Sunday, January 25, 2009

‛මධ්‍යස්ථවාදීන්’ කාගේ පැත්තේද?

Print this post


රාවය | 2009 ජනවාරි 25
......................................................................................................................................

ලස්තීන මධ්‍යස්ථවාදීන් සමග ගණුදෙනු කිරීමට තමන් හැමවිටම සූදානම් බව’ ඊශ්‍රායෙල් විදේශ ඇමැතිවරිය ඊයේ පෙරේදා කියා තිබුණා ය. ඒ අනුව ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩගැසුණු සුන් බුන් හා මිනී කඳු තරණය කොට ඊශ්‍රායෙලය හා ‛ගණුදෙනු කිරීමට’ දැන් පලස්තීන මධ්‍යස්ථවාදීන්ට ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. නමුත් ‛මධ්‍යස්ථවාදී’ පලස්තීනුවන් කවුරුන්ද යන්න නිශ්චය කරන නිර්ණායක කවරේදැයි කිසිවෙක් නොදනී. ඊශ්‍රායෙල් - පලස්තීන සබඳතා පිළිබඳ විශේෂඥයෙකැයි සැළකෙන යුදෙව්වෙකු වූ නෝමන් ෆින්කල්ස්ටයින් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙයි. එය මෙසේ ය: ‛‛ඊශ්‍රායෙලයට අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු යන හමාස් සංවිධානයේ ස්ථාවරය ප්‍රතික්‍ෂේප කරන්නෙකි...ඒ අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු  යනු ඊශ්‍රායෙලයට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් පලස්තීනුවෙකි - ඊශ්‍රායෙලයේ විධානයන්ට මුළුමණින්ම අනුගතව කටයුතු කිරීමේ රිසි පලස්තීනුවෙකි.’’
  
මධ්‍යස්ථවාදය ගැන ෆින්කල්ස්ටයින්ගේ අර්ථකථනය පලස්තීනයෙන් ඔබ්බට ද ගැළපේ. නිදහස සහ වහල්භාවය අතර අන්ත දෙකකට ධ්‍රුවීකරණය වූ සමාජයක් තුළ ‛මධ්‍යස්ථවාදය’ හැමවිටම ගැළවුම් මාර්ගයක් තනා දෙන්නේ ආක්‍රමණිකයාට ය. නැතිනම් පීඩකයාට ය. මධ්‍යස්ථවාදයේ හතර මායිම පීඩකයාගේ රුචි අරුචිකම් අනුව තීරණය කෙරෙන්නේ එබැවිනි. සමානත්වය හා යුක්තිගරුකභාවය පිළිබඳ පීඩිතයින්ගේ සාමූහික ඉල්ලීම සංවිධිතව ගොණුකොට පීඩකයාට පහර දෙන්නෙකු වේ නම්, ඒ සතුරා ආන්තීකරණය නොකර කවර හෝ ගැටුමක් දේශපාලනිකව ජයගත නොහැකි ය. එය කළ හැක්කේ ‛මැද’ක් නිර්මාණය කිරීමෙනි. මහමුද් අබ්බාස් මැදින් සිට වූ විට හමාස් සංවිධානය අන්තයක් සේ පෙනේ. වීමල් වීරවංශ මැදින් සිට වූ විට ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ කල්ලියක් සේ හැඟේ. කරුණා අම්මාන් හා ආනන්දසංගරී මැදින් සිට වූ විට කොටි සංවිධානය පමණක් නොව, සම්බන්ධන් හා මනෝ ගනේෂන්ද ‛කොටි’  බවට පෙරළේ. නිදහස සහ සමානත්වය පිළිබඳ සමාජයක් තුළ කැකෑරෙන සාමූහික ආකල්පයේ සුජාත නියෝජනය ‛සතුරාට’ අහිමි කළ හැක්කේ එවැනි ‛මැද’ක් ගොඩනංවා නඩත්තු කිරීමෙනි.


