Print this post
රාවය | 2004 ජූනි 06
.......................................................................................................................................
ඉන්දියාවේ හින්දුත්වවාදී බලවේගයන්ගේ මැතිවරණ පරාජය ගැන බෝතලේගම පාඨලී චම්පික රණවකගේ දක්‍ෂිණාංශික පශ්චාත්තාපය මේ දිනවල ‘‘ජාතික පත්තරවල’’ පිටුපුරා වැගිරෙයි. මේ පසුතැවිල්ල යුක්ති සහගතය. තුන්වැනි වතාවටත් තම පක්‍ෂය කණපිට ගසා කසාවත් අන්දා වේෂ නිරූපණය කොට නව පාරමිතා පෙරහැරක් සුබ මොහොතින් ලංකාවේ පාරට දමාගත්තා පමණිත ඉන්දියාවේ දක්‍ෂිණාංශික හින්දුත්වවාදයේ පෙරහැර ආපසු ගමන් අරඹා තිබේ. කට මුලටම අසුබ නිමිත්තකි. පරාජය වූයේ හින්දුත්වවාදී ප‍්‍රවණතාවන් නොවේයැයි කියන්නට ලංකාවේ දක්‍ෂිණාංශික උපායික විශේෂඥයා වන රණවක දැන් කෙස් පලන්නේ එහෙයිනි.
ඇත්තෙන්ම ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය මගින් විදහා පෑ දිදුලන ආදර්ශය කුමක්ද? ආගම්වාදයේ හා වර්ගවාදයේ දක්‍ෂිණාංශික වසන්ත සැණකෙලියක් බවට පත්වුණු ලංකාවේ දේශපාලනයට මුළුමණින්ම ප‍්‍රතිමුඛ යථාර්ථයක් ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය විසින් තහවුරු කොට තිබේ. හින්දුත්වවාදී ආගමික ෆැසිස්ට්වාදය භාගෙට නොව, කට කපලාම පැරදිණ. රණවක නොදන්නා සේ සිටියාට එසේ නිගමනය කිරීමට හේතු දෙකක් තිබේ.
පළමුවැන්න, භාරතීය ජනතා පක්‍ෂයේ නායකත්වයෙන් සැදුම්ලත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්‍ධානය මැතිවරණයේදී සිය හින්දු අන්තවාදී ස්ථාවරය නොසඟවා එළිපිටම කියාපෑමයි. හින්දු-මුස්ලිම් ආගමික ගිනි ජාලාවන්ට මෑතකාලීනව පිදුරු සැපයූ අයෝධ්‍යාවේ රාම කෝවිල කෙසේ හෝ ගොඩනංවන බව මැතිවරණ වේදිකාවලදී නොව, මැතිවරණ ප‍්‍රකාශනයෙන්ම ඔවුහු ප‍්‍රතිඥා දුන්හත 2002දී ගුජරාටයේ මුස්ලිම්වරුන් 2,000කට ආසන්න පිරිසක් ඝාතනය කළ මහා මුස්ලිම් සංහාරය පිළිබඳ වචනයකින් හෝ කණගාටුව ප‍්‍රකාශ නොකළහත සංහාරය සම්බන්‍ධයෙන් ගුජරාටයේ ප‍්‍රධාන අමාත්‍ය නරේන්‍ද්‍ර මෝඩිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කෙලින්ම චෝදනා කොට තිබියදී ඔවුහු නරේන්‍ද්‍ර මෝඩි ආරක්‍ෂා කළහත කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ විජාතික සම්භවය සිය මැතිවරණ වේදිකාවල ප‍්‍රධාන විවේචක මාතෘකාව බවට පෙරළා ගත්හ. ඒ අනුව භාරතීය ජනතා පක්‍ෂය පෙරටු කොටගත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්‍ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් ලෙළදුන් ධජය වර්ගවාදයේ හා අන්ත හින්දුත්වවාදයේ ආගමික ධජයයි.
