Sunday, April 19, 2009

මළ මිනිසුන් ගැන නොමළ ඇත්තක්


රාවය | 2009 අප්‍රේල් 19
......................................................................................................................................
 
නතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජික නන්දන බාලගේ අප්‍රේල් 05 වෙනිදා රාත්‍රියේ ගම්පහ කළගෙඩිහේනේදී වෙඩි තබා ඝාතනය කෙරිණ. ගම්පහ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ට්‍රොලියක් මත උඩුකුරුව වැතිර සිටි තුරුණු විය පියමන් කළ මිනිසෙකුගේ ලේ වැකි අඩවන් ඇස් කෙවෙණි යට දහතුන් අවුරුද්දක දුෂ්කර පූර්ණ කාලීන දේශපාලන දිවියේ නොතිත් විඩාව ඇතැම් විට සැඟව තිබුණා විය හැක. සැහැසි රාජ්‍ය මර්දනයේ කටු සැමිටියෙන් තලා දැමුණු අප්‍රේල් විරුවන් තිස් අට වෙනි වතාවටත් සැමරූ ජවිපෙ සාමාජික සෙනඟ අප්‍රේල් 08 වෙනිදා යළිත් ලිප්ටන් වටරවුම අවුරා නන්දන බාලගේ ඝාතනයට විරෝධය පෑහ. ඝාතනයේ වගකීම පිළිබඳ චෝදනාවෙන් පහර කෑ ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක, ‛කැබ් රිය ජානිපෙ වුවද, වෙඩික්කරු ජවිපෙ’ බවට ඒත්තු ගැන්වීමට ඉමහත් වෙහෙසක් ගෙන තිබිණ. ඔප්පු කරගන්නට හැකි වෙතොත්, එයත් බූකර් සම්මානයෙන් පිදිය යුතු තරමේ රමණීය ප්‍රබන්ධයක් වනවාට සැක නැත.
 
09 වෙනිදා මහනුවරට රැස් වූ අවමඟුල් සෙනඟ ඇමතූ ජවිපෙ නායකයා මෙසේ කීවේය: ‛‛මේ වෙලාවේදී ආරක්‍ෂක හමුදා හා පොලිසිය කොටි පරාජය කරමින් ඉන්නවා. මේ ඝාතනය හරහා පෙනෙන්නේ එසේ පරාජය කරමින් තිබෙන ත්‍රස්තවාදය වෙනුවට වෙනත් ත්‍රස්තවාදයක් ස්ථාපිත කිරීමද යන ප්‍රශ්නය අපට නැඟෙනවා. මේ යන්නේ කොතැනටද? මේ ගමන කෙළවර වන්නේ කෲර ආඥාදායකත්වයකින්ද?...මේ ඝාතනය කළේ ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ අවියකින් නිසා ඝාතකයින් නීතිය හමුවට පමුණුවන්න ආණ්ඩුවට ලොකු වගකීමක් තිබෙනවා.’’


Sunday, April 5, 2009

දකුණ පසුපස එන පාරා වළල්ල


රාවය | 2009 අප්‍රේල් 05
......................................................................................................................................

යුද්ධය ජය පහට කරගෙන යන බැව් සැළ ය. එය අසාමාන්‍ය ප්‍රවේසමකින් සිදු කෙරෙන හෙයින්දෝ එහි ගුණ දකින්නන් දවසින් දවස වැඩි වේ.
  