ලංකාවේදී වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම දෙමළ ජාතික දේශපාලනයේ හරිමැදට ආවේ 1976න් පසු කාලයේදී ය. ඒ දක්වා දෙමළ ජාතික දේශපාලනය විසින් පෙරට තල්ලු කරන ලද්දේ පවතින රාජ්‍ය ව්‍යුහය තුළට සමානයින් වශයෙන් ඇතුල් කරගැනීමේ ඉල්ලීමයි. චෙල්වනායගම් සහ අමිර්තලිංගම්ලාගේ පරම්පරාව මුහුණදුන් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ඒ ඉල්ලීමට පෙරළා රාජ්‍යයෙන් ලැබුණු ප්‍රතිචාරයයි. වෙනම රාජ්‍යයක් පිළිබඳ ඉල්ලීම වර්ධනය වූයේ ඒ ඉතිහාස ගර්භාෂයේ ය. වෙනම රාජ්‍යය සඳහා වූ ඉල්ලීම අන්තවාදී එකක් වී නම් එහිම අනික් අන්තයේ වූයේ ඒකීය රාජ්‍ය සඳහා වූ අවධාරණයයි. සිංහලයාට ‛ඊළම් රාජ්‍යය’ අනම්‍ය අන්තයක් වන තරමටම දෙමළාට ඒකීය රාජ්‍යය අනම්‍ය අන්තයක් විය. මක් නිසාද යත් වෙනම රාජ්‍ය ස්වභාවික නොවන තරමටම ඒකීය රාජ්‍යයද ස්වභාවික එකක් නොවූ බැවිනි. වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම පෙරට තල්ලු කිරීමට සන්නද්ධ බලය යොදාගැනීමට දෙමළ තරුණ පරම්පරාවන් යොමුවූයේ ඒකීය රාජ්‍ය පවත්වාගෙන යාම සන්නද්ධ බලයෙන් කිරීමට රාජ්‍යය පෙන් වූ ඕනෑකම හේතුවෙනි. දෙමළ ජනයා රාජ්‍ය බලයේ සමාන හවුල්කරුවන් බවට පත්කිරීමේ යෝජනාව දකුණේ දේශපාලනයේදී යථාර්ථ විරෝධී වන තාක් දුරට, වෙනම රාජ්‍ය සඳහා වූ ඉල්ලීම උතුරේ දේශපාලනයේදී යථාර්ථවාදී එකක් බවට පෙරළේ. ඒකීය රාජ්‍ය සහ බෙදුණු රාජ්‍යයක් අතර ධ්‍රුවීකරණය වූ දේශපාලනය වැල්වැටිතුරෛ ධීවර කුලයකින් නැගී ආ ‛ත්‍රස්තවාදියෙකු’ගේ මනෝ ව්‍යාධියක් නොවන්නේ එබැවිනි.
  
මැදක් අවශ්‍ය වන්නේ මේ ධ්‍රුවීකරණය වසන් කිරීමට ය. වෙනම රාජ්‍යයක් වෙනුවට තෝරාගැනීමට ඕනෑ තරම් විකල්ප ඇති බව එළියට ප්‍රක්‍ෂේපණය කිරීමට ය. මධ්‍යස්ථවාදීන්ට පැත්තක් ඇත්තේ එහෙයිනි. ‛කිලිනොච්චියේ පාලනය රජයේ හමුදා යටතට පත්වීම කිලිනොච්චි ජනයාගේ අමන්දානන්දයට හේතු වී ඇතැයි’ මධ්‍යස්ථවාදී ආනන්දසංගරී පවසන විට ඒ මධ්‍යස්ථවාදයේ පැත්ත හෙළිදරව්වන්නේ ඊට අනුකූලව ය. ‛උතුරේ නිවාස යෝජනා ක්‍රම මහින්දපුරම් ලෙස නම් කළ යුතු යැයි’ මධ්‍යස්ථවාදී ඩග්ලස් දේවානන්ද යෝජනා කරන විට ඒ මධ්‍යස්ථවාදයේ පැත්ත හෙළිදරව් වන්නේද ඊට අනුකූලව ය.
  
