Sunday, February 1, 2009

මිනී කඳු මත නිදහස

Print this post


රාවය | 2009 පෙබරවාරි 01
......................................................................................................................................

හ නව අවුරුද්දකට කලින් පෙබරවාරියේ කාන්තිමත් උදෑසනක මහනුවර බූවැලිකඩ සෙංකඩගල බාලිකාවේ ප්‍රධාන ප්‍රවේශ ගේට්ටුවට නුදුරින් තරුණයෙක් වැතිරී සිටියේය. අළුයම් ආලෝකයට නිරාවරණය වූ නග්න උඩුකයට දෙපසින් කෙසඟ දෑත් ඔහේ විඩාවෙන් වැතිරී තිබිණ. සන්සුන් සෝකාකූල මුහුණ මතට එක එල්ලේ කඩා වැටුණු ඒ අරුණෝදයේ සෞම්‍ය හිරු රැස් කදම්බය පාර අද්දර තණ ඇතිරිල්ල තෙක්ම ගලා ගියේය. කාංසාවෙන් පිරුණු අඳුරු දිය කඩිත්තක් බඳු ඒ දෑස් ගැඹුරෙහි පැහැබර උදෑසනක වළා රහිත නිල් ආකාශයෙහි සන්සුන් ඡායාව ඇතැම්විට ඇඳී තිබුණා විය හැක. තමන් වටකොට වික්‍ෂිප්තව මුහුණට එබෙන්නට තෙරපෙන නාඳුනන මිනිස් මුහුණු මඟ හළ ඒ නිදි වැරූ තුරුණු දෑස් ඈත අවකාශයේ දුර යම් තැනක නතරව තිබිණ. සෙමින් තොල් මතුළ ඔහු කී දේ අසන්නට කිසිවෙක් උනන්දු වී දැයි නොදනිමි. මුළුමහත් රැයක් තිස්සේ ආයාසයෙන් ඇද ගත් ආශ්වාස සුසුම් දුබල පෙනහළු අතරින් ඒ උදෑසන වන විට ලිහිල්ව ගිළිහී යමින් තිබිණ. තවත් එක් වරක් උදා ආලෝකය දැකීමේ ශෝකී ප්‍රීතියෙන් ඒ පෙණහළු පිරෙන්නට පටන්ගත්තා විය හැක.
  
වෙඩි වැදී තිබුණේ වම් ඇළපතට ය.


යන එන මං මාවත් අද්දර කඳු ගසා අඟුරු වන තෙක් පිළිස්සූ මිනිස් පරම්පරාවක අන්තිමයා වී නික්ම යන්නට ඔහු ඉරණම්ව සිටියාදැයි මම නොදනිමි. රැයක් පහන් වන තෙක් පණ ඇද මියෙන්නට වෙඩි තබා මහමඟක දමා ගිය ඒ නාඳුනන මිනිස් රුව විසින් ශේෂ කළ වේදනා බර ඔසවාගත් අපි ඒ පෙබරවාරියේ උදෑසන ධර්මරාජයේ කන්ද නැග පන්ති කාමර තුළ නිහඬ අවතාර මෙන් විසිර ගියෙමු. දිවිය හැර යනු ලොබින් පණ අදින තුරුණු මිනිසෙකුගේ දුක්බර රුව, සමූල සංහාරයක් පිළිබඳ අවසාන මතකය වීමේ වේදනාව බොහෝවුන් නොදනී. නමුත් ඒ මතකය, ගින්නෙහි ලා රත්කොට ගිනියම් කළ කිණිසි තුඩකින් ඇණ අලුතින් සිදුරු කොට පාරන ලද පැරණි වේදනාවක් මෙන් දැන් යළිත් කැකෑරෙයි. ඒ, වන්නියේ ගලන මිනිස් ලේ ගඟුලෙනි. ඒ පෙබරවාරියේ ඇතැම්විට මධ්‍යහ්න හිරු රැස් අහුරුවල පහස ද විඳ බූවැලිකඩ මංසන්ධියේ පණ ඇද මියෙන්නට ඇතැයි කල්පනා කළ ඒ නාඳුනන මිනිසා දැන් වන්නියේ නොදන්නා බිම් කඩවල ගස් ගල් යට පණ අදිමින් වැතිර සිටියි.
  
