Sunday, March 22, 2009

දෙමළ ගණිතය

Print this post


රාවය | 2009 මාර්තු 22
......................................................................................................................................

ලංකාවට විරුද්ධ ‘නව යටත් විජිත කුමන්ත්‍රණය’ දියත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවශ්‍ය වුවහොත් ජනතාව ලවා වටලන බවට ජාතික නිදහස් පෙරමුණේ නායකයා අනතුරු හඟවා තිබුණේ මාර්තු 16 වෙනිදා ය. ඩොලර් බිලියන 1.9ක ණයක් ලබාගැනීමට ලංකාවේ රාජ්‍ය ප්‍රධානීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට එළඹ ඇත්තේ ඒ අතරවාරයේදී ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දණ ගස්වා ‘‘කොන්දේසි විරහිත’’ ණයක් ලබා ගැනීමට සමත් වූ පළමු රාජ්‍යය වශයෙන් ලංකාව ඉතිහාස ගතවීමට නියමිතව ඇති අතර ‘ප්ලග්’ ගළවා ගැනීමේ මී ළඟ කවට නළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුවීමට ඉඩ ඇති බව දැන් සිට සැළකුව මනා ය.

මෘත දේහ වටකොටගෙන හාමතින් මිය යන වන්නියේ මිනිස් නරකාදිය පිළිබඳ සියළු කතා දැන් අපේ ස්වෛරීභාවයට යටත් තේමා ය. පිටස්තරයින් ඒවා ගැන කතා කිරීම ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමක් වන අතර රට වැසියන් ඒ ගැන කණස්සළු වීම ත්‍රස්ත හිතෛශීභාවයේ රෝග නිමිත්තකි. හමුදා ප්‍රකාශකයින්ට අනුව දැන් වන්නිය වනාහී වර්ග කිලෝ මීටර් කිහිපයක අභ්‍යාස වෙඩි බිමකි. ඉන් පලා එන්නෝ සිවිල් වැසියන් සේ සැළකෙන අතර එහිම මිය යන්නෝ ත්‍රස්තයින් බවට පෙරළෙති. ඒ සංඛ්‍යා දත්තයන් ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව සැළකුවද බොහෝවුන්ට ගණිත විනෝදයකි. ඒවා සිතු මනාපය අනුව පිට-නොපිට පෙරළන්නේ එබැවිනි. ලේ වැකුණු ඒ ගණිත ක්‍රීඩාව සැකෙවින් මෙසේ ය:


දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය විසින් ජනවාරි 29 වෙනිදා නිකුත් කළ නිවේදනයකට අනුව ජනවාරිය අවසන් වන විට යුද කලාපයේ සමස්ත අවතැන් ජනගහණය 250,000කි. මාර්තු 17 වෙනිදා එම සංවිධානය විසින්ම නිකුත් කළ නිවේදනයකට අනුව රජයේ පාලන ප්‍රදේශවලට මේ දක්වා පැමිණ ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 36,896කි. ඉන් 33,896ක් වවුනියාවේ කඳවුරු 13ක රඳවා ඇති අතර, ඉතිරි 3,000ක් දෙනා යාපනයේ තාවකාලිකව කඳවුරුගත කොට තිබේ. එම සංවිධානයේ නිවේදන දෙකෙහි අඩංගු සංඛ්‍යා දත්ත පමණක් සසඳන්නේ නම් යුද කලාපය තුළ තව දුරටත් 200,000කට වැඩි අවතැන් ජන පිරිසක් සිටිය යුතුව තිබේ. නමුත් මාර්තු 17 වෙනිදා ඔවුන්ගේම නිවේදනයට අනුව තව දුරටත් ඉතිරිව ඇති සිවිල් වැසියන් ප්‍රමාණය 150,000කි. ඒ ගණන් මිණුම් අනුව බලතොත් 250,000කින් 38,896ක් අඩු කළ විට උත්තරය 150,000කි.

මේ ක්‍රීඩාව තව දුරටත් දිග්ගැසෙයි. ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ ආසියා කලාපීය අධ්‍යක්ෂ‍වරයා ජනවාරි 28 වෙනිදා නිකුත් කළ ප්‍රකාශයකට අනුව යුද කලාපය තුළ අවතැන් සිවිල් ජනගහණය 250,000කි. රජයේ හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවේ නිල වෙබ් අඩවියේම මාර්තු 18 වෙනිදා පළවූ වාර්තාවකට අනුව ජනවාරියේ සිට මේ දක්වා රජයේ පාලන ප්‍රදේශයන්ට පැමිණ ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 45,519කි. ආණ්ඩුවේ සංඛ්‍යා දත්තයන්ම පිළිගන්නේ නම් ඒ අනුව තවත් දෙලක්ෂයකට ආසන්න ජනගහණයක් යුද කලාපය තුළ ඉතිරිව සිටිය යුතු ය. නමුත් මාර්තු 04 වෙනිදා නිකුත් කළ ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ නිවේදනයකට අනුව දැන් යුද කලාපය තුළ ඉතිරි ඇත්තේ 150,000කි. ඒ අනුව ලක්ෂ දෙක හමාරකින් 45,000ක් අඩු කළ විටද උත්තරයද 150,000කි.

