Sunday, February 8, 2009

වර්ග සංහාරය ගැන නොකියන කතාව

Print this post


රාවය | 2009 පෙබරවාරි 08
......................................................................................................................................

තිස් අවුරුදු යුද්ධයක ‛අවසාන උද්වේගකර ජවනිකා’ මේ දවස්වල දකුණේ රූපවාහිනී ප්‍රේක්‍ෂකයින්ගේ ප්‍රණීත දෛනික භෝජනය බවට පත් වී තිබේ. රමණීය ගුවන් ප්‍රහාරයන් ගුවනට පෙනෙන ආකාරය පොළොවේ සිට නැරඹීමේ දුර්ලභ ඉඩ ප්‍රස්ථා ඔවුහු සතොසේ භුක්ති විඳිති. පිට පිට එල්ල වන මල්ටි බැරල් රොකට් ප්‍රහාරයන් විසින් සපයන විසිතුරු චමත්කාරය අමතර වශයෙනි. උතුරේ සමූල සංහාරයන්ට යොදා ගැනෙන මාරක අවි ආයුද දකුණේ සැඳෑ සිරි විඳ විඳ නරඹනු හැකි ප්‍රදර්ශන භාණ්ඩ බවට දැන් පෙරළී තිබේ. ‛දැයට කිරුළේ’ විචිත්‍ර ආනන්දය වෙන්ව ඇත්තේ ඒ විවේකී සුව විඳිනු පිණිස ය. වර්ගවාදියාගෙන් ලිබරල්වාදියා කරාද, ලිබරල්වාදියාගෙන් වාමවාදියා කරාද ජාතික කොඩිය නිරායාසයෙන් මාරු වන්නේ ඒ ආනන්දයේ අනුහසෙනි. ලේ වැකි බිළින්දන්ගේ පණ සුන් මළ කඳන් තුරුළේ හොවාගෙන හිස් ලූ ලූ අත දිව යන දෙමළ මව් පියන්ගේ අනුවේදනීය රූ අහම්බෙන් හෝ දුටහොත් ඒවා ‛කොටි ප්‍රචාරක චිත්‍රපටයකින්’ උපුටා ගන්නා ලද දසුන් සේ සැළකුව මනා ය.
  
ලංකාව වර්ග සංහාරයක අවසාන මුව විටට එළඹ සිටියි. ඉකුත් දෙසතියක කාලය තුළ වෙන් වෙන්ව කරන ලද ප්‍රකාශයන් එක්තැන් කළ විට ඒ වර්ග සංහාරයේ සංවිධිත සැළැස්ම විද්‍යාමාන වේ. අවශ්‍ය නම් විමසා බලත හැකිය:


