Sunday, April 5, 2009

දකුණ පසුපස එන පාරා වළල්ල

Print this post


රාවය | 2009 අප්‍රේල් 05
......................................................................................................................................

යුද්ධය ජය පහට කරගෙන යන බැව් සැළ ය. එය අසාමාන්‍ය ප්‍රවේසමකින් සිදු කෙරෙන හෙයින්දෝ එහි ගුණ දකින්නන් දවසින් දවස වැඩි වේ.
  
මේ යුද්ධයෙන් සිවිල් වැසියෝ මිය නොයති. සොල්දාදුවන්ද මිය යන්නේ ‛ත්‍රස්ත’ මරණවලට සාපේක්‍ෂව බලතොත් 100ට එකේ වාසි සහගත අනුපාතයකට ය. යුද්ධයට නොයන මුත් දේශානුරාගයෙන් අඩුවක් නැති අයගේ ගිණුමට ඒ වාසියත් බැර වේ. නව ලෝකය දෙපළු වී ඇත්තේ කොටි සහ අපි වශයෙනි. එක්කෝ අපේ පැත්තේ ය. නැතහොත් කොටින් පැත්තේ ය. ඒ අනුව ජනවාරි 20 වෙනිදා සිට මාර්තු 07 වෙනිදා දක්වා ගෙවුණු දවස් 47කට වන්නියේ සිවිල් වැසියන් 2,800කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශය කොටින්ට කත් ඇදීමකි. එම කාලය තුළදීම 7,000කට වැඩි සිවිල් වැසියන් ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ඇය කළ ප්‍රකාශයද ඒ ගණයේම ප්‍රබන්ධයකැයි සැළකීම මනා ය. වර්ග සංහාරයක මුවවිටට ලංකාව එළඹ ඇති බවට ‛ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පත්‍රයට අරුන්දතී රෝයි දෙතුන් දිනකට කලින් ලියන ලද ලිපියෙන් කියැවෙන්නේද ඇගේ ‛කොටි සබඳතා’ පිළිබඳ ඇත්තයි.


මේ හැරුණු විට අහම්බෙන් හෝ ආරංචි වුවහොත් නොරැවටී සිටීමේ වාසිය පිණිස කල් තියා ලියා තැබිය යුතු එවැනි ප්‍රචාර තවත් එමට ය. ඉන් කිහිපයක් මෙසේ ය: රජයේ පාලනයට නතු යාපන අර්ධද්වීපය තුළදී 2008 අවුරුද්දේ පමණක් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදහන් වීම් ඇතුළුව බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් 1,200ක් වාර්තා වී ඇති බවට ආණ්ඩුවේම මානව හිමිකම් කොමිසමේ වාර්තා ත්‍රස්ත ප්‍රචාරක සැළසුම්වලම පංගුවකි. 2008 නොවැම්බරයේ පටන් 2009 ජනවාරි අවසානය දක්වා වූ තුන් මාසය තුළ පමණක්  මඩකළපු දිස්ත්‍රික්කය තුළ පුද්ගල අතුරුදහන්වීම් 75ක් වාර්තා වීම, ‛නැගනෙහිර නවෝදය’ වසන් කරනු වස් ආණ්ඩුවේම මානව හිමිකම් කොමිසම විසින් ගෙනයන තවත් එවැනිම නොමග යවන සුළු කුමන්ත්‍රණයකි. මාර්තු මාසයේ අවසන් සතිය තුළදී 1,400කට වැඩි සෙබළුන් ප්‍රමාණයක් මිය ගොස් නැති අතර 6,100කට වැඩි සෙබළුන් ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි සැළ වුවහොත් එය ද බොරුවකි.

ඇත්ත කාරණාව වන්නේ දෙමළ ජනයා ඔවුන්ගේම ගම් බිම්වලින් මුදාගැනීමේ මානුෂික මෙහෙයුම් එක එල්ලේ පෙරට යන බව ය. ඇතැම් විට අමානුෂික ලෙස හැසිරෙන මැදවච්චිය පොලිස් මාර්ග බාධකය නොවන්නට, මානුෂික මෙහෙුයම් හරහා දෙමල ජනයාගෙන් මුදාගන්නා දේවල් මීටත් වඩා කොළඹට රැගෙන එන්නට ඉඩ තිබුණාට සැක නැත. ඒ කතාව බොරුවක් යැයි කියන්නන්ට රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම කදිම පිළිතුරක් දෙනු නියත ය.
  
නමුත් වෙනත් යුද්ධයක ගිනි පුපුරු දකුණේ තැන තැන දැල්වෙනු පෙනේ. ඒ යුද්ධය, යුදබිමේ සිට වාර්තා කරන්නෝ විරල වෙති. නැග එන ආර්ථික අර්බුදය විසින් මොළවනු ලබන ළඟ එන ඒ යුද්ධය පිළිබඳ දැනටමත් පළවන පෙර නිමිති එමට ය.
  
