේදී පින්ලන්තයේ නැගෙනහිර දේශ සීමාව හරහා සෝවියට් රතු හමුදා පින්ලන්තයට ඇතුළු විය. 1944 යුද්ධය අවසාන වන විට පින්ලන්ත භූමියෙන් 12%ක් සෝවියට් භූමියට ඈඳා ගනු ලැබූ අතර අනතුරුව අත්සන් තැබුණ පින්ලන්ත-සෝවියට් මිත‍්‍රත්ව ගිවිසුම මගින් පින්ලන්තයේ ස්වෛරීභාවය ස්ථිර වශයෙන්ම සෝවියට් උපායික අවශ්‍යතාවන්ගේ අඩස්සියට ගැනීම නීතිගත කෙරුණි.

වඩා ප‍්‍රබල රාජ්‍යයන්ගේ උපායික අභිලාෂයන් හමුවේ  කුඩා හා දුබල රාජ්‍යයන්ගේ ඉරණම පිළිබඳ ශෝචනීයතම අත්දැකීමක් එරිති‍්‍රයාවෙන් සැපයේ. වාමාංශිකයක් අතර කලක් විවාදයට බඳුන් වූ ජනප‍්‍රිය ‘එරිති‍්‍රයානු ප‍්‍රශ්නය’ මේ හා බැඳුණු එකකි. නමුත් විවාදයන් තුළ වසන් කෙරුණු ගැඹුරු භූ දේශපාලනික යථාර්ථයන් එමටය. එහෙයින්ම එය සාකච්ඡුාවට පාත‍්‍ර කිරීමේ වැදගත්කමක් පවතී. එරිති‍්‍රයාව පිහිටා ඇත්තේ අපි‍්‍රකානු සහ මැද පෙරදිග රාජ්‍යයන් වෙන් කෙරෙන අතරමැද කලාපයේය. ඉතිහාසය පුරාම ඒරිති‍්‍රයාවට වැදගත්කමක් ලබාදී තිබුණේ ඒඩන් බොක්ක හරහා දිවෙන රතු මුහුද ආශි‍්‍රත ප‍්‍රධානතම නාවුක මාර්ගයේ වැදගත් උපායික තුඩුවක වූ ඒරිති‍්‍රයාවේ පිහිටීමයි. සියවස් ගණනාවක් තුර්කි, ඊජිප්තු සහ ඉතාලියානු විජිතවාදයේ සෘජු ගොදුරක් බවට පත් වූ ඒරිති‍්‍රයාවෙන් ඉතාලියානු බලය පිසදා හැරීම 1941ද සම්පූර්ණ කරන ලද්දේ බි‍්‍රතාන්‍ය හමුදා විසිනි. කෙසේ වුවද දෙවැනි ලෝක සංග‍්‍රාමය නිමාවෙන් පසු එළඹුණු මුල් දශක දෙක ඇතුළතදී ඒරිති‍්‍රයාව ඉතියෝපියාවේ කොටසක් වශයෙන් ඈඳා ගැණින. ඒ, ඇමරිකානු යුද බලය ගෝලීයව ස්ථාවර වෙමින් පැවති 1962දීය. ඉතියෝපියානු අධිරාජයා වූ හේලි සෙලාසි කොරියානු යුද්ධයට ඉතියෝපියාවෙන් බලඇණි සැපයීම මගින්ද, එරිත‍්‍රියානු අස්මාරා අගනුවර ඇමරිකානු සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා පූර්ණ අනුග‍්‍රහ සැපයීම මගින්ද එක්සත් ජනපද විශ්වාසය දිනාගෙන තිබිණ. අනෙක් අතින් සෝවියට් උපායික විශේෂඥයින්ගේ අවධානය දිනාගත්, කලාපය තුළ උපායිකව අතිශයින් වැදගත් මසාවා වරාය පිහිටා තිබුණේ ඒරිති‍්‍රයාවට අයත් රතු මුහුදු වෙරළ තීරුවේය. ඉතියෝපියාවට එරෙහිව ඇවිළ ගිය ඒරිති‍්‍රයානු විමුක්ති අරගලය යට කී බලවතුන්ගේ භූ දේශපාලනික අභිලාෂයන් විවෘතව ප‍්‍රදර්ශනය කිරීමට අවකාශ සලසා දුන්නේය. වඩා ගතානුගතිකවාදී ඒරිති‍්‍රයානු විමුක්ති පෙරමුණෙන් බිඳි ජාතික විමුක්ති අරගලයේ පෙරමුණු සංවිධානය බවට පත් මාක්ස්වාදී නැඹුරුවක් සහිත ඒරිති‍්‍රයානු ජනතා විමුක්ති පෙරමුණට (EPLF) සෝවියට් සංගමයේ සහ කියුබාවේ සෘජු ආධාර ලැබිණ. ඒ ඉතියෝපියානු පාර්ශ්වයට එක්සත් ජනපදයෙන් සහ ඊශ‍්‍රායලයෙන් ලැබුණු ආධාරයන්ට පිළිතුරු වශයෙනි. නමුත් 1978දී සෙලාසි අධිරාජයා කුමන්ත‍්‍රණයක් මගින් බලයෙන් පහකරමින් ඔහුගේම හමුදාවේ නායකයෙකු වූ මෙන්ගිස්ටු මාරියම්ගේ නායකත්වයෙන් හමුදා ජුන්ටාවක් බලයට පත්වීම සමස්ත චිත‍්‍රයේම තීරණාත්මක වෙනසක් සිදු කළේය. එක්සත් ජනපදය ඒරිති‍්‍රයානු ජනයාගේ ‘ජාතික විමුක්තිය’ යුක්ති සහගත ලෙස සැලකීමත්, සෝවියට් කඳවුර ඉතියෝපියානු ‘භෞමික අඛණ්ඩතාව’ වැදගත් කොට සැලකීමත් ආරම්භ වූයේ ඒ සමඟය. ඒ අනුව පැති මාරු කෙරිණ. ඒරිති‍්‍රයානු ජනයා යටත් කිරීම පිණිස සෙලාසිගේ ඒකාධිපති පාලනයට ඊශ‍්‍රායලය හා එක්සත් ජනපදය විසින් සපයන ලද නාපාම් සහ පොකුරු බෝම්බ හෙලීම සඳහා අවශ්‍ය ගුවන් ධාවන පථ මෙන්ගිස්ටු මාරියම්ගේ පාලනය සඳහා ඉදිකර දෙන ලද්දේ කලින් EPLF ගරිල්ලන් සන්නද්ධ කිරීමට පුරෝගාමීව කටයුතු කළ කියුබානු විශේෂඥයින් විසිනි. කලින් ඉතියෝපියානු පාලනයට සැපයුණු ඇමරිකාවේ හා ඊශ‍්‍රායලයේ නිෂ්පාදිත සමූල ඝාතක බෝම්බ හෙලීම සඳහා නව ඉතියෝපියානු පාලනයට සෝවියට් මිග් 21 ප‍්‍රහාරක ජෙට් යානා සැපයිණ. රතු මුහුද හා ඒඩන් බොක්ක ආශි‍්‍රත ගෝලීය බලවතුන්ගේ  උපාය මූලික භූ දේශපාලනික අභිලාෂයන්ට ඒරිති‍්‍රයානු ජනයාගේ ජාතික නිදහස යටත් කෙරිණ.

