Sunday, January 18, 2009

ලසන්ත ඝාතනය සහ යථාර්ථය පළු කිරීම

Print this post


රාවය | 2009 ජනවාරි 18
......................................................................................................................................

කිලිනොච්චි විජයග්‍රහණය සමරා ජනවාරි 02 වෙනිදා අගනුවර ජය ඝෝෂා වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ජනවාරි 04 වෙනිදා ‛සන්ඩේ ලීඩර්’ පත්‍රයේ කතු වැකිය ‛ජාතියක අවසන් ඔල්වරසන’ (A Nation's Last Hurrah) වෙනුවෙන් වෙන්ව තිබිණ. එහි මෙසේ සඳහන් විය:
  
‛‛යුද්ධය ජයගැනීමෙන්’ පසු නැගෙනහිර සිදුවූවාක් මෙන්ම උතුරද වාඩිලා ගත් භූමියක් බවට පෙරළනු ඇතැයි යන්න පිළිගත් සත්‍යයකි. කිව්වා නාහන දෙමළුනට මොනයම් හෝ විකාර අදහසක් පහළ වීම වළක්වනු වස්, ඒ භූමි භාගය වසා පැතිර යන සේ හමුදා කඳවුරු වැසි වසිනු ඇති අතර සිංහ ධජය වන්නි සුළඟෙහි කඩිසරව ළෙලදීමට නියමිත ය....සියල්ල අවසානයේ, ලෝක ආහාර වැඩසටහනින් බෙදා දෙන දිවා ආහාරය බුදිනු වස් ඔවුනොවුන්ට අයත් සරණාගත කඳවුරු ඉදිරිපිට යටත් කළවුන්ගේ විනීත පෝළිම් සැකසෙනු ඇත.’’


ඒ ජනවාරි 04 වෙනි ඉරිදාවේ කොළඹ කේන්‍ද්‍රීය සති අන්ත සිංහල සහ ඉංග්‍රීසි පත්තර බුරුත්තෙහි කතුවැකි වසාගත් වසංගත රණකාමයෙන් වෙනස් වූ පිළිවෙත් ගරුක හඬක් වී නම් එය නැඟුණේ ඉහතින් කී කතු වැකියෙනි. දකුණු ලංකාව වසා පැතිර යන අධිපතිවාදී සැණකෙළි උද්වේගය දූර දර්ශී මිනිස් විචාර බුද්ධියේ පොකුරු වෙඩි වර්ෂාවකින් කීතු කොට දැමූ ඒ වදන් ලියන්නට දුර්ලභ ආත්ම ශක්තියක් ඉතිරිව තිබූ සිංහලයාද ජනවාරි 08 වෙනිදා මහ දවාලේ අත්තිඩිය බේකරිය හන්දියේදී වටකොට වෙඩි තබා මරා දැමිණ. ජාත්‍යෝන්මාදයේ වියරු සේනාවන්ට පවරා දුන් අගනුවර වීදි හා මං මාවත් පුරා දැල් වූ ජයග්‍රහණයේ රතිඤ්ඤා වෙඩි වැල් සුන් බුන් උඩින් ලසන්ත වික්‍රමතුංගගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර 12 වෙනිදා සන්ධ්‍යාවේ බොරැල්ල කනත්ත කරා නික්මිණ.
  
ලසන්තගේ මරණයෙන් පසු එළඹි දින කිහිපයේ කතුවැකි බොහෝමයක් වෙන්ව තිබුණේ ඔහුගේ මරණය වෙනුවෙනි. ‛උතුරේ සාර්ථක යුද ක්‍රියාන්විතයන් හරහා වැදගත් ජයග්‍රහණ අත්පත් කොට ගනිමින් ඇති මොහොතක ලසන්ත වික්‍රමතුංග වැන්නෙකු ඝාතනයට ලක්වීම ආණ්ඩුවටත්, ආරක්‍ෂක අංශවලටත් අවාසි සහගත කැළැලක් බව’ ඒ බොහෝ දෙනා ලියූහ. ලසන්තගේ මරණය විසින් තර්ජන එල්ල කොට ඇත්තේ නිදහස් ප්‍රකාශනය සඳහා ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතියට වඩා, උතුරේ සාර්ථක යුද ක්‍රියාන්විතයන්ට බව එමගින් හඟවා තිබිණ. ඒ අනුව දකුණේ ජනමාධ්‍ය මගින් ප්‍රකාශිත යථාර්ථය මෙසේ සමීකරණය කරගත හැකිය: යුද්ධය හොඳ ය. ලසන්ත ඝාතනය නරක ය. පළමුව කී හොඳ යුද්ධය දෙවනුව කී නරක ඝාතනයට සම්බන්ධයක් නැත. නමුත් දෙවනුව කී නරක ඝාතනය, පළමුව කී හොඳ යුද්ධයට අවාසිදායක ලෙස බලපාන්නට ඉඩ ඇති හෙයින් වඩා හොඳ යුද්ධයක් වෙනුවෙන් ලසන්තට ජීවත්වන්නට ඉඩ දිය යුතුව තිබිණ.
  