දෙලක්‍ෂයකට වැඩි වන්නියේ ‛අවතැන් ජනයා කොටින්ගේ මහ විරු පවුල් සාමාජිකයින් මිස සිවිල් වැසියන් සේ සැළකිය නොහැකි’ යැයි ආණ්ඩුවේ කොටස්කාර ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර සිටියේ ජනවාරි 28 වෙනිදා ය. සටන් විරාමයකින් තොරවම සිවිල් වැසියන්ට රජයේ හමුදා පාලන ප්‍රදේශ කරා ඒම සඳහා රජය ලබා දුන් පැය 48ක කාලය පෙබරවාරි පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමා විය. පුදුකුඩියිරිප්පු රෝහලට පළමු කාල තුවක්කු ප්‍රහාරය එල්ල වූයේ පෙබරවාරි පළමුවෙනිදා ය. දෙවෙනි ප්‍රහාරය එල්ල වූයේ දෙවෙනිදා ය. ප්‍රහාරයන්ගෙන් රෝහලේ ප්‍රතිකාර ලැබූ සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගිය බව ජාත්‍යන්තර රතු කුරුසය හෙළි කර තිබිණ. ‛රජය විසින් දෙන ලද ආරක්‍ෂක කලාපයෙන් බැහැරව පවත්වාගෙන යන්නේ නම් රෝහල් පවා නීත්‍යානුකූල ප්‍රහාරක ඉලක්කයන්’ බවට පත්වන බව ආරක්‍ෂක ලේකම්වරයා පෙබරවාරි 02 වෙනිදා ‛ස්කයි නිවුස්’ සේවාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ආවතේවකාර ජාතික නිදහස් පෙරමුණ විසින්  බත්තරමුල්ලේ සිය පක්‍ෂ මූලස්ථානයට කැඳ වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ‛මුලතිවුහි ඉතිරිව සිටින වැසියන් මරා දමා එහි වගකීම ආණ්ඩුවේ හමුදාවන් මත පැටවීමේ කොටි කුමන්ත්‍රණයක්’ ගැන ජානිපෙ ලේකම්වරයාගේ සංත්‍රාසජනක අනාවරණය එළිබසින ලද්දේ ද ඒ දෙවෙනිදාවේම ය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය හරහා පෙබරවාරි 03 වෙනිදා නිකුත් කරන ලද රජයේ නිවේදනයක් මගින් ‛රජයේ හමුදා පාලන ප්‍රදේශ කරා නොඑන සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම රජයේ හමුදාවන්ට සහතික කළ නොහැකි බව’ ප්‍රකාශ කර තිබිණ. සැකෙවින් හැකිලූ විට මේ ප්‍රකාශයන්ගේ අවසාන සම්පින්ඩණය මෙපරිදි ය: ‛මුලතිවුහි ඉතිරිව ඇත්තේ කොටින්ගේ පවුල් සාමාජිකයින් ය. එබැවින් ඔවුන් සිවිල් වැසියන් සේ නොසැළකිය යුතු ය. ඔවුන් ප්‍රතිකාර ලබන රෝහල් පවා නීත්‍යානුකූල ප්‍රහාරක ඉලක්ක සේ සැළකිය යුතුව ඇත්තේ එබැවිනි. ඔවුන්ගේ ආරක්‍ෂාව රජයේ හමුදාවන්ට සහතික කළ නොහැකි අතර ඇතැම්විට කොටින්ම සිය මව්පියන් සමූල ඝාතනය කොට එහි වගකීම ආණ්ඩුවේ කර මත පැටවීමට ඉඩ තිබේ.’ එළඹෙන සති කිහිපය තුළ තීව්‍ර කිරීමට නියමිත සාක්‍ෂිකරුවන් රහිත වර්ග සංහාරයක් පිළිබඳ මීටත් වඩා පූර්ව නිමිති අවශ්‍ය වෙතැයි කියන්නෝ තවත් සිටිත්ද?
  
ලංකාවේ යුද්ධය වර්ග සංහාරයක් යැයි කීම ත්‍රස්ත ප්‍රචාරයකැයි දේශහිතෛශීහු කල්පනා කරති. නමුත් 1948 දෙසැම්බර් 09 වෙනිදා සම්මත කරගත් වර්ග සංහාරයන් වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ප්‍රඥප්තියේ දෙවෙනි වගන්තිය ‛වර්ග සංහාරයක්’ (genocide)  යනු කුමක්දැයි අරුත් දක්වා තිබේ. ලංකාව මේ ප්‍රඥප්තියේ කොටස්කාර පාර්ශ්වයක් බවට පත්වූයේ 1950 ඔක්තෝබරයේදී ය. ඒ අනුව කිසියම් ජාතික, ජනවාර්ගික හෝ ආගමික ප්‍රජාවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් යුතුව පහත සඳහන් ක්‍රියාවන්ගෙන් කවර හෝ ක්‍රියාවක යෙදීම වර්ග සංහාරයක් සේ සැළකේ. පළමුවැන්න, අදාළ ප්‍රජාවේ සාමාජිකයින් ඝාතනය කිරීම ය. දෙවැන්න, එකී සාමාජිකයන්ට ශාරීරික හෝ මානසික හානි ගෙනදීම ය. තුන්වැන්න, අදාළ ප්‍රජාව පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් භෞතිකව විනාශ කරන්නාවූ ජීවන තත්ත්වයන් ගණන් බලා නිර්මාණය කිරීමයි. බලහත්කාරී උපත් පාලනය හා අදාළ ප්‍රජාවේ දරුවන් බලහත්කාරයේ වෙනත් ප්‍රජා කණ්ඩායම් තුළට මාරු කිරීම සිව්වෙනි හා පස්වෙනි වර්ග සංහාරක ක්‍රියාවන් සේ සැළකේ. වර්ග සංහාරයක් හඳුනා ගැනෙන නීත්‍යානුකූල අර්ථ විවරණය මෙමගින් සැපයන අතර මින් එකක් හෝ කිහිපයක් ක්‍රියාවට නැංවීම වර්ග සංහාරයකි. ‛ජාතීන් ශිෂ්ඨාචාරගත කිරීමේ’ උද්‍යෝග පාඨ පෙරටුකොටගත් යටත්විජිතවාදී ආක්‍රමණයන්ගේ සිට ‛ත්‍රස්තවාදය තුරන් කිරීමේ’ සටන් පාඨ ළෙලවන ගෝලීය සහ ජාතික මෙහෙයුම්ද වර්ග සංහාරයන් සේ සැළකිය යුත්තේ මේ යටතේ ය.
  