මේ යුද්ධයෙන් සිවිල් වැසියෝ මිය නොයති. සොල්දාදුවන්ද මිය යන්නේ ‛ත්‍රස්ත’ මරණවලට සාපේක්‍ෂව බලතොත් 100ට එකේ වාසි සහගත අනුපාතයකට ය. යුද්ධයට නොයන මුත් දේශානුරාගයෙන් අඩුවක් නැති අයගේ ගිණුමට ඒ වාසියත් බැර වේ. නව ලෝකය දෙපළු වී ඇත්තේ කොටි සහ අපි වශයෙනි. එක්කෝ අපේ පැත්තේ ය. නැතහොත් කොටින් පැත්තේ ය. ඒ අනුව ජනවාරි 20 වෙනිදා සිට මාර්තු 07 වෙනිදා දක්වා ගෙවුණු දවස් 47කට වන්නියේ සිවිල් වැසියන් 2,800කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශය කොටින්ට කත් ඇදීමකි. එම කාලය තුළදීම 7,000කට වැඩි සිවිල් වැසියන් ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ඇය කළ ප්‍රකාශයද ඒ ගණයේම ප්‍රබන්ධයකැයි සැළකීම මනා ය. වර්ග සංහාරයක මුවවිටට ලංකාව එළඹ ඇති බවට ‛ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පත්‍රයට අරුන්දතී රෝයි දෙතුන් දිනකට කලින් ලියන ලද ලිපියෙන් කියැවෙන්නේද ඇගේ ‛කොටි සබඳතා’ පිළිබඳ ඇත්තයි.


Sunday, March 22, 2009

දෙමළ ගණිතය


රාවය | 2009 මාර්තු 22
......................................................................................................................................

ලංකාවට විරුද්ධ ‘නව යටත් විජිත කුමන්ත්‍රණය’ දියත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවශ්‍ය වුවහොත් ජනතාව ලවා වටලන බවට ජාතික නිදහස් පෙරමුණේ නායකයා අනතුරු හඟවා තිබුණේ මාර්තු 16 වෙනිදා ය. ඩොලර් බිලියන 1.9ක ණයක් ලබාගැනීමට ලංකාවේ රාජ්‍ය ප්‍රධානීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට එළඹ ඇත්තේ ඒ අතරවාරයේදී ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දණ ගස්වා ‘‘කොන්දේසි විරහිත’’ ණයක් ලබා ගැනීමට සමත් වූ පළමු රාජ්‍යය වශයෙන් ලංකාව ඉතිහාස ගතවීමට නියමිතව ඇති අතර ‘ප්ලග්’ ගළවා ගැනීමේ මී ළඟ කවට නළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුවීමට ඉඩ ඇති බව දැන් සිට සැළකුව මනා ය.

මෘත දේහ වටකොටගෙන හාමතින් මිය යන වන්නියේ මිනිස් නරකාදිය පිළිබඳ සියළු කතා දැන් අපේ ස්වෛරීභාවයට යටත් තේමා ය. පිටස්තරයින් ඒවා ගැන කතා කිරීම ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමක් වන අතර රට වැසියන් ඒ ගැන කණස්සළු වීම ත්‍රස්ත හිතෛශීභාවයේ රෝග නිමිත්තකි. හමුදා ප්‍රකාශකයින්ට අනුව දැන් වන්නිය වනාහී වර්ග කිලෝ මීටර් කිහිපයක අභ්‍යාස වෙඩි බිමකි. ඉන් පලා එන්නෝ සිවිල් වැසියන් සේ සැළකෙන අතර එහිම මිය යන්නෝ ත්‍රස්තයින් බවට පෙරළෙති. ඒ සංඛ්‍යා දත්තයන් ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව සැළකුවද බොහෝවුන්ට ගණිත විනෝදයකි. ඒවා සිතු මනාපය අනුව පිට-නොපිට පෙරළන්නේ එබැවිනි. ලේ වැකුණු ඒ ගණිත ක්‍රීඩාව සැකෙවින් මෙසේ ය:


Sunday, February 22, 2009

දකුණ නොදකින ලේ කඳ


රාවය2009 | පෙබරවාරි 22
......................................................................................................................................

ඩගිනි ජාතියක සා පිපාසා නිවන ‛නිදහසේ කෙම් බිමට’ හුවක දුරක් යැයි පැවසේ. දකුණේ දොර - දොර රැළි නගන අධිපතිවාදයෙන් මුසපත් කරන ලද ඉළ බැරෑඳි පෑදුණු හාමත් දිළින්දෝ සිංහ කොඩි වනමින් ජය පැන් සාදයට ලක ලෑස්ති වෙති. මාක්ස්ගේ සිට ලෙනින් දක්වාද, බුදුන්ගේ සිට ගාන්ධි දක්වාද සියල්ලන්ගෙන් උගත් පාඩම් දෙමළුන් නසන යුද්ධයට සිත් සේ යොදා ගන්නට රිසි අනුගාමිකයින් රොත්තකි. බ්‍රිතානීන්ගෙන් භාගෙට ගැළවීම සැමරෙන ‛නිදහස් දිනය’ දෙමළුන් සහමුලින් යටත් කෙරෙන දිනයට අනුව කඩිනමින් වෙනස් කිරීමේ දේශානුරාගී යෝජනාවන් පෙරට එන්නේ ඊට අමතර වශයෙනි. අභිනවයෙන් මුදාගත් සාම්පූර් ගොවිබිම් ඉන්දියාවටද, පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ඔස්ට්‍රියාවටද, ෆවුල් තුඩුවේ සිට ත්‍රීකුණාමල වරාය ප්‍රත්‍යන්තයේ දූපත් රොත්ත ඇමරිකාවටද නිල හෝ නොනිල වශයෙන් පැවරීමේ උත්කර්ෂවත් සැණකෙළියද එදිනටම යොදාගැනීම වඩා උචිත විය හැක.
  
නමුත් වන්නිය මිනිස් ලේ වගුරකි. පොකුරු බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාරවලින් දිවි ගළවාගත්තවුන් හඹා එන දාහක බෝම්බ මගින් මව් පිය - ළමා ලපටින් ඇට මස් මිදුළු තෙක් පුළුස්සා අළු ධූලි කොට දැමෙයි. කඳු ගැසෙන මෘත ක්ලේබර හා සුන් බුන්ව දා හළුව ගිය ගේ දොර - වතු පිටි මැදින් කිරිකැටි බිළින්දන් රැගෙන වියරුවෙන් පළා යන සිය දහස් සංඛ්‍යාත මව් පියන් ලේ වැකි වන්නි පොළොවේ පස් කමින් වැළලේ. ගස් ගල් යට අටවාගත් තාවකාලික එළිමහන් රෝහල්, වධ වේදනා විඳ පණ ඇද මියෙනවුන්ගේ අවසාන පහසුව පිණිස ය. වන්නියේ දුගී මිනිස් සමූහයා යට කොට රැළි නගා බැස යන ඒ සා වූ ලේ කඳින් ඇබින්දක් හෝ දකුණේ දොරකඩකට නොගලයි. 


Sunday, February 8, 2009

වර්ග සංහාරය ගැන නොකියන කතාව


රාවය | 2009 පෙබරවාරි 08
......................................................................................................................................

තිස් අවුරුදු යුද්ධයක ‛අවසාන උද්වේගකර ජවනිකා’ මේ දවස්වල දකුණේ රූපවාහිනී ප්‍රේක්‍ෂකයින්ගේ ප්‍රණීත දෛනික භෝජනය බවට පත් වී තිබේ. රමණීය ගුවන් ප්‍රහාරයන් ගුවනට පෙනෙන ආකාරය පොළොවේ සිට නැරඹීමේ දුර්ලභ ඉඩ ප්‍රස්ථා ඔවුහු සතොසේ භුක්ති විඳිති. පිට පිට එල්ල වන මල්ටි බැරල් රොකට් ප්‍රහාරයන් විසින් සපයන විසිතුරු චමත්කාරය අමතර වශයෙනි. උතුරේ සමූල සංහාරයන්ට යොදා ගැනෙන මාරක අවි ආයුද දකුණේ සැඳෑ සිරි විඳ විඳ නරඹනු හැකි ප්‍රදර්ශන භාණ්ඩ බවට දැන් පෙරළී තිබේ. ‛දැයට කිරුළේ’ විචිත්‍ර ආනන්දය වෙන්ව ඇත්තේ ඒ විවේකී සුව විඳිනු පිණිස ය. වර්ගවාදියාගෙන් ලිබරල්වාදියා කරාද, ලිබරල්වාදියාගෙන් වාමවාදියා කරාද ජාතික කොඩිය නිරායාසයෙන් මාරු වන්නේ ඒ ආනන්දයේ අනුහසෙනි. ලේ වැකි බිළින්දන්ගේ පණ සුන් මළ කඳන් තුරුළේ හොවාගෙන හිස් ලූ ලූ අත දිව යන දෙමළ මව් පියන්ගේ අනුවේදනීය රූ අහම්බෙන් හෝ දුටහොත් ඒවා ‛කොටි ප්‍රචාරක චිත්‍රපටයකින්’ උපුටා ගන්නා ලද දසුන් සේ සැළකුව මනා ය.
  
ලංකාව වර්ග සංහාරයක අවසාන මුව විටට එළඹ සිටියි. ඉකුත් දෙසතියක කාලය තුළ වෙන් වෙන්ව කරන ලද ප්‍රකාශයන් එක්තැන් කළ විට ඒ වර්ග සංහාරයේ සංවිධිත සැළැස්ම විද්‍යාමාන වේ. අවශ්‍ය නම් විමසා බලත හැකිය:


Sunday, February 1, 2009

මිනී කඳු මත නිදහස


රාවය | 2009 පෙබරවාරි 01
......................................................................................................................................

හ නව අවුරුද්දකට කලින් පෙබරවාරියේ කාන්තිමත් උදෑසනක මහනුවර බූවැලිකඩ සෙංකඩගල බාලිකාවේ ප්‍රධාන ප්‍රවේශ ගේට්ටුවට නුදුරින් තරුණයෙක් වැතිරී සිටියේය. අළුයම් ආලෝකයට නිරාවරණය වූ නග්න උඩුකයට දෙපසින් කෙසඟ දෑත් ඔහේ විඩාවෙන් වැතිරී තිබිණ. සන්සුන් සෝකාකූල මුහුණ මතට එක එල්ලේ කඩා වැටුණු ඒ අරුණෝදයේ සෞම්‍ය හිරු රැස් කදම්බය පාර අද්දර තණ ඇතිරිල්ල තෙක්ම ගලා ගියේය. කාංසාවෙන් පිරුණු අඳුරු දිය කඩිත්තක් බඳු ඒ දෑස් ගැඹුරෙහි පැහැබර උදෑසනක වළා රහිත නිල් ආකාශයෙහි සන්සුන් ඡායාව ඇතැම්විට ඇඳී තිබුණා විය හැක. තමන් වටකොට වික්‍ෂිප්තව මුහුණට එබෙන්නට තෙරපෙන නාඳුනන මිනිස් මුහුණු මඟ හළ ඒ නිදි වැරූ තුරුණු දෑස් ඈත අවකාශයේ දුර යම් තැනක නතරව තිබිණ. සෙමින් තොල් මතුළ ඔහු කී දේ අසන්නට කිසිවෙක් උනන්දු වී දැයි නොදනිමි. මුළුමහත් රැයක් තිස්සේ ආයාසයෙන් ඇද ගත් ආශ්වාස සුසුම් දුබල පෙනහළු අතරින් ඒ උදෑසන වන විට ලිහිල්ව ගිළිහී යමින් තිබිණ. තවත් එක් වරක් උදා ආලෝකය දැකීමේ ශෝකී ප්‍රීතියෙන් ඒ පෙණහළු පිරෙන්නට පටන්ගත්තා විය හැක.
  
වෙඩි වැදී තිබුණේ වම් ඇළපතට ය.


Sunday, January 25, 2009

‛මධ්‍යස්ථවාදීන්’ කාගේ පැත්තේද?


රාවය | 2009 ජනවාරි 25
......................................................................................................................................

ලස්තීන මධ්‍යස්ථවාදීන් සමග ගණුදෙනු කිරීමට තමන් හැමවිටම සූදානම් බව’ ඊශ්‍රායෙල් විදේශ ඇමැතිවරිය ඊයේ පෙරේදා කියා තිබුණා ය. ඒ අනුව ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩගැසුණු සුන් බුන් හා මිනී කඳු තරණය කොට ඊශ්‍රායෙලය හා ‛ගණුදෙනු කිරීමට’ දැන් පලස්තීන මධ්‍යස්ථවාදීන්ට ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. නමුත් ‛මධ්‍යස්ථවාදී’ පලස්තීනුවන් කවුරුන්ද යන්න නිශ්චය කරන නිර්ණායක කවරේදැයි කිසිවෙක් නොදනී. ඊශ්‍රායෙල් - පලස්තීන සබඳතා පිළිබඳ විශේෂඥයෙකැයි සැළකෙන යුදෙව්වෙකු වූ නෝමන් ෆින්කල්ස්ටයින් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙයි. එය මෙසේ ය: ‛‛ඊශ්‍රායෙලයට අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු යන හමාස් සංවිධානයේ ස්ථාවරය ප්‍රතික්‍ෂේප කරන්නෙකි...ඒ අනුව මධ්‍යස්ථ පලස්තීනුවෙකු  යනු ඊශ්‍රායෙලයට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් පලස්තීනුවෙකි - ඊශ්‍රායෙලයේ විධානයන්ට මුළුමණින්ම අනුගතව කටයුතු කිරීමේ රිසි පලස්තීනුවෙකි.’’
  
මධ්‍යස්ථවාදය ගැන ෆින්කල්ස්ටයින්ගේ අර්ථකථනය පලස්තීනයෙන් ඔබ්බට ද ගැළපේ. නිදහස සහ වහල්භාවය අතර අන්ත දෙකකට ධ්‍රුවීකරණය වූ සමාජයක් තුළ ‛මධ්‍යස්ථවාදය’ හැමවිටම ගැළවුම් මාර්ගයක් තනා දෙන්නේ ආක්‍රමණිකයාට ය. නැතිනම් පීඩකයාට ය. මධ්‍යස්ථවාදයේ හතර මායිම පීඩකයාගේ රුචි අරුචිකම් අනුව තීරණය කෙරෙන්නේ එබැවිනි. සමානත්වය හා යුක්තිගරුකභාවය පිළිබඳ පීඩිතයින්ගේ සාමූහික ඉල්ලීම සංවිධිතව ගොණුකොට පීඩකයාට පහර දෙන්නෙකු වේ නම්, ඒ සතුරා ආන්තීකරණය නොකර කවර හෝ ගැටුමක් දේශපාලනිකව ජයගත නොහැකි ය. එය කළ හැක්කේ ‛මැද’ක් නිර්මාණය කිරීමෙනි. මහමුද් අබ්බාස් මැදින් සිට වූ විට හමාස් සංවිධානය අන්තයක් සේ පෙනේ. වීමල් වීරවංශ මැදින් සිට වූ විට ජනතා විමුක්ති පෙරමුණ කුමන්ත්‍රණ කල්ලියක් සේ හැඟේ. කරුණා අම්මාන් හා ආනන්දසංගරී මැදින් සිට වූ විට කොටි සංවිධානය පමණක් නොව, සම්බන්ධන් හා මනෝ ගනේෂන්ද ‛කොටි’  බවට පෙරළේ. නිදහස සහ සමානත්වය පිළිබඳ සමාජයක් තුළ කැකෑරෙන සාමූහික ආකල්පයේ සුජාත නියෝජනය ‛සතුරාට’ අහිමි කළ හැක්කේ එවැනි ‛මැද’ක් ගොඩනංවා නඩත්තු කිරීමෙනි.


Sunday, January 18, 2009

ලසන්ත ඝාතනය සහ යථාර්ථය පළු කිරීම


රාවය | 2009 ජනවාරි 18
......................................................................................................................................

කිලිනොච්චි විජයග්‍රහණය සමරා ජනවාරි 02 වෙනිදා අගනුවර ජය ඝෝෂා වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ජනවාරි 04 වෙනිදා ‛සන්ඩේ ලීඩර්’ පත්‍රයේ කතු වැකිය ‛ජාතියක අවසන් ඔල්වරසන’ (A Nation's Last Hurrah) වෙනුවෙන් වෙන්ව තිබිණ. එහි මෙසේ සඳහන් විය:
  