මෙය නොවැළැක්විය හැකි යථාර්ථයකි. ලංකාව තුළ උත්සන්න වන විදේශ බලපෑම් මගින් ප‍්‍රකාශයට පත්වන්නේද මෙම යථාර්ථයයි. පර්ෂියානු ගල්ෆ් කලාපයේ හා අරාබි මුහුදේ සිට ඉන්දියානු සාගරය හරහා දකුණු චීන මුහුදට සහ පැසිපික් සාගරයට දිවෙන වැදගත්ම සන්නිවේදන මුහුදු මාර්ගය විසින් ලංකාවේ ස්වෛරීභාවයේ ඉරණම කලාපීය හා අධිරාජ්‍ය බලයන්ගේ උපායික අවශ්‍යතා සමඟ ගැට ගැට ගසා තිබේ. 1987 ඉන්දු-ලංකා සම්මුතිය මගින් ස්වකීය කලාපීය භූ දේශපාලන අවශ්‍යතා හා පරස්පර වීමේ කිසිදු අවකාශයක් ලංකාවට ඉතිරි නොකිරීමට ඉන්දියාව වග බලා ගත්තාය. වර්ථමානයේ ඉන්දියාව හා එක්සත් ජනපදය අතර වර්ධනය වන නව ‘අවබෝධය’ විසින්ද ලංකාව තවදුරටත් ඔවුන්ගේ ඒකාබද්ධ භූ දේශපාලන අභිලාෂයන්ගේ අඩස්සියට ගනිමින් පවතී. එකී අඩස්සියෙන් ගැළවීමේ එකම මඟ පීඩාවට පත් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා අතර ගොඩනැගෙන පුළුල් ප‍්‍රජාතාන්ති‍්‍රක සන්‍ධානයක් පමණි. නමුත් ලෙනින් කී පරිදි ‘‘සෙසු සියළු තත්ත්වයන් සමාන වීමෙන් තොරව’’ පීඩිත ජාතීන් වඩා විශාල රාජ්‍යයන්ට කැමති කරවා ගත හැකි අන් මඟක් නැත. ඒ සම්බන්‍ධයෙන් ව්‍යතිරේඛයක් වීමට ලංකාවට නොහැකිය.


2004 මැයි | කොළඹ

Print this post

0 comments:

Post a Comment