Sunday, January 4, 2009

‛සාමාන්‍ය තත්ත්වය’ ගැන ‛ප්‍රචණ්ඩ’ කතාවක්

Print this post


රාවය | 2009 ජනවාරි 04
......................................................................................................................................


ස්ලෝවේනියානු චින්තක ස්ලාවෝයි ජිජැක් ගැන මේ සටහන්වල මීට පෙරද ලියා තිබේ. නමුත් යළිත් ලියන්නට හේතුවක් ඊයේ පෙරේදා මතු විණ. ඒ දෙසැම්බර් 22 වෙනිදා ගාසා තීරය ගිගුම් දුන් ඊශ්‍රායෙල් ජෙට් ප්‍රහාරයන් හේතුවෙනි. පළමුව ජිජැක් ගැන ලියා දෙවනුව ප්‍රහාරය ගැන ලියමි.
  
ඉකුත් සැප්තැම්බරයේ ජිජැක්ගේ පොතක් පළවිණ. ඒ ‛ප්‍රචණ්ඩත්වය’ (Violence)  මැයෙනි. ජිජැක්ට අනුව ප්‍රචණ්ඩත්වය තුන් වැදෑරුම් වේ. ඉන් පළමුවැන්න, මනෝමූල ප්‍රචණ්ඩත්වයයි (subjective violence). ඒවා හටගන්නේ සමාජ වියමනෙහි මතුපිට ය. ඕනෑම කෙනෙකුගේ මනසෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් පහසුවෙන් පිළිගැනෙන පිපිරීම්, පහරදීම්, මිනිස් ඝාතන ඇතුළු බොහෝ දෑ ඒ ගණයට වැටේ. ඒවාට අදාළව වැරදිකාරී කර්තෘකයෙකු නම් කිරීම පහසු ය. පොදු පිළිගැනීමට අනුව ඒවා විසින් බාධා කරනුයේ සමාජය තුළ රජයන ‛ස්වභාවික සාමකාමී සංහිඳියාවට’ ය. මේ අනුව ‛ප්‍රචණ්ඩ ක්‍රියා’ විසින් බාධා කරන තෙක් ඕනෑම සමාජයක් ස්වභාවිකවම ප්‍රචණ්ඩත්වයෙන් තොර ‛සාමකාමී - සංහිඳියාසහගත’ තත්ත්වයක් භුක්ති විඳිතැයි බොහෝදෙනා විශ්වාස කරති. නමුත් ස්වභාවිකව සමාජය සතුයැයි සිතන මේ සාමකාමී සංහිඳියාව ජිජැක්ට අනුව බොරුවකි. ඇත්තෙන්ම සමාජ ක්‍රමය පදනම්ව ඇත්තේම ඒ තුළ ගැබ්ව පවතින ප්‍රචණ්ඩත්වය මත ය. විෂයමූල ප්‍රචණ්ඩත්වය (objective violence) ලෙස ජිජැක් හඳුන්වන්නේ මෙයයි. ඒ ප්‍රචණ්ඩත්වය පවතින්නේ සමාජ වියමනට යටිනි. එහෙයින්ම ස්වභාවික සේ පිළිගැනේ. සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය (sistemic violence) සහ සංකේතීය ප්‍රචණ්ඩත්වය (symbolic violence)  වශයෙන් ජිජැක් වර්ගීකරණය කරන්නේ එයයි. සරළව හා සංක්‍ෂිප්ත කොට කිවතොත් ඒවා මෙසේ ය:


අපගේ ආර්ථික හා දේශපාලන පද්ධතීන් මගින් ජනිත කරන විනාශකාරී ප්‍රතිවිපාකයන් ‛සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය’ සේ සැළකේ. එමගින් සුවිශාල ජන කොට්ඨාශයන්ගේ ජීවිත අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයකට ගොදුරු කොට තබයි. ඒ අනුව දුගීභාවය ප්‍රචණ්ඩත්වයකි. විරැකියාව ප්‍රචණඩත්වයකි. අසමානත්වය ප්‍රචණ්ඩත්වයකි. වෙනස් කොට සැළකීම ප්‍රචණ්ඩත්වයකි. නමුත් ඒ ප්‍රචණ්ඩත්වය සංස්ථාපිත එකක්  හෙයින් ‛සාමාන්‍ය තත්ත්වයක්’ සේ පිළිගැනේ. ‛සංකේතීය ප්‍රචණ්ඩත්වය’ යනු මෙකී සංස්ථාපිත ප්‍රචණ්ඩත්වයෙහිම කොටසකි. නමුත් වඩාත් නිශ්චිත කොට කිවතොත් එය අදාළවන්නේ මෙම සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය අභ්‍යාස කිරීමට එදිනෙදා යොදා ගැනෙන භාෂාවට ය. භාෂාව මගින් පවතින පීඩක සමාජ සම්බන්ධතාවන්ද, ඒවා පදනම් වූ ප්‍රචණ්ඩත්වයද ශක්තිමත් කොට ප්‍රතිනිෂ්පාදනය කරයි. ත්‍රස්තවාදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් ද, භූමිපුත්‍රයින් සහ කල්ලතෝනීන්ද, දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන්ද නම් කරන භාෂාව පදනම් වන්නේ ඉහතින් කී සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය විසින් සපයන නිර්ණායක හා පරාමිතීන් මත ය. ඒ අනුව භාෂාව සංස්ථාපිත ප්‍රචණ්ඩත්වයේම කොටසක්ව ඒ ප්‍රචණ්ඩත්වය පවත්වා ගැනීමට සහභාගී වේ.
  
ඕනෑම කෙනෙකු විසින් ‛ප්‍රචණ්ඩ ක්‍රියා’ වශයෙන් පහසුවෙන් නම් කරන මුලින් කී ‛මනෝමූල ප්‍රචණ්ඩත්වය’ පැන නගින්නේ දෙවනුව කී විෂයමූල ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙනි. ඒ අනුව ‛ත්‍රස්තවාදියා’ විසින් එළිපිට ප්‍රකාශ කරනු ලබන ප්‍රචණ්ඩත්වය වනාහී ‛ප්‍රජාතන්ත්‍රවාදියා’ගේ සැඟවුණු ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාරයකි.
  
විසි දෙවෙනිදා එක් පැයක් ඇතුළතදී පලස්තීන වැසියන් 210 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් කරමින් ගාසා තීරයට එල්ල වූ පළමු ප්‍රහාර වටයෙන් පසු විදේශ ඇමතිවරිය සහ ආරක්‍ෂක ඇමතිවරයා පෙරටු කොටගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට වාඩි වූ ඊශ්‍රායෙල් අගමැති එහුඩ් ඔල්මට්, ප්‍රහාරයන්ගේ වගකීම පිළිබඳ චෝදනාව ආපසු කරකවා පලස්තීනයටම ඉන් පහර දුන්නේ ය. ඇතැම් විට ඕනෑ තරම් අසා හුරු පුරුදු පිටපතක් ඔහු කියවූවා වැනි ය. ලොවපුරා විකාශය වූ එහි දෙබස් මෙබඳු ය: ‛සටන් විරාම සමයේ හමාස් සංවිධානය රොකට් ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායෙල් ජනාවාසවලට එල්ල කිරීමෙන් සටන් විරාමය පිට පිටම උල්ලංඝණය කළේය. ඊශ්‍රායෙලයේ ඉවසීමට සීමාවක් තිබේ. ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ නිශ්චිත ත්‍රස්ත ඉලක්කවලට විනා පලස්තීන සිවිල් වැසියන්ට නොවේ. ගාසා තීරයේ සිවිල් වැසියන් ඊශ්‍රායෙලයේ මිතුරන් ය. ත්‍රස්තවාදීන් වනාහී ඊශ්‍රායෙලයේ මෙන්ම පලස්තීන ජනයාගේද සතුරන් ය. එබැවින් මෙම ප්‍රහාර පලස්තීන ජනයා ත්‍රස්තවාදී හමාස් සංවිධානයේ ග්‍රහණයෙන් ගළවාගැනීමේද අරමුණ සහිත එකකි.’
  