මේ ගණිත කෙළියෙහි යෙදී වැඩියෙන්ම තුටු පහටු වන්නේ ආණ්ඩුවයි. ආරක්ෂලක ලේකම්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන පෙබරවාරි 27 වෙනිදා ආණ්ඩුවේ ‘ඩේලි නිවුස්’ පත්‍රයට අනුව මුලතිවුහි මුල් ජනගහණය 208,000කි. ඉන් 120,000ක් ජීවත් වන්නේ ඉන් බැහැර ප්‍රලදේශයන්හි බැව් ඒ වාර්තාවෙන් කියැ වේ. ඒ සංඛ්‍යා පිළිගන්නේ නම් ඉතිරිව ඇති මුලතිවු ජනගහණය 88,000කි. මන්නාරම් – කිලිනොච්චි, වවුනියා සහ යාපන දිස්ත්‍රික්වලින් අවතැන්ව මුලතිවු දක්වාම පලා ගිය ජනයා ඒ 88,000ට අයත් නැති බැව් ඉන් හැඟ වේ. ‘ඩේලි නිවුස්’ වාර්තාවෙන් කියැවෙන ආරක්ෂදක ලේකම්වරයාගේ ප්‍රකාශයට අනුව යුද කලාපය තුළ ඉතිරිව ඇත්තේ ‘ලක්ෂයකට නොවැඩි ජනගහණයකි.’ නමුත් පෙබරවාරි 02 වෙනිදා බීබීසී සහ ‘‘ෆ්‍රන්ස් 24’’ සේවාවන්ගේ වෙබ් අඩවි විසින් උපුටා දක්වන අන්දමට සිවිල් වැසියන් 120,000ක් යුද කළාපය තුළ කොටු වී ඇතැයි ආණ්ඩුව පිළිගෙන තිබේ. එතැන් සිට දෙසතියක් ඇතුළත පෙබරවාරි 15 වෙනිදා ‘දි අයිලන්ඩ්’ පත්‍රයට ප්‍රකාශයක් කරන ආණ්ඩුවේ ආපදා සහන සේවා ඇමතිවරයාට අනුව ඒ සංඛ්‍යාව 65,000කි. එයින් දෙසතියක් ඇතුළත ලංකාවෙහි චාරිකා කළ මානුෂීය සහන සේවා පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් සමග ආණ්ඩුව පැවැත් වූ සාකච්ඡාවන්හිදී මේ
සංඛ්‍යාව යළිත් 70,000කි. නමුත් මාර්තු 13 වෙනිදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරිය සමග ජනාධිපති රාජපක්ෂ පැවැත් වූ දුරකථන සංවාදයේදී මේ සංඛ්‍යාව 50,000කි. ආණ්ඩුවේම හමුදා ප්‍රකාශකයාට අනුව ජනවාරියේ සිට මේ දක්වාම රජයේ පාලන ප්‍රදේශවලට පැමිණ ඇති සමස්ත සිවිල් වැසියන් පරවා මාණය 45,519කි. නමුත් පෙබරවාරිය වනවිටත් යුද කලාපය තුළ කොටුවී ඇතැයි රජය පිළිගත් 120,000ක සිවිල් වැසියන් ප්‍රමාණය මාර්තු 13 වෙනිදා වන විට 50,000ක් වන්නේ කෙසේදැයි වැටහෙනු ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාගෙන් සිංහල ගණිත ශාස්ත්‍රය  ප්‍රගුණ කළවුන් පමණි.

සංඛ්‍යාලේඛණ වනාහී නොසළකා හැරීමට අදාළ ගණිතමය න්‍යායකැයි’ අයෙක් වරෙක ලීවේය. වන්නියේ අවතැන් දෙමළ ජනයා ශ්‍රී නො ලංකා රජයේ සංහාරක අවි බලයෙන් අතුගා දමන්නට නියමිත මිනිස් කසළ ගොඩකට වැඩිමනත් දෙයක් සේ නොසැළකේ. මිය යන්නන්, පලා එන්නන්, පැහැර ගනු ලබන්නන්, අතුරුදහන් වන්නන් යන මේ සියල්ලෝ හැඟීම්, සිහින හෝ අපේක්ෂා කිසිත් නැති ලේ නොගලන අජීවි ඉලක්කම් රොත්තකි. ලෙයින් බත් වූ දරු සිඟිත්තන්ගේ මොළකැටි සිරුරු ඔසවාගෙන විකල්ව දිව යන මිහිතලයේ අසරණතම මිනිස් සමූහයකගේ දුක්ඛිත ඉරණම සඟවා ඇත්තේ ඒ ඉලක්කම් කඳු යට ය. අධිපතිවාදයේ උන්මාදයෙන් ඔසවන විජය දද ගිනිබත් කරන මිනිස් වේදනාවන්ගේ ලෝ දිය දහරා පුපුරා යන තෙක් කැකෑරෙනු ඇත්තේ ද නොසළකා හරින ලද ඒ කඳු යට ය.



2009 මාර්තු

Print this post

0 comments:

Post a Comment