Sunday, February 22, 2009

දකුණ නොදකින ලේ කඳ

Print this post


රාවය2009 | පෙබරවාරි 22
......................................................................................................................................

ඩගිනි ජාතියක සා පිපාසා නිවන ‛නිදහසේ කෙම් බිමට’ හුවක දුරක් යැයි පැවසේ. දකුණේ දොර - දොර රැළි නගන අධිපතිවාදයෙන් මුසපත් කරන ලද ඉළ බැරෑඳි පෑදුණු හාමත් දිළින්දෝ සිංහ කොඩි වනමින් ජය පැන් සාදයට ලක ලෑස්ති වෙති. මාක්ස්ගේ සිට ලෙනින් දක්වාද, බුදුන්ගේ සිට ගාන්ධි දක්වාද සියල්ලන්ගෙන් උගත් පාඩම් දෙමළුන් නසන යුද්ධයට සිත් සේ යොදා ගන්නට රිසි අනුගාමිකයින් රොත්තකි. බ්‍රිතානීන්ගෙන් භාගෙට ගැළවීම සැමරෙන ‛නිදහස් දිනය’ දෙමළුන් සහමුලින් යටත් කෙරෙන දිනයට අනුව කඩිනමින් වෙනස් කිරීමේ දේශානුරාගී යෝජනාවන් පෙරට එන්නේ ඊට අමතර වශයෙනි. අභිනවයෙන් මුදාගත් සාම්පූර් ගොවිබිම් ඉන්දියාවටද, පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ඔස්ට්‍රියාවටද, ෆවුල් තුඩුවේ සිට ත්‍රීකුණාමල වරාය ප්‍රත්‍යන්තයේ දූපත් රොත්ත ඇමරිකාවටද නිල හෝ නොනිල වශයෙන් පැවරීමේ උත්කර්ෂවත් සැණකෙළියද එදිනටම යොදාගැනීම වඩා උචිත විය හැක.
  
නමුත් වන්නිය මිනිස් ලේ වගුරකි. පොකුරු බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාරවලින් දිවි ගළවාගත්තවුන් හඹා එන දාහක බෝම්බ මගින් මව් පිය - ළමා ලපටින් ඇට මස් මිදුළු තෙක් පුළුස්සා අළු ධූලි කොට දැමෙයි. කඳු ගැසෙන මෘත ක්ලේබර හා සුන් බුන්ව දා හළුව ගිය ගේ දොර - වතු පිටි මැදින් කිරිකැටි බිළින්දන් රැගෙන වියරුවෙන් පළා යන සිය දහස් සංඛ්‍යාත මව් පියන් ලේ වැකි වන්නි පොළොවේ පස් කමින් වැළලේ. ගස් ගල් යට අටවාගත් තාවකාලික එළිමහන් රෝහල්, වධ වේදනා විඳ පණ ඇද මියෙනවුන්ගේ අවසාන පහසුව පිණිස ය. වන්නියේ දුගී මිනිස් සමූහයා යට කොට රැළි නගා බැස යන ඒ සා වූ ලේ කඳින් ඇබින්දක් හෝ දකුණේ දොරකඩකට නොගලයි. 


ඒ මිනිස් වේදනා ගැන දකුණ නොදනී. ඒ හෙයින් කිසිවෙකුත් නොතැවෙයි.
  
මුලතිවු ප්‍රදේශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙබරවාරි 13 වෙනිදා පළ වූ එක්සත් ප්‍රවෘත්ති සේවා ඒජන්සි වාර්තාවකට අනුව එක් දවසකට වන්නියේදී මිය යන සිවිල් වැසියන්ගේ සාමාන්‍යය 40කි. ඒ ගණන් මිණුම් අනුව මාසයකදී 1200කට නොඅඩු සාමාන්‍ය වැසියෝ පිරිසක් වන්නියේ මිය යති. ආණ්ඩුව විසින් නම් කළ ‛ආරක්‍ෂිත කළාපය’ තුළ මුලතිවු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන තාවකාලික රෝහල් බිමට 09 වෙනිදා එල්ල වූ ෂෙල් ප්‍රහාරයන්ට ගොදුරුව 22 දෙනෙකු මිය ගිය බව හෙළිකොට තිබුණේ ඔහු විසිනි. ගතවන සෑම දිනකටම 100කට වැඩි තුවාලකරුවන් සිය රෝහලින් ප්‍රතිකාර ගන්නා බැව් ඔහුම පවසා තිබිණ. ‛වර්ග සංහාරයට එරෙහි ඉන්දියානුවන්ගේ’ සංවිධානය විසින් චෙන්නායිහිදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් උපුටා දක්වමින් ‛හින්දු’ පත්‍රයේ පෙබරවාරි 14 වෙනිදා කලාපයේ පළ වූ වාර්තාවකට අනුව ජනවාරියේ සිට මාස එක හමාරක කාලයකට සිවිල් වැසියන් 1,700කට වැඩි ප්‍රමාණයක් වන්නියේදී මිය ගොස් තිබේ. එළඹෙන සති කිහිපයේදී ඉතිරි ගම්බිම්ද යට කොට දෙගොඩ තලා ගලනු ඇත්තේ ඒ ලේ ගඟෙන් පිටාරා යන මිනිස් වේදනාවන් ය.
  