අඩ සියවසකට වැඩි කාලයක් දිග්ගැසෙන ඉතිහාස කාරණා පමණක් නොව, ඉකුත් දෙතුන් අවුරුද්ද තුළ සිදුකළ පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම්, පුද්ගල හා සමූහ ඝාතන යන සියල්ලම පසෙකින් තැබූවද රජයේ වර්ග සංහාරක පිළිවෙත රහසක් විය හැක්කේ  වර්ගවාදී අවිචාර වගුරේ අඩියෙන් අඩිය සිය කැමැත්තෙන් ගිළී යන්නෙකුට පමණි. නොදත් අය දත යුතුව ඇති ඒ පිළිවෙත මෙබඳු ය: වන්නියේ ඉතිරිව ඇති මිලියන කාලක ජනගහණය ලාංකීය දෙමළ ප්‍රජාවෙන් පංගුවකි. ඒ ජනගහණය ඉලක්ක කොට ජනවාරියේදී පමණක් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සිය ගණනක් ජනයා මරුදුටහ. ජනවාරියේදී දිවි ගළවාගත් සෙස්සන්ගේ ඉරණම පෙබරවාරියේදී විසඳාලීමට ඇති රජයේ අභිලාෂය ඉහතින් උපුටා දක්වන ලද ප්‍රකාශයන්ගෙන් හෙළි වේ. මිලියන කාලක ජන කොට්ඨාශයක් සිවිල් වැසියන් සේ නොසැළකිය හැකියැයිද, ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කළ නොහැකියැයිද, ඔවුන්ගේ රෝහල් පවා නීත්‍යානුකූල ප්‍රහාරක ඉලක්කයැයිද ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීම ඒ ජනයාගේ භෞතික විනාශය ගණන් බලා සැළසුම් කිරීමකි. වන්නියේ මිනිස් ව්‍යසනය අනපේක්‍ෂිත අහම්බයක් නොව, යුද සැළැස්මක තාර්කික ප්‍රතිවිපාක සේ සැළකිය යුත්තේ එබැවිනි. වර්ග සංහාරය යනු ඒ සැළැස්මට පිටුබල සපයන අභිලාෂයයි. අභිලාෂය හඳුනා ගැනෙන්නේ ධජ පතාකවල ලියාගත් සුසංගත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ රමණීය සටන් පාඨ අනුව නොවේ. ක්‍රියාවන්ගේ මිනීමරු ප්‍රතිවිපාක මත ය.
  
ඊශ්‍රායෙල් සියොන්වාදීන්ගේ පලස්තීන වර්ග සංහාරක යුද්ධය පිළිබඳ ලියමින් ඊශ්‍රායෙල් යුද විරෝධියෙකු වන යූරි අව්නේරි මෙසේ ලියයි: ‛මරමුවට පත්වීමේදී සෑම බිළින්දෙකුම හමාස් ත්‍රස්තවාදියෙකු වශයෙන් රූපාන්තරණය වේ. බෝම්බ ලෑ සෑම දේවස්ථානයක්ම හමාස් කඳවුරක් බවට පෙරළෙන අතර, සෑම නිවහනක්ම හමාස් අවි ගබඩාවක් බවටත්, සෑම පාසැලක්ම ත්‍රස්ත මෙහෙයුම් පොළක් බවටත්, සෑම සිවිල් ගොඩනැගිල්ලක්ම හමාස් පාලනයේ සංකේතයක් බවටත් පෙරළේ. ඊශ්‍රායෙල් හමුදාව ලොව වඩාත්ම සදාචාර සම්පන්න හමුදාව වශයෙන් සිය පාරිශුද්ධතාව රැකගන්නේ එමගිනි.’

හිස්තැන් පිරවීමට විචාර බුද්ධිය ඇත්තේ නම් අපේ යථාර්ථය ඉහත වැකි අතරින් පාදා ගැනීම අති සරළ වැඩකි.



2009 පෙබරවාරි

Print this post

0 comments:

Post a Comment