දෙවැනි හේතුව, භාරතීය ජනතා පක්‍ෂයේ ප‍්‍රතිවාදීන් වූ කොංග‍්‍රසය මෙන්ම වාමාංශයද මැතිවරණයේදී ආගමික අන්තවාදයට හා වර්ගවාදයට එරෙහි සිය ස්ථාවරය නොසඟවා එළිපිට කියාපෑමයි. කොංග‍්‍රසයේ මැතිවරණ මූලෝපාය සැලසුම් කිරීම පිණිස 2003 ජූලි මාසයේ ශිම්ලා හි පැවැති ජාතික සමුළුවේදී මැතිවරණයට අදාළව ඇතිකරගත් මූලික එකඟතා හතරින් දෙකක් වූයේ ලෝකායතවාදය හෙවත් අනාගමිකවාදය යළි නඟා සිටුවාලීමත්, සෝනියා ගාන්ධිගේ නායකත්වය ඒකමතිකව පිළිගැනීමත්ය. ඒ මගින් කොංග‍්‍රසය භාරතීය ජනතා පක්‍ෂයේ ආගමික හා වර්ගවාදී ස්ථාවරයන්ට මුහුණට මුහුණලා සිටගැනීම සළකුණු කෙරිණ. ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පත‍්‍රයේ පන්කජ් වෝහ්රා ජූලි 13 වැනිදා කලාපයට, ශිම්ලා සමුළුව හා ‘2004 මැතිවරණයට අදාළ කොංග‍්‍රසයේ ස්ථාවරය ගැන ලිපියක් ලියමින් කොංග‍්‍රස් උපායමාර්ගය වී ඇත්තේ ‘‘ජාතිභේදවාදයට එරෙහිව ලෝකායතවාදය’ නඟාලීම (Congress Agenda for 2004: Secularism versus Communalism) බව පෙන්වා දී තිබුණේ ඒ නිසාය.
මේ සම්බන්‍ධයෙන් ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය ප‍්‍රමුඛ වාමාංශයේ ස්ථාවරය ඊටත් වඩා පැහැදිලි එකක් විය. භාරතීය ජනතා පක්‍ෂය පෙරටු කරගත් ආගමික වර්ගවාදී ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්‍ධානයට එරෙහි පළල්ම එකඟතාවක් සඳහා පුරෝගාමී උත්සාහයක් මෑතකාලීන මැතිවරණ තුළදී ගන්නා ලද්දේ ඉන්දීය වාමාංශිකයන් විසිනි. 2002 ගුජරාටයේ මුස්ලිම් සංහාරයට එරෙහිව ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් ගුජරාට ප‍්‍රාන්තයේ වීදීවලට බස්සවන ලද්දේද ඉන්දීය වාමාංශික ව්‍යාපාරය විසිනි. ඒ නිසාම 1947 නිදහසින් පසු ලෝක් සභාව තුළ ඉන්දීය වාමාංශය ලද ආසන 61ක ඉහළම නියෝජනය ආගම්වාදයේ හා වර්ගවාදයේ පිහිටෙන් ලබාගත් එකක් නොව, දැඩි ලෙසත්, ස්ථිරසාර ලෙසත් ඊට එරෙහිව සිටගැනීමෙන් ලද ජයකි. මේ අනුව ගත්කළ භාරතීය ජනතා පක්‍ෂය ප‍්‍රමුඛ පාලක සන්‍ධානයට එරෙහිව කොංග‍්‍රසය හා වාමංශය ගෙනගිය මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් ලෙළදුන් ධජය වර්ගවාද විරෝධයේ හා අනාගමිකවාදයේ ධජයයි. 2004 ඉන්දීය මැතිවරණ සටන් බිම වූ කලී මේ ප‍්‍රතිවිරුද්ධ ස්ථාවරයන්ගේ ද්වන්‍ධ යුද්ධයක් විණ. රණවකගේ පසුතැවිල්ල කොතරම් ගැඹුරු හා වේදනා සහගත එකක් වුවද, භාරතීය ජනතා පක්‍ෂයේ හින්දුත්වවාදයත්, දක්‍ෂිණාංශික වර්ගවාදයත් ඒ ද්වන්‍ධ යුද්ධයේදී හතර ගාතයෙන්ම ඇද වැටිණ.