ඒ මහත් ලේ කඳ ගැන දකුණ නොදනී. ඒ හෙයින් කිසිවෙකුත් නොතැවෙයි.
  
ගතවන පැයෙන් පැය වන්නියේ නිර්මාණය කෙරෙමින් ඇති මිනිස් නරකාදිය ලංකා ඉතිහාසයේ යළිත් කිසි කලෙක නොමැකෙන පාපිෂ්ඨ සාපරාධී අවමානයේ කැළල බවට පත්වනු නියත ය. දිවි ගළවාගන්නා දෙමළ ජනයා අලුත් ලංකාවක් පිළිබඳ සිහින වැසි දියෙන් පෙඟී බත්වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති. නමුත් අත් - පා අහිමිව ගිළන් ඇඳක වැතිරගත් එකම එක සරණාගත සිඟිත්තෙකුගේ අපේක්‍ෂා රහිත සෝකාකූල දෑස් සියවසක් කල් වුව මිනිස් ආවේග අවුළුවන ගිනි පුපුරු බඳු වේ. ගිනිජල් බෝම්බ වර්ෂාවන්ගෙන් ගැළවෙනු වස් පොළොව කැණ හාරාගත් කුරුබිලි තුළ විසි හතර පැයම ගෙවමින්, ඉඩක් ලද ඇසිල්ලේ තැතිගත් හදින් විසිරුණු මිනී කඳු උඩින් පැන හිස් ලූ ලූ අත දිව යන අසරණ මිනිස් සමූහයකගේ සදා දුක්ඛිත මතක රූපය එළඹෙන දශකයෙන් දශකය අවතාරයක් මෙන් දකුණේ සුබ සිහින පසුපසින් හඹා එනු නිසැක ය. කැරළිකාරී පරම්පරා දෙකක් නියෝජනය කළ දහස් සංඛ්‍යාත දකුණේ පීඩිත මිනිස් දරුවන් සමාජ අයුක්තීන්ට එරෙහිව සිය රුධිරයෙන් අරුත් ගැන් වූ පරිත්‍යාගශීලී වීරත්වය හා මිනිස් ගරුත්වය පිළිබඳ ඉතිහාස කතාවෙහි උරුමය දැන් වන්නියේ ගලන පීඩිත දෙමළාගේ රුධිරයෙන් කිලිටි කොට හමාර ය. දකුණේ දී දිවිදුන් සටන්කාමී පීඩිතයින් පිළිබඳ දුක්බර මතකයෙන් උගත් පාඩම් ඉතිරිව තිබුණේ නම්, වන්නියේ මිනිස් නරකාදිය කිසිකලෙක නිර්මාණය නොවන්නට ඉඩ තිබිණ. නමුත් ජාතික සහජීවනය සහ වාර්ගික සහෝදරත්වය පිළිබඳ දකුණේ උද්වේගකර සාද සාමිචි දැන් මිනිස් ලේ ගඳ වපුරන වාගාලාපයන්ට වැඩිමනත් දෙයක් නොවේ. ලේ මාගලක් බවට පෙරළුණු අපේ ඉතිහාස කතාවෙන් ගැළවෙන්නට මතු යම් දිනක හෝ ඉඩක් ඉතිරිව තිබුණේ නම්, ඒ ඉඩ අවුරන බැරිකේඩය වන්නියේ පීඩිත මිනිස් මාංශයෙන් දැන් ඉදිකොට හමාර ය.
  
සුනාමියට පෙර මුහුද ආපසු ගිය බැව් දිවි ගළවාගත්තෝ පවසති. වෙරළේ හිඳ විශ්මයට පත් වූ පිරිස් පෑදුණු සයුරු පතුලේ සිත් තුටින් ඔබ මොබ දිව ගියහ. ඒ මිනිස් සමූහයන් කුහුඹුවන් මෙන් සයුරු පතුළට සෝදා කැටුව ගිය ප්‍රචණ්ඩ මහා දිය කඳ යොදුන් ගණන් උසින් රැළි ගැසී නැඟ ආවේ එයින් පසුව ය.

දැන් වන්නියේදී සන්සුන්ව බැස යතැයි සිතන නිදහස පිළිබඳ මිනිස් ආවේගයන්, දකුණේ ජාතික මාමක උද්වේගයන් යට කොට නැඟ එන ප්‍රචණ්ඩ සුනාමියක් නොවනු ඇතැයි කාට නම් කිව හැකිද?



2009 පෙබරවාරි

Print this post

0 comments:

Post a Comment