Sunday, January 25, 2009
‛මධ්‍යස්ථවාදීන්’ කාගේ පැත්තේද?
රාවය | 2009 ජනවාරි 25
......................................................................................................................................
පලස්තීන මධ්‍යස්ථවාදීන් සමග ගණුදෙනු කිරීමට තමන් හැමවිටම සූදානම් බව’ ඊශ්‍රායෙල් විදේශ ඇමැතිවරිය ඊයේ පෙරේදා කියා තිබුණා ය. ඒ අනුව ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩගැසුණු සුන් බුන් හා මිනී කඳු තරණය කොට ඊශ්‍රායෙලය හා ‛ගණුදෙනු කිරීමට’ දැන් පලස්තීන මධ්‍යස්ථවාදීන්ට ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. නමුත් ‛මධ්‍යස්ථවාදී’ පලස්තීනුවන් කවුරුන්ද යන්න නිශ්චය කරන නිර්ණායක කවරේදැයි කිසිවෙක් නොදනී. ඊශ්‍රායෙල් - පලස්තීන සබඳතා පිළිබඳ විශේෂඥයෙකැයි සැළකෙන යුදෙව්වෙකු වූ නෝමන් ෆින්කල්ස්ටයින් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙයි. එය මෙසේ ය: ‛‛ඊශ්‍රායෙලයට අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු යන හමාස් සංවිධානයේ ස්ථාවරය ප්‍රතික්‍ෂේප කරන්නෙකි...ඒ අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු යනු ඊශ්‍රායෙලයට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් පලස්තීනුවෙකි - ඊශ්‍රායෙලයේ විධානයන්ට මුළුමණින්ම අනුගතව කටයුතු කිරීමේ රිසි පලස්තීනුවෙකි.’’
මධ්‍යස්ථවාදය ගැන ෆින්කල්ස්ටයින්ගේ අර්ථකථනය පලස්තීනයෙන් ඔබ්බට ද ගැළපේ. නිදහස සහ වහල්භාවය අතර අන්ත දෙකකට ධ්‍රුවීකරණය වූ සමාජයක් තුළ ‛මධ්‍යස්ථවාදය’ හැමවිටම ගැළවුම් මාර්ගයක් තනා දෙන්නේ ආක්‍රමණිකයාට ය. නැතිනම් පීඩකයාට ය. මධ්‍යස්ථවාදයේ හතර මායිම පීඩකයාගේ රුචි අරුචිකම් අනුව තීරණය කෙරෙන්නේ එබැවිනි. සමානත්වය හා යුක්තිගරුකභාවය පිළිබඳ පීඩිතයින්ගේ සාමූහික ඉල්ලීම සංවිධිතව ගොණුකොට පීඩකයාට පහර දෙන්නෙකු වේ නම්, ඒ සතුරා ආන්තීකරණය නොකර කවර හෝ ගැටුමක් දේශපාලනිකව ජයගත නොහැකි ය. එය කළ හැක්කේ ‛මැද’ක් නිර්මාණය කිරීමෙනි. මහමුද් අබ්බාස් මැදින් සිට වූ විට හමාස් සංවිධානය අන්තයක් සේ පෙනේ. වීමල් වීරවංශ මැදින් සිට වූ විට ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ කල්ලියක් සේ හැඟේ. කරුණා අම්මාන් හා ආනන්දසංගරී මැදින් සිට වූ විට කොටි සංවිධානය පමණක් නොව, සම්බන්ධන් හා මනෝ ගනේෂන්ද ‛කොටි’ බවට පෙරළේ. නිදහස සහ සමානත්වය පිළිබඳ සමාජයක් තුළ කැකෑරෙන සාමූහික ආකල්පයේ සුජාත නියෝජනය ‛සතුරාට’ අහිමි කළ හැක්කේ එවැනි ‛මැද’ක් ගොඩනංවා නඩත්තු කිරීමෙනි.
Posted by
Admin
at
6:25 AM
0
comments
Labels: රාවය - සමකය 2009
Sunday, January 18, 2009
ලසන්ත ඝාතනය සහ යථාර්ථය පළු කිරීම
රාවය | 2009 ජනවාරි 18
......................................................................................................................................