ඊශ්‍රායෙල් ආණ්ඩුවේ නිල ප්‍රකාශයට හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙකු බීබීසී රූපවාහිනිය ඔස්සේ පිළිතුරු දුන්නේය: ‛‛සටන් විරාමය පැවැති සම්පූර්ණ කාලය තුළම ඊශ්‍රායෙල් වාඩි ලා ගැනීම්වල වෙනසක් සිදු නොවිණ. ප්‍රචණ්ඩ ක්‍රියා හා සටන් විරාමය උල්ලංඝණය කිරීම් වශයෙන් සළකන්නේ රොකට් ප්‍රහාර පමණද? සටන් විරාමය තුළ පවා නොවෙනස්ව පැවති ඊශ්‍රායෙල් වාඩිලා ගැනීම් ඒ ගණයට නොවැටෙන්නේ ඇයි?’’
  
ඒ ප්‍රශ්නය වැදගත් එකකි. ‛ඔබේ රොකට් ප්‍රහාර ප්‍රචණ්ඩ ක්‍රියාවකි’යි ඊශ්‍රායෙලය කියයි. ‛අපි ජීවත්වන භූමියේ ඔබ වාඩිලා සිටීම ප්‍රචණ්ඩත්වයක් නොවේදැයි’ හමාස් සංවිධානය අසයි. ජිජැක්ගේ අදාළත්වය පටන්ගන්නේ එතැනෙනි. ඊශ්‍රායෙල් ආණ්ඩුව හා හමාස් සංවිධානය අතර 22 වෙනිදා හුවමාරු වන මේ දෙබස ජිජැක් සිය කෘතියේ කල්තියා හරියටම ලියා තිබේ. ඒ දෙබස් අඩුම ගණනේ හතළිස් අවුරුද්දකට වැඩි කාලයක් ලංකාවේ උතුරේදී ද - දකුණේදී ද ඕනෑ තරම් වහරනු ලැබූ ඒවා ය. නිදසුන් එමට ය:
  
විරැකියාව ප්‍රචණ්ඩත්වයකි. විරැකියාවෙන් පෙළෙන තරුණ ජනයා අගනුවර වීදි බැස පෙළපාලි යති. ‛ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු කැරළිකාරී පිරිස් කැරළි මර්දන පොලිසිය යොදවා මැඩ පවත්වා සාමාන්‍ය තත්ත්වය ඇති කළ බව’ ආණ්ඩුවේ මාධ්‍ය කියයි. ඒ අනුව විරැකියාව සාමාන්‍ය තත්ත්වයකි. ඊට එරෙහිව වීදි බැසීම ප්‍රචණ්ඩත්වයකි.
  
වෙනස් ලෙස සැළකීම ප්‍රචණ්ඩත්වයකි. එහෙයින් මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගළවන්නට බල කරන්නන්ට එරෙහි මුස්ලිම් ජනයා මරදානේ වීදි අවුරති. එසේ රැස් වූ පිරිස් පංචිකාවත්තේ කඩ කිහිපයකට පහර දී ‛ප්‍රචණ්ඩ ක්‍රියාවල’ යෙදුණ බව සිංහල මාධ්‍ය කියයි. ඒ අනුව කඩවලට පහරදීම ‛ප්‍රචණ්ඩත්වයකි.’ මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගළවන්නට බල කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
  
දුගීභාවයද, වාර්ගික අසමානත්වයද ප්‍රචණ්ඩත්වයකි. එයින් පීඩිත තරුණ ජනයා දකුණේදී ද - උතුරේදී ද අවි ගෙන නැගෙති. ‛අවි ගැනීම ප්‍රචණ්ඩත්වයකි’යි ආණ්ඩු කියයි. ‛නිවහල් මිනිසුන් සේ ජීවත්වන්නට ඇති අයිතිය අහිමිකිරීම ප්‍රචණ්ඩත්වයක් නොවේදැයි’ තරුණයෝ අසති. දකුණේ ‛ත්‍රස්තවාදීන්’ මහමඟ හළුකොට, උතුරේ ත්‍රස්තවාදීන්  ගුවනින් සුන් කොට දමන ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම් ඊට පිළිතුරු වශයෙනි.

ඉන් අනතුරුව ඇතිවන්නේ ‛සාමකාමී සාමාන්‍ය තත්ත්වය’ බව ප්‍රජාතන්ත්‍රවාදීහු කියති. නමුත් එසේ කීමම ප්‍රචණ්ඩත්වයකැයි ඔවුන් නොදනී.



2009 ජනවාරි

Print this post

0 comments:

Post a Comment