‛‛යුද්ධය ජයගැනීමෙන්’ පසු නැගෙනහිර සිදුවූවාක් මෙන්ම උතුරද වාඩිලා ගත් භූමියක් බවට පෙරළනු ඇතැයි යන්න පිළිගත් සත්‍යයකි. කිව්වා නාහන දෙමළුනට මොනයම් හෝ විකාර අදහසක් පහළ වීම වළක්වනු වස්, ඒ භූමි භාගය වසා පැතිර යන සේ හමුදා කඳවුරු වැසි වසිනු ඇති අතර සිංහ ධජය වන්නි සුළඟෙහි කඩිසරව ළෙලදීමට නියමිත ය....සියල්ල අවසානයේ, ලෝක ආහාර වැඩසටහනින් බෙදා දෙන දිවා ආහාරය බුදිනු වස් ඔවුනොවුන්ට අයත් සරණාගත කඳවුරු ඉදිරිපිට යටත් කළවුන්ගේ විනීත පෝළිම් සැකසෙනු ඇත.’’


Sunday, January 4, 2009

‛සාමාන්‍ය තත්ත්වය’ ගැන ‛ප්‍රචණ්ඩ’ කතාවක්


රාවය | 2009 ජනවාරි 04
......................................................................................................................................


ස්ලෝවේනියානු චින්තක ස්ලාවෝයි ජිජැක් ගැන මේ සටහන්වල මීට පෙරද ලියා තිබේ. නමුත් යළිත් ලියන්නට හේතුවක් ඊයේ පෙරේදා මතු විණ. ඒ දෙසැම්බර් 22 වෙනිදා ගාසා තීරය ගිගුම් දුන් ඊශ්‍රායෙල් ජෙට් ප්‍රහාරයන් හේතුවෙනි. පළමුව ජිජැක් ගැන ලියා දෙවනුව ප්‍රහාරය ගැන ලියමි.
  
ඉකුත් සැප්තැම්බරයේ ජිජැක්ගේ පොතක් පළවිණ. ඒ ‛ප්‍රචණ්ඩත්වය’ (Violence)  මැයෙනි. ජිජැක්ට අනුව ප්‍රචණ්ඩත්වය තුන් වැදෑරුම් වේ. ඉන් පළමුවැන්න, මනෝමූල ප්‍රචණ්ඩත්වයයි (subjective violence). ඒවා හටගන්නේ සමාජ වියමනෙහි මතුපිට ය. ඕනෑම කෙනෙකුගේ මනසෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් පහසුවෙන් පිළිගැනෙන පිපිරීම්, පහරදීම්, මිනිස් ඝාතන ඇතුළු බොහෝ දෑ ඒ ගණයට වැටේ. ඒවාට අදාළව වැරදිකාරී කර්තෘකයෙකු නම් කිරීම පහසු ය. පොදු පිළිගැනීමට අනුව ඒවා විසින් බාධා කරනුයේ සමාජය තුළ රජයන ‛ස්වභාවික සාමකාමී සංහිඳියාවට’ ය. මේ අනුව ‛ප්‍රචණ්ඩ ක්‍රියා’ විසින් බාධා කරන තෙක් ඕනෑම සමාජයක් ස්වභාවිකවම ප්‍රචණ්ඩත්වයෙන් තොර ‛සාමකාමී - සංහිඳියාසහගත’ තත්ත්වයක් භුක්ති විඳිතැයි බොහෝදෙනා විශ්වාස කරති. නමුත් ස්වභාවිකව සමාජය සතුයැයි සිතන මේ සාමකාමී සංහිඳියාව ජිජැක්ට අනුව බොරුවකි. ඇත්තෙන්ම සමාජ ක්‍රමය පදනම්ව ඇත්තේම ඒ තුළ ගැබ්ව පවතින ප්‍රචණ්ඩත්වය මත ය. විෂයමූල ප්‍රචණ්ඩත්වය (objective violence) ලෙස ජිජැක් හඳුන්වන්නේ මෙයයි. ඒ ප්‍රචණ්ඩත්වය පවතින්නේ සමාජ වියමනට යටිනි. එහෙයින්ම ස්වභාවික සේ පිළිගැනේ. සංස්ථාපිත ප්‍රචණ්ඩත්වය (sistemic violence) සහ සංකේතීය ප්‍රචණ්ඩත්වය (symbolic violence)  වශයෙන් ජිජැක් වර්ගීකරණය කරන්නේ එයයි. සරළව හා සංක්‍ෂිප්ත කොට කිවතොත් ඒවා මෙසේ ය: