Sunday, December 28, 2008

ලේ තිතක් වූ මව්බිම

Print this post


රාවය | 2008 දෙසැම්බර් 28
......................................................................................................................................

න්ඩෲ බේස්විච් කොන්සර්වටිව්වාදියෙකි. ඇමරිකානු හමුදාවන්ට එක්ව 1970 ගිම්හානයේ සිට ඊ ළඟ ගිම්හානය දක්වා ඔහු වියට්නාමයේ සටන් කළේය. පළමු ගල්ෆ් යුද සමයේ කර්නල්වරයෙකු වශයෙන් පර්ෂියන් ගල්ෆ් කලාපයේ ක්‍රියා කළ හෙතෙම හමුදා සේවයෙන් විශ්‍රාම ගියේ ‛90 මුල් භාගයේදීම ය. පෙරළා ඇමරිකාවට ආ බේස්විච්, මුලින් ප්‍රින්ස්ටන් සරසවියට ද, දෙවනුව ජෝන් හොප්කින්ස් සරසවියට ද එක්ව ඉගැන්වීමෙහි යෙදුණේය. දැන් ඔහු බොස්ටන් සරසවියේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විෂයයන් උගන්වයි.
  
දෙවෙනි ගල්ෆ් යුද්ධය ඇරඹීමත් සමගම බේස්විච්ගේ පුත්‍රයා ද ඇමරිකානු හමුදාවන්ට එක්ව ඉරාකයට ගියේය. කොන්සර්වටිව්වාදියෙකු වීත්, ජනාධිපති බුෂ්ගේ විදේශ පිළිවෙත කෙරෙහි කළකිරුණු බේස්විච් ඇමරිකානු යුදවාදය විවේචනය කිරීමට පටන්ගත්තේ මේ සමයේදී ය. පුත්‍රයා ඉරාකයේ යුද වදිද්දී, පියා විවෘත යුද විරෝධියෙකු වශයෙන් රාජ්‍ය පිළිවෙත් විවේචනය කළේය. 2007 මැයි මාසයේදී ඉරාකයේ සමාරාවට දකුණින්, සලාහ්-අල්-ඩින් පළාතේ යුද ගිනි ඇවිළ ගිය සටන් බිම් මැද කණිෂ්ඨ බේස්විච් ඇද වැටුණේ ය. ඉක්බිතිව ජාතික ධජයෙන් වැසී ආචාර වෙඩි මුර මැද පෙරළා මව් රට බලා ආවේය. පුත්‍රයාගේ මරණයෙන් බිඳුණු හදැ‛ති ඇන්ඩෲ බේස්විච්, ඒ මැයි මාසයේම 27 වෙනිදා ‛වොෂින්ටන් පෝස්ට්’ පත්‍රයට මෙසේ ලීවේය: ‛‛හොඳ සෙබළෙකු වන්නට මගේ පුතා උපරිමයෙන් කටයුතු කළේය. හොඳ පුරවැසියෙකු සේ ක්‍රියා කරන්නට මම උත්සාහ කළෙමි....සමරු දිනයේදී කථිකයින් විසින්, සෙබළෙකුගේ දිවිය අමිල යැයි කියනු ඇත. එය විශ්වාස නොකරන්න. සෙබළෙකුගේ ජීවිතයට ඇමරිකානු ආණ්ඩුව වෙන්කොට ඇති මිල මම දනිමි. ඒ චෙක්පත මට දැන් ලැබී තිබේ.’’


උතුරේ යුද ක්‍රියාන්විතයන්හි නියැලී සිටියදී මිය ගිය සෙබළුන්ගේ මව්-පියන් හා කතාබහ කොට සකස් කළ වැඩ සටහනක් දෙසැම්බර් 21 වෙනිදා බී.බී.සී.යේ ‛සංදේශයෙන්’ විකාශය විය. ‛සිය දරුවන් මව්බිම වෙනුවෙන් දිවි දුන්’ බව ඒ බොහෝ දෙනෙක් කීහ. නමුත් ‛වඩාත් දුක හා පාඩුව අත්වූයේ තමන්ට’ යැයි කියමින් ඔවුහු වැළපුණහ. යුද බිමේදී පාදයක් අහිමි වූ පෙම්වතා තමන් කිසි කලෙක අත් නොහරින බැව් කී තරුණියකගේ බිඳුණු හඬෙහි සන්සුන් මිනිස් ආදරයේ උණුසුම තැවරී තිබිණ. කතා කරගත නොහී වෙවුළන හඬින් වැළපුණු වයෝවෘධ මවක් විලාප දෙමින් සිය ළතැවුල කීවාය. පුතු මළ සොව වාවනු නොහැකිව සැමියා ද මිය යාමේ පුවත ඈ ඒ වනතුරුත් නොදත් බව වාර්තාවෙන් කියැවිණ. දශකයෙන් දශකයට බුර-බුරා ඇවිලෙන දුක් සංතාප ගින්නෙහි පැලහුණු දකුණේ පීඩිත මිනිස් සිතුවිලි, ළෙල දෙන සිංහ කොඩි යට රත් වූ කිහිරඟුරු මෙන් රහසේ නිධන් වී තිබේ.
  
දැන් වන්නියේ කිලෝ මීටරයෙන් කිලෝ මීටරයට හිලව් කොට දිළිඳු තුරුණු ඇටකටු වගුරු බිම්වල වැළලේ. විසකුරු ජීවන ගැහැටෙහි කස පහර කා,  දුගීබවේ නින්දා අවමනින් හෙම්බත් දහස් ගණනින් වූ දකුණේ තරුණයෝ, සිය මව් පිය නෑ සියන් වෙළාගත් දුක්ගනි කඳින් ගළවනු වස් සිය කර මතට ගත් ජීවන කුරුසියෙහිම ප්‍රාණ පරිත්‍යාග කරති. මාලා නාටක නැරඹීම සහ එස්.එම්.එස්. ගැසීම විනෝදාංශ කොටගත් දකුණේ හාමත් සිංහයින්ගේ ක්‍ෂුදා ගින්න නිවාලන දෛනික ප්‍රණීත භෝජනය සැපයෙනුයේ ඒ දිළිඳු යෞවන මාංශයෙනි.
  
යුද්ධයට නොයන්නවුන්ගේ චිත්ත ධෛර්යය රකිනු වස් වසන් කොට සඟවාලන අඳුරු මිනිස් පුරාවෘත දකුණේ අවිචාර අඳුරෙහි සැඟ වී තිබේ. ඔක්තෝබර් 10 වෙනිදා ‛ලක්බිම’ පත්‍රයෙහි පළ වූ ලිපියක සිරස්තලය මෙසේ ය: ‛‛නංගීට උගන්වන්නත්, ගෙයක් හදාගන්නත් හමුදාවට ගිය සමීර දිවි පුදයි’. ඒ, වැලිගම, පොල්වත්තේ, කිලිදියවත්තෙන් යුද හමුදාවේ පළවෙනි යාන්ත්‍රික පාබල බල ඇණියට බැඳී මිය ගිය තරුණයෙකු ගැන ය. අට දෙනෙකුගේ දුක් බර කරට ගනු වස් පාසැල් දිවිය අත්හැර කූලී වැඩ කොට ඔවුන් රස්සා කරන්නට දුක් විඳ, අවසානයේ යුද බිමක වෙඩි වැද ඇද වැටුණු ඒ මිනිසාගේ කතාව එතැනින් නොනවතී. ජීවිත කාලයම සොහොන් පිටියක අනවසරයෙන් අටවාගත් පොල් අතු පැලක දිවි ගෙවූ ඒ මිනිස් පවුලේ දුක් කඳ නිවනු වස් දිවි දුන් දරුවාගේ දේහය තබන්නට ගෙපැලේ පොල් අතු බිත්තියක් බිම හෙලූ බැව් එහිම ලියා තිබිණ. නොවැම්බර් 05 වෙනිදා ‛දිවයින’ පත්‍රයෙහි ඒ වැනිම ලිපියක සිරස්තලය මෙබඳුය: ‛අපට ජීවත්වෙන්න ගෙයක් හැදීමේ සිහිනය බොඳවුණා.’ ඒ, බිබිල, නාගල, හේනයාලන්දේ ඔත්පල මවක් සහ ආබාධිත පියෙක් ඇතුළු හය දෙනෙකු රකිනු වස් විජයබා පාබල රෙජිමේන්තුවට එක් වී කිලිනොච්චියේදී ඇද වැටුණු ගොවි පුතෙකුගේ කතාවයි. නොවැම්බර් 19 වෙනිදා ‛දිවයින’ පත්‍රයෙහි පුවතක මෙවන් සිරස්තලයකි: ‛නව නිවසක් ඉදිකිරීමේ සිහිනය පමණක් ඉතිරිව තබා රෝහිත දැයෙන් සමුගනියි.’ ගරාජයක කුලී වැඩ කොට පියා මළ හත් දෙනෙකුගෙන් යුතු පවුලක් රස්සා කරනු නොහැකි වූ තැන, පස්වන විජයබා පාබල රෙජිමේන්තුවට බැඳී කිලාලියේදී දිවිදුන් ඒ තුරුණු මිනිසා ආණමඩුව, කරඹෑලන්දෙනි. ඒ වන් නිදසුන් තවත් නම් ඕනෑ තරම් ය.
  
වෙඩි වැදී ඇද වැටුණු ඒ තුරුණු හදවත් පිරීගත් ආදරය වින්දෝ දැන් වියෝග අඳුරින් පිරුණු අළුත් වසරක මුව විටට එළඹී හිඳියි. ඒ වසර කලින්ටත් වඩා යුද ජය කැටුව එන වසරක් කරම්හයි නගන සිංහ නාදයෙන් දකුණේ දිළිඳු පැල්පත් සසළ වේ. නන්නාඳුනන වන්නියේ මෝසම් සමයේ වළා බර අහස් බෑවුම් දෙසට විදාගත් ඇසින් දිය අගලවල, මඩ ගොහොරුවල උඩුකුරුව වැතිර ගත් යෞවනයින්ගේ දුක් භරිත අවසන් සිතිවිලි ඒ මෝසම් වැසි දිය කඳින්ම සේදී ගියේදැයි කිසිවෙකුත් නොදනී. වැසි දියට නිරාවරණයව දරදඬු වූ කෙසඟ ඉළ බැරෑඳිවල තැවරුණු ජීවිත කාලයක් විඳ දරාගත් දුක් තැවුල් පත් සළකුණු, කඩුපත් ගත් සිංහයින්ගේ මුද්‍රිත තේජස් රුවින් එළඹෙන වසරේත් වැසී යාමට නියමිතව තිබේ.
  
ලංකාව, දැන් ඉන්දියානු සාගරයේ චණ්ඩ රළ පහරින් පහර වැද සේදී නොයන අඳුරු ඝන ලේ තිතකි. කාමභෝගී චෞර මහල්ලන්ට සව්දිය පුරනු වස් තුරුණු මාංශය ගිළ දමන කළු කුහරයක් බවට මගේ මව්බිම පෙරළී තිබේ. ඒ දිවි අමිල යැයි කිසි කලෙක නොසිතමි. එහි මිල ගණන් පාලක ජනයා දන්නා හෙයිනි.
  
නොදුටූ කවියෙකු ‛රාවය’ටම ලියූ කවක මෙසේ කියා තිබිණ:
  
"කවිපද තුළින් වුව
ෂෙල් වෙඩි රිංගලා යන
මල් වෙඩි ගොළුවෙලා
තැන තැන සුසුම් ලන

හඬනු පෙම්බර දේශය,
පිරිමි පුතුනගේ
ලෙයින් සේදෙන"
  
- ඩී.එම්.ටිම්රාන් කීර්ති


2008 දෙසැම්බර්

Print this post

0 comments:

Post a Comment