දහනව අවුරුද්දකට පෙරාතුව මාවත් අද්දර වැතිර සිටි ඒ වන් නාඳුනන මිනිස් මුහුණු සිය දහසක්  දෙස වට වී එබීගෙන භීෂණයෙන් වික්‍ෂිප්තව අසරණකමින් බලා හුන් ජාතියක් දැන් අලුතින් මසා ගත් ජාතික ධජ වනමින් හැට එක් වෙනි නිදහස් සමරුවට සැරසෙයි. ඒ නිදහස පරිපූර්ණ කරනු වස් ජනවාරියේදී පමණක් වන්නියේදී සංහාරය කළ දෙමළ ජන සංඛ්‍යාව සිය ගණනකි. උඩෛයාර්කාඩ්ඩු මහා විදුහල් භූමියෙහි පවත්වාගෙන යනු ලබන තාවකාලික රෝහලෙහි වැඩ බලන කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂධූරය හොබවන වෛද්‍යවරයා විසින් 27 වෙනිදා බීබීසී ‛සංදේශය’ට හෙළි කළ ආකාරයට ජනවාරි පළමුවෙනිදා සිට 27 වෙනිදා තෙක් රජයේ හමුදා ප්‍රහාරයන්ගෙන් මිය ගිය සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 145 දෙනෙකි. ඒ ඔහුගේ අධීක්‍ෂණය යටතේ ඇති රෝහල් භූමියේදී පමණකි.  26 සහ 27 යන දෙදින තුළ පමණක් 33 දෙනෙකු උඩෛයාර්කාඩ්ඩු තාවකාලික රෝහල් බිමේදී මිය ගිය බව ඔහු කියා සිටියේය. නමුත් ජනවාරි 26 සඳුදාවේ පමණක් රජය විසින් ප්‍රකාශිත ‛ආරක්‍ෂිත අඩවිය’ තුළදීම කාලතුවක්කු ප්‍රහාරවලින් 300කට ආසන්න සාමාන්‍ය වැසියන් මිය ගොස්, 1000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග මගින් අනාවරණය වී ඇතැයි 28 වෙනිදා ‛ඇසෝසියේටඩ් ප්‍රෙස්’  ඒජන්සි පුවත් සේවය විසින් වාර්තා කරන ලදී. ජනවාරි 28 වෙනි බදාදාවේදී රජයේ ‛ආරක්‍ෂිත අඩවිය’ තුළ ඉදිකළ බංකරයක් තුළ සැඟ වී දිවි ගළවාගන්නට තැත් කළ සාමාන්‍ය වැසියන් නව දෙනෙකු රජයේ හමුදා විසින්ම එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරවලින් මරණයට පත් වූ බවට ඒ.පී. ප්‍රවෘත්ති සේවාව විසින් එදිනම වාර්තා කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර පත්‍රිකාවක් උපුටා දක්වමිනි. අවසාන විජයග්‍රහණය අත්කරගනු වස්  ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර මගින් බිම්බත් කිරීමට තවත් 250,000කට ආසන්න අවතැන් දෙමළ ජනගහණයක් වන්නියේ ඉතිරිව සිටියි. එළඹෙන සති කිහිපය තුළ ඒකීය ශ්‍රී ලංකාව පිළිබඳ වික්‍රමාන්විත පරිච්ඡේදයන් ලියැවෙනු ඇත්තේ හාමත් දරු සිඟිත්තන් තුරුළු කොටගෙන වන්නියේ තැන තැන ඉහ මොළ විසුණුව මියෙන්නට නියමිත ඒ අසරණ මිනිස් කැළතෙහි ලෙයිනි.
  
දැන් දකුණේ දොරින් දොර වැදෙමින් රැළි ගසා පැතිර යන ලේ පිපාසිත ජාතිකානුරාගයේ උද්වේගී චණ්ඩ වා සුළිය සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ගාලු මුවදොරට සේන්දු වීමට තවත් ඇත්තේ දෙතුන් දිනකි. හැට එක් වෙනි නිදහස වෙනුවෙන් ප්‍රතාපවත්ව එසවීමට නියමිත, ධජ පතාක ළෙලවමින් ගාලු මුවදොර හරහා හමා යන ඉන්දීය සාගරයේ කරදිය සුළඟෙහි තැවරුණු වන්නියේ අමු මිනිස් ලේ ගඳ හැට එක් වෙනි නිදහස තව දුරටත් අර්ථ පූර්ණ කිරීමට නියමිත ය. වන්නියේ පීඩිත මිනිස් ලේ ගඟුලින් තෙමාගත් ලේ වැකි අසිපත් අත රැඳි මාංශ භක්‍ෂක සිංහයින් නව ලංකාවක් පිළිබඳ අරුණෝදය සංකේතවත් කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති.
  
ඒ ජාතිමාමක උත්කර්ෂය සහ අප, සදාකාලිකව වෙන්කොට දමන පටු ඉතිහාස බිම් තීරුවකි. විසි අවුරුද්දකට කලින් දකුණේ ගෙමිදුල් උඩින් මරණය සළකුණු කරමින් ඇවිද ගිය මිනිස් ඝාතක සේනාවන් විසින් හපකොට පුළුස්සා ලූ  60,000කගේ  අමතක කළ දුක්බර මිනී කඳු ඒ ඉතිහාස බිම් කඩෙහි ගොඩගසා තිබේ. දහ නව අවුරුද්දකට පෙර මහනුවර බූවැලිකඩ මංසන්ධියේ වැතිර, උදා අරුණුළු රැස් පහස විඳිමින් පණ ඇද මියගිය නාඳුනන තරුණයෙකුගේ සන්සුන් කෙසඟ දේහය ඒ පටු බිම් තීරුවෙහි අත්හැර දමා තිබේ. හාමත් වන්නියේ ගහ කොළ යට කාලතුවක්කු වෙඩි පිට වෙඩි වැද සුණු විසුණුව යන සහෝදර පීඩිත මිනිස් කැළතකගේ රුධිර මාංශය ඒ බිම් කඩෙහි දැන් කඳු ගැසෙමින් තිබේ.

හැට එක් වෙනි නිදහස වෙනුවෙන් අවසාන විජයග්‍රහණයේ රණවිරු ජය ගී ගයන්නට ලක ලෑස්ති වන දේශමාමක සේනාවන්ගේ පාපී මිනීමරු ඝෝෂාවන්ගෙන් මා වැන්නන් දුරස් කරන ‛ද්‍රෝහී’ සිතුවිල්ල නිධන්ව ඇත්තේ ඒ මිනී කඳු අතරෙහි ය.



2009 පෙබරවාරි

Print this post

0 comments:

Post a Comment