කිලිනොච්චි විජයග්‍රහණය සමරා ජනවාරි 02 වෙනිදා අගනුවර ජය ඝෝෂා වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ජනවාරි 04 වෙනිදා ‛සන්ඩේ ලීඩර්’ පත්‍රයේ කතු වැකිය ‛ජාතියක අවසන් ඔල්වරසන’ (A Nation's Last Hurrah) වෙනුවෙන් වෙන්ව තිබිණ. එහි මෙසේ සඳහන් විය:
‛‛යුද්ධය ජයගැනීමෙන්’ පසු නැගෙනහිර සිදුවූවාක් මෙන්ම උතුරද වාඩිලා ගත් භූමියක් බවට පෙරළනු ඇතැයි යන්න පිළිගත් සත්‍යයකි. කිව්වා නාහන දෙමළුනට මොනයම් හෝ විකාර අදහසක් පහළ වීම වළක්වනු වස්, ඒ භූමි භාගය වසා පැතිර යන සේ හමුදා කඳවුරු වැසි වසිනු ඇති අතර සිංහ ධජය වන්නි සුළඟෙහි කඩිසරව ළෙලදීමට නියමිත ය....සියල්ල අවසානයේ, ලෝක ආහාර වැඩසටහනින් බෙදා දෙන දිවා ආහාරය බුදිනු වස් ඔවුනොවුන්ට අයත් සරණාගත කඳවුරු ඉදිරිපිට යටත් කළවුන්ගේ විනීත පෝළිම් සැකසෙනු ඇත.’’
Posted by
Admin
at
6:18 AM
0
comments
Labels: රාවය - සමකය 2009
Sunday, January 4, 2009
‛සාමාන්‍ය තත්ත්වය’ ගැන ‛ප්‍රචණ්ඩ’ කතාවක්
රාවය | 2009 ජනවාරි 04
......................................................................................................................................
ස්ලෝවේනියානු චින්තක ස්ලාවෝයි ජිජැක් ගැන මේ සටහන්වල මීට පෙරද ලියා තිබේ. නමුත් යළිත් ලියන්නට හේතුවක් ඊයේ පෙරේදා මතු විණ. ඒ දෙසැම්බර් 22 වෙනිදා ගාසා තීරය ගිගුම් දුන් ඊශ්‍රායෙල් ජෙට් ප්‍රහාරයන් හේතුවෙනි. පළමුව ජිජැක් ගැන ලියා දෙවනුව ප්‍රහාරය ගැන ලියමි.
ඉකුත් සැප්තැම්බරයේ ජිජැක්ගේ පොතක් පළවිණ. ඒ ‛ප්‍රචණ්ඩත්වය’ (Violence) මැයෙනි. ජිජැක්ට අනුව ප්‍රචණ්ඩත්වය තුන් වැදෑරුම් වේ. ඉන් පළමුවැන්න, මනෝමූල ප්‍රචණ්ඩත්වයයි (subjective violence). ඒවා හටගන්නේ සමාජ වියමනෙහි මතුපිට ය. ඕනෑම කෙනෙකුගේ මනසෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් පහසුවෙන් පිළිගැනෙන පිපිරීම්, පහරදීම්, මිනිස් ඝාතන ඇතුළු බොහෝ දෑ ඒ ගණයට වැටේ. ඒවාට අදාළව වැරදිකාරී කර්තෘකයෙකු නම් කිරීම පහසු ය. පොදු පිළිගැනීමට අනුව ඒවා විසින් බාධා කරනුයේ සමාජය තුළ රජයන ‛ස්වභාවික සාමකාමී සංහිඳියාවට’ ය. මේ අනුව ‛ප්‍රචණ්ඩ ක්‍රියා’ විසින් බාධා කරන තෙක් ඕනෑම සමාජයක් ස්වභාවිකවම ප්‍රචණ්ඩත්වයෙන් තොර ‛සාමකාමී - සංහිඳියාසහගත’ තත්ත්වයක් භුක්ති විඳිතැයි බොහෝදෙනා විශ්වාස කරති. නමුත් ස්වභාවිකව සමාජය සතුයැයි සිතන මේ සාමකාමී සංහිඳියාව ජිජැක්ට අනුව බොරුවකි. ඇත්තෙන්ම සමාජ ක්‍රමය පදනම්ව ඇත්තේම ඒ තුළ ගැබ්ව පවතින ප්‍රචණ්ඩත්වය මත ය. විෂයමූල ප්‍රචණ්ඩත්වය (objective violence) ලෙස ජිජැක් හඳුන්වන්නේ මෙයයි. ඒ ප්‍රචණ්ඩත්වය පවතින්නේ සමාජ වියමනට යටිනි. එහෙයින්ම ස්වභාවික සේ පිළිගැනේ. සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය (sistemic violence) සහ සංකේතීය ප්‍රචණ්ඩත්වය (symbolic violence) වශයෙන් ජිජැක් වර්ගීකරණය කරන්නේ එයයි. සරළව හා සංක්‍ෂිප්ත කොට කිවතොත් ඒවා මෙසේ ය:
Posted by
Admin
at
6:09 AM
0
comments
Labels: රාවය - සමකය 2009
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011