ඒ අනුව ජීවත්වීමේ පහසුව පිණිස දකුණේදී දැන් යථාර්ථය  දෙපළු කොටගෙන තිබේ. ඒ උතුර සහ දකුණ වශයෙනි. නැතහොත් සිංහල සහ අසිංහල වශයෙනි. ඒවා එකිනෙකින් දුරස්ව අසම්බන්ධිත හුදකලා දූපත් මෙන් සැළකේ. උතුරේ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදී එකක් සේ සැළකූ විට දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය යුදවාදයට යටවන බවක් නොහැඟේ. ඒ නිසා හොඳ යුද්ධය සහ නරක ඝාතන යනු දැන් තනි යථාර්ථයක් නොවේ, දෙපළු කළ යථාර්ථයකි. ඒ පළුකොටගත් යථාර්ථය වැඩිදුරටත් මෙසේ ය: දකුණේදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අවුරා දමයි. ප්‍රකාශන නිදහස යටපත් කරයි. විරුද්ධවාදීන් බිය ගන්වයි. මැතිවරණ දූෂණයේ යෙදෙයි. කම්කරු සටන් සහ ශිෂ්‍ය විරෝධතා මැඩ පවත්වයි. නාස්තිය සහ දූෂණය ආරක්‍ෂා කරයි. ජීවන බර ලිහිල් නොකරයි. නමුත් උතුරේදී ඒ ආණ්ඩුවම ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙයි. ජනදුක නිවාලනු වස් වෙහෙසෙයි. සාවද්‍ය මිනිස් ඝාතන නොකරයි. පිරිසිදු මැතිවරණයන්ට කැප වේ. විරුද්ධ මත ඉවසයි. දූෂණයෙන් තොර සංවර්ධන ව්‍යාපෘති ගෙන යයි. ඒ අනුව ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ දුක් ගැනවිල්ල දකුණේ සිංහලයාගේ අයිතියක් මිස උතුරේ දෙමළාගේ අයිතියක් සේ නො සැළකේ. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවේ බයිනෙත්තු බලයෙන් ස්ථාපිත කළ හැකි යැයි අදහන දකුණේ ප්‍රජාතන්ත්‍රවාදීහු දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එබැවිනි.
  
යුද්ධය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය නිශේධනාත්මක එකක් සේ තේරුම් ගත හැකි වන්නේ උතුරේ සහ දකුණේ යථාර්ථය තනි සමස්තයක් සේ සැළකූ විට ය. සවිමත් කෙරෙන රාජ්‍ය මර්දන බලය යුක්ති යුක්ත කිරීමේ පදනම සපයන්නේ යුද්ධයෙනි. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමන්නේද ඒ මර්දන බලයෙනි. ‛80 දශකයේදී දහස් සංඛ්‍යාත ජනයා දකුණේ වධකාගාර තුළ ලේ හෙළා පසක් කොටගත්තේ ඒ ඇත්තයි. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවේ අනික් කෙළවර ගැටගැසී ඇත්තේ සිංහල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවට බව දැන් යළිත් අමතකව ගිය ඉතිහාස පාඩමකි. ලසන්ත ඝාතනය නරක යැයි සළකන්නවුන් යුද්ධය හොඳ යැයි සළකන්නේ එබැවිනි.
  
ලසන්ත ඝාතනය කෙරෙන්නේ උතුරේ යුද බිමේදී නොවේ. නමුත් ඊට අවශ්‍ය යන්ත්‍රයත්, එය සාධාරණීකරණය කෙරෙන තර්කයත් හදාවඩා ගැණුනේ ඒ යුද බිමෙනි. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන හෝ අකුළා දමන ඕනෑම ක්‍රියාමාර්ගයක පැවැත්ම වලංගු කරන තර්ක සියල්ලම දැන් නිපදවෙන්නේද ඒ යුද බිමෙනි. ලසන්ත එය දැන සිටියේය. ජනවාරි 04 වෙනිදා සිය කතු වැකියෙහි ඔහු ලීවේ ඒ දැන සිටි ඇත්තයි. ඉන් සිව් දිනක් ඇතුළත ඔහු මහමඟ මරා දැමුණේ ඒ ඇත්තට හිලව් වශයෙනි. පරම්පරාවක්ම කැප කොට නූගත් ඒ පාඩම උගෙනීමට අවශ්‍ය නම් දැන් තවත් වාරයක් එළඹ තිබේ. ඒ ලසන්තගේ ජීවිතයෙනි.

ඇත්ත මෙයයි: ලසන්ත ඝාතනය ආණ්ඩුවේ සාර්ථක යුද පිළිවෙතට කැළලක් නොවේ. එහිම තර්කානුකූල ඵලයකි.



2009 ජනවාරි

Print this post

0 comments:

Post a Comment