නමුත් ලංකාවේ මේ මධ්‍යස්ථවාදයේ ගැඹුරු පරහක් තිබේ. ඊට හේතුව පුද්ගල ප්‍රකාශකයින් ඉක්මවා ගිය බලවේගයන් මගින් මේ මධ්‍යස්ථවාදය නියෝජනය නොවීමයි. වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම යථාර්ථ විරෝධී යැයි කල්පනා කළ දෙමළ ජන කොටස් පවා ඊට ප්‍රතිවිරුද්ධ යථාර්ථවාදී විකල්පය වන්නේ ඒකීය රාජ්‍යය යැයි දැනුදු පිළි නොගනී. කොළඹ ආණ්ඩුවේ පරිවාර ආවතේවකම් අභිරුචියෙන් පවරාගත් වීරසිංහම් ආනන්දසංගරීගේ පටන් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් දක්වා සියල්ලන්ට ‛රාජ්‍ය බලය විමධ්‍යගතකිරීමක්’ ගැන යටහත් කෙඳිරුම් නගන්නට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි. කොතරම් වෑයම් කළද මුලතිවු මහවනයේදී කොටුකර ගත නොහැකි වීමට නියමිතව ඇත්තේ අඩ සියවසකින් පසුත් දෙමළ ජාතික දේශපාලනය තුළ තවමත් පරාජය නොවුණු ඒ සාමූහික සම්මුතියයි. අවිගත් දෙමළ තරුණයින්ගේ ඉරණම අවසාන වශයෙන් තීරණය කරනුයේ ඒ සම්මුතිය විසිනි. ලාංකීය රාජ්‍යය ගිළීගත් නොවිසඳුණු උභතෝකෝටිකය මෙයයි: එක්කෝ වෙනම රාජ්‍යය පිළිගත යුතු ය. නැතහොත් ඒකීය රාජ්‍ය අත්හළ යුතු ය. අවුරුද්දකට රුපියල් බිලියන 200 බැගින් වැයකොට පවා ඒ අන්තයන් අතර ‛මැද’ක් සළකුණු කිරීමට නොහැකි වනු ඇත.
  
එහෙත් ලංකාවේ ‛ජාතික නිදහසට’ තවත් ඇත්තේ කිලෝ මීටර් විස්සකට නොවැඩි දුරකැයි දැන් දකුණු ලංකාවේ බහුතරයක්  කල්පනා කරති. ඒ අනුව ඉන් අනතුරුව එළඹීමට නියමිතව ඇත්තේ වැඩ නිම කළ බොලිවුඩ් සිනමා පටයක අවසාන ජවනිකාවකි. ‛ඒ - 9’ පාර ඔස්සේ සිංහ කොඩි අතැතිව දකුණට දිව එන දෙමළ ජනයා ඒ පාර ඔස්සේම උතුරට දිව යන සිංහල ජනයා කොහේ හෝ අතරමැද තැනකදී අභිමුඛව නිරාමිස ප්‍රීතියෙන් බදා වැළඳ සිප ගන්නා ඒ උද්වේගකර දසුන සියල්ලෝ එක්ව ජාතික ගීය වාදනයෙන් නිමාවනු ඇතැයි ඒ බොහෝදෙනා විශ්වාස කරති.

නමුත් ඒ නිමාවේ උත්කර්ෂවත් ආනන්දය කෙළවර කිරීමට නිදහස ගැන අපේක්‍ෂා භංග වූ එක් පීඩිත මනුෂ්‍යයෙකු පවා සෑහේ.



2009 ජනවාරි

Print this post

0 comments:

Post a Comment