ෆිස්කල් ශේෂයන්ද ඇතුළත්ව ඉකුත් සැප්තැම්බර්ය වන විට ඩොලර් බිලියන 3.4ක් වූ මහ බැංකුවේ දළ විදේශ  සංචිතයන් ජනවාරිය වන විට මිලියන 1,415 දක්වාම පහත වැටිණ. රුපියලේ අගය කෘතිමව ස්ථාවර කොට පවත්වා ගැනීමේ වෑයම වෙනුවෙන් මේ වනවිටත් මහ බැංකුවේ නිල සංචිතයන්ගෙන් තුනෙන් දෙකක් වැය කොට හමාර ය. පෙබරවාරි මාසය තුළ පමණක් ඒ සඳහා වැය කළ ප්‍රමාණය ඩොලර් මිලියන 240කි. හැකිලී යන සංචිතයන්ට සමාන්තරව ඉකුත් සැප්තැම්බර් 01 වෙනිදා පටන් මේ දක්වා රුපියල් කෝටි 20,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මහ බැංකුව ක්‍රියා කොට ඇත්තේ ගැළවුම් මාර්ගයක් වශයෙනි. නමුත් මෙය පෙරළා නිර්මාණය කර ඇති ගෙවුම් ශේෂ අර්බුදය වසර 2000න් පසු හටගත් දරුණුතම ගෙවුම් ශේෂ අර්බුදය වනු ඇති බව ‛ලංකා බිස්නස් ඔන්ලයින්’ වෙබ් අඩවිය පෙබරවාරි මාසයේදීම කල් තියා ලියා තිබිණ. මාර්තු 31 වෙනිදා නිකුත් වූ රොයිටර් පුවත් වාර්තාවකට අනුව ඉකුත් ඔක්තෝබර් 30 වෙනිදා පටන් මේ දක්වා රුපියලේ පහත වැටීම 6.81%කි.
  
දෑවුරුද්දකට පෙර ගළවා විසිකොට දැමූ බව කී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‛ප්ලග්’ යළිත් අහුමුළු අත ගා සොයා ගැනීමට දැන් ආණ්ඩුව උත්සුක වෙමින් ඇත්තේ එහෙයිනි. මූල්‍ය අරමුදලින් සැපයෙන ඩොලර් බිලියන 1.9ක හදිසි ණය සහන මුදල ලබාගැනීම පිණිස වඩා දැඩි කොන්දේසි ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවේ එකඟතාව පළව ඇති ආකාරය දැනටමත් පෙනේ. පෙබරවාරි 20 වෙනිදා නිකුත් කළ ආණ්ඩුවේ ගැසට් පත්‍රිකාවෙන් යෝජිත රාජ්‍ය සේවයේ කප්පාදු කිරීම් මෙන්ම විදුලි බල සංශෝධන පනත සම්මත කරගැනීමට ආණ්ඩුව විසින් දක්වන ලද අසීමිත උනන්දුව මගින් හෙළිදරව් කෙරෙන යථාර්ථය එයයි. ඉකුත් වසරේ පමණක් ඇඟළුම් කර්මාන්ත ශාලා 101ක් වසා දමනු ලැබ ඇති බවත් මාර්තු 31 වෙනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ප්‍රකාශ කොට තිබූ අතර මහමඟට ඇද දමනු ලැබ ඇති ඒ කම්කරු ස්ත්‍රීන් හා පිරිමින්ගේ ඉරණම කවරක් වී දැයි බොහෝ දෙනා නොදනිති. නැග එන නොසන්සුන් රළ වේගයන් දකුණ කළඹවන රළ කුණාටුවකට හැරවෙන ලකුණු දැන් පෙනේ. සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මූලිකත්වයෙන් අප්‍රේල් 01 වෙනිදා  කැඳවා තිබූ රාජ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ උද්ඝෝෂණයට අමතරව, අප්‍රේල් 03 වෙනිදා වැඩ වර්ජනයකට සඳහා විදුලි කම්කරුවන්ගේ ඇති එකඟතාව මේ ලියන මොහොත වන විට තීන්දු වී තිබේ.

වසරකට රුපියල් බිලියන 200ක් ඉක්ම වූ මුදලක් වැය කොට වන්නිය පාෂාණ යුගයට යළිත් ගෙනයන සමූල ඝාතක යුද මෙහෙයුම් අභිමුව මුනිවතින් කරබා සිටි දකුණේ පීඩිත ජනයා හඹා එන ව්‍යසනයේ ඉරණම්කාරී පාරා වළල්ල දැන් දකුණේ නගර ගම් බිම් කරා ළඟා වනු පෙනේ. ගෙළ සිරකර ගැනීමට නියමිත ආර්ථිකය විසින් ජනිත කරනු ලබන දුක් පීඩා,  එළඹෙන දවස්වලදී දකුණේ දොර දොර ළෙලදෙන ජාතික කොඩි සෙවණේම පුපුරා යාමට නියමිත ය.



2009 අප්‍රේල්,/span>

Print this post

0 comments:

Post a Comment