අනෙක් අතින් රණවකගේ දේශපාලනය දකුණින් ඕවර්ටේක් කරන්නට ගොස් ඇල්ලේ ගුණවංශලාගේ හා අමරසේකරලාගේ අත් අල්ලාගෙන දක්‍ෂිණාංශික වගුරකට බැසගත් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මිතුරන්ටද ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය වැදගත් පූර්වාදර්ශයක් සපයා තිබේ. ඉන්දීය වාමාංශයේ ජය වූකලී ආගම්වාදයේ හා වර්ගවාදයේ ධජය ලෙළවන ‘පහසු තැනින්’ ලත් ජයක් නොවේ. සුළුතර ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම හා අනාගමික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සම්මුති විරහිතව අරගල කිරීමේ ‘දුෂ්කර තැනින්’ ලත් ජයකි. බලය සඳහා දක්‍ෂිණාංශික ‘ෂෝට් කට්’ සෙවීමට ඉන්දීය වාමාංශය තැත් නොකළේය. බටහිර බෙංගලයේ වාම විරෝධී බලකොටුව සේ සැලකුණු කල්කටාවේදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය (CPI-M) විසින් මම්තා බැනර්ජීගේ ජාතිකවාදී ති‍්‍රනාමුල් කොංග‍්‍රසය (NTC) එක් ආසනයක් දක්වාම පසුබැස්ස වූයේ ඒ ප‍්‍රතිපත්තිගරුකභාවයේ ධජය අත් නොහරිමිනි. ජාර්කන්ද්හී සුප‍්‍රකට බීජේපී පතාකයෙකු වූ හිටපු විදේශ ඇමති යස්වන්ට් සිංහ වැඩි ඡුන්ද ලක්‍ෂයකින් පරද්දවන ලද්දේ වර්ගවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන්කළ ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂයේ (CPI) අප‍්‍රකට බුබනේශ්වර් ප‍්‍රසාද් විසිනි. උතුරු කේරළයේ මුස්ලිම් ලීගයේ (IUML) බලකොටු බඳු, මුස්ලිම් අති බහුතරයක් වෙසෙන මංජෙරී සහ පොන්නනී ආසනවලදී මුස්ලිම් ලීගයේ අපේක්‍ෂකයින් පරාජය කරමින් මුස්ලිම් ජනතා විශ්වාසය පැහැරගන්නා ලද්දේ ටී.කේ.හම්සා ප‍්‍රමුඛ වාම සන්‍ධානයේ අපේක්‍ෂකයින්ය. ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් බර්දාන්ගේ වචනයෙන් කිවතොත් ‘‘ඉන්දීය වාමාංශය ලද ජන වරම කරුණු දෙකක් මත සාධනීය එකකි. එය ජාතිභේදවාදයට එරෙහිව ස්ථිර ලෙස සටන් කොට සුළුතර ජනයාගේ අයිතීන් ආරක්‍ෂා කරනු ලැබීමෙන්ද, ආර්ථික ප‍්‍රතිපත්තීන්ට එරෙහිව වැඩකරන ජනයා වෙනුවෙන් අරගල කිරීමෙන්ද ලබාගත් ජයකි.’’ (Frontline -May 22/June 4)
නිමාවූ මෙරට මැතිවරණය විසින් වර්ගවාදයේ හා ආගම්වාදයේ දක්‍ෂිණාංශික ඩයිනසෝරයන් ගහණ ජුරාසික උද්‍යානයක ලංකාව සිරගත කරනු ලැබ තිබේ. වර්ගවාදයට හා ආගමික අන්තවාදයට එරෙහිව නැඟීගත් ඉන්දීය ජනමතය දිදුලන ආදර්ශයක් වන්නේ එහෙයිනි.
2004 ජූනි | කොළඹ
Print this post
Sunday, June 6, 2004
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment