Sunday, December 21, 2008

‛අරගලකාරී’ තුන් අවුරුද්ද

Print this post


රාවය | 2008 දෙසැම්බර් 21
......................................................................................................................................

සාමාන්‍යයෙන් මතක තබා ගැනෙන දෙදහස් පන්සිය අවුරුද්දක ඉතිහාස විස්තරයට අයත් නොවන නිසා අමතක වීමට ඉඩ තිබෙන මෑත ඉතිහාසයේ රස කතා බහුල ය. මේ ඉන් එකකි. 2006 නොවැම්බර් 08 වෙනිදා ආණ්ඩුවේ අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කොට, දෙසැම්බර් දෙවන සතියේදී මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමක් ඇමතූ ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී.ලාල්කාන්ත ‛2007 වසර ජනතාව වෙනුවෙන් අරගල කරන වසරක් වනු ඇතැ’යි කියා සිටියේය.  2007 වසරේ නොවැම්බරයේදී යළිත් ආණ්ඩුවේ අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් ඉක්බිතිව දෙසැම්බර් 23 වෙනිදා ‛ලක්බිම’ පුවත්පතට ප්‍රකාශයක් කළ ලාල්කාන්ත, ‛‛2008 පොදු ජනතාව වෙනුවෙන් සටන් කරන වසරක් වනු’ ඇතැයි ප්‍රකාශ කළේය. දැන් යළිත් වර්ෂාවසාන භාර හාර වීමේ සමයයි. ඒ අනුව දෙසැම්බර් 04 වෙනිදා රුපියල් බිලියන 200ක ආරක්‍ෂක වැයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ජවිපෙ සිය ඡන්දය පාවිච්චි කළේය. අනතුරුව, එළඹෙන ‛2009 වර්ෂය රටේත්, ජනතාවගේත් අරගල වසරක් බවට පෙරළන බව’ට සෝමවංශ අමරසිංහ මාතර නූපේදී කැඳ වූ සිය පක්‍ෂයේ මාතර දිසා සමුළුව අමතා ප්‍රකාශ කොට තිබිණ. ඒ අනුව පිට පිට එළඹුණු ‛අරගලකාරී අවුරුදු තුනක්’ නිරුපද්‍රිතව පසුකිරීමේ දුර්ලභ වාසනා මහිමය ලංකාවාසී හුදී ජනයාට ලැබී තිබේ.
  
ජනතා විමුක්ති පෙරමුණ බැලූ බැල්මට ආණ්ඩු විරෝධී ය. ඒ නිසා ඒ හා සම්බන්ධ කම්කරුවෝ වැඩ වරති. ශිෂ්‍යයෝ වීදි බසිති. ආණ්ඩුවේ වැඩ පිළිවෙත් හෙළා දකින සමුළු හා දේශනද, පිකටින් සහ විරෝධතාද, පෝස්ටර් සහ පත්‍රිකාද පෙරටුකොටගත් ජවිපෙ නායකයෝ අවශ්‍ය වෙතොත් ආණ්ඩුව පෙරළා දැමීමට සූදානම් බවට අනතුරු හඟවති. රාජ්‍ය පාලකයෝද ජවිපෙ හිතවාදී කම්කරුවන්ට සහ සිසුන්ට පහර දෙති. මන්ත්‍රී ආසන කොල්ල කති. බෙදා වෙන්කිරීම්ද, වරදානයන්ද, තර්ජනයන්ද යොදා ජවිපෙ මෙල්ල කිරීමට වැර යොදති. ඒ නිසා සෑම අවුරුද්දක් අවසානයේම එළඹෙන අලුත් අවුරුද්ද අරගලවලින් පුරවාලීමේ පොරොන්දුව ජවිපෙ සිය පාක්‍ෂික ජනයා හමුවේ තබයි. නමුත් හැම අවුරුද්දක්ම කලින් අවුරුද්ද තරමටම සාමකාමී සංහිඳියාවෙන් ගෙවී යයි. ජවිපෙ සහ ආණ්ඩුව අතර අවුරුද්ද පුරා ඇවිළෙන ප්‍රදර්ශන කඩු හරඹ සන්දර්ශනයන්ට යටින් මේ සම්මුතියේ දියවැළ සෙමින් ගලා බසියි.


සාමාන්‍යයෙන් ආණ්ඩුවක බහුජන කීර්තියට දකුණේදී මග පාදන්නේ එක්කෝ දෛනික ජීවන දුක් ගැහැට නිමා කරලීමට සමත් ආර්ථික කළමනාකරණ පිළිවෙතකි. නැතහොත්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ඉඩ සළසන දේශපාලන විවෘතභාවයේ පිළිවෙතකි. නමුත් ආර්ථික තලයේදී ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතයද, බරපතල දූෂණ චෝදනාද, දුර්වලම ආර්ථිකයක්ද ලංකාවට ලැබී තිබේ. දේශපාලන තලයේදී ලොව දරුණුතම වර්ගයේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණයන් පිළිබඳ චෝදනාවන්ද, ජනමාධ්‍ය මර්දනයන් හා ප්‍රජාතාන්ත්‍රික නිදහස සීමා කිරීම් පිළිබඳ වාර්ථාවන්ද ලංකාව උපයාගෙන තිබේ. දකුණේදී ආර්ථික හෝ දේශපාලන කළමනාකරණයෙන් ආණ්ඩුව උපයා නොගන්නා කීර්ති නාමය ආණ්ඩුව කරා එන්නේ යුද්ධයෙනි. එනම් දෙමළ ජනයාට අදාළ දේශපාලන පිළිවෙතෙනි. ආණ්ඩුව හා දකුණේ ජන පදනම් අතර සාධනීය සම්බන්ධයකට මග පාදන එකම රැහැන මිලිටරීකරණය කරන ලද මේ දේශපාලන පිළිවෙතයි. ‛ලංකාව සිංහලයින්ගේ රට ලෙස’ අභිෂේක ගන්වා අන්‍ය ජාතීන් යටපත් කිරීමට ආණ්ඩුව විසින් පෙන්වනු ලබන නග්න සූදානමයි. දකුණේ ජන පදනම් ආකර්ශනය කරගනු වස් යුද පිළිවෙත පමණක් ඉවහල් වූ එකම ආණ්ඩුව බවට සන්ධාන ආණ්ඩුව පත්ව ඇත්තේ ඒ අනුව ය.
  
ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව අතර සම්මුතියේ දියවැළ පටන්ගන්නේ මෙතැනිනි. දූෂණ චෝදනාවන්ගෙන්ද, ඒකාධිපති ලේබල්වලින්ද ජවිපෙ වරින් වර ආණ්ඩුවට දමා ගසයි. නමුත් හදිසි නීතියටද, දැවැන්ත ආරක්‍ෂක වැයටද, මර්දන අණ පනත්වලටද, හමුදාකරණයටද පක්‍ෂව ආණ්ඩුව හා සිට ගනියි. දකුණේ ජනයා අතර ආණ්ඩුව උපයාගත් සාර්ථකභාවයේ පදනම් නිර්මාණය කරන්නේ දෙවනුව කී ලක්‍ෂණ මගිනි. පළමුව කී විවේචන මගින් ආණ්ඩු විරෝධී ප්‍රදර්ශන කඩු පත් ළෙලවන ජවිපෙ, දෙවනුව කී සම්මුතිය මගින් ආණ්ඩුවේ අසිපත් රහසේ මැද දෙයි. උතුරේ මෙන්ම දකුණේද දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය සිය දෛනික අරගලයන්ගේ සටන් පාඨයක් බවට පත්කර නොගැනීමේ නිවට සම්මුතිය යටතේ ආණ්ඩුවේ පදනම් රැක දෙයි. ආණ්ඩුවේ දුර්වල ආර්ථික පිළිවෙත මෙන්ම මර්දනකාරී දේශපාලන පිළිවෙත සමග එහි යුද පිළිවෙතට ඇති වෙන්කළ නොහැකි සම්බන්ධය ජවිපෙ වසන් කරලයි. යුද පිළිවෙතින් පමණක් ශක්තිය සපයා ගන්නා ආණ්ඩුවකට යුද පිළිවෙතේදී සහාය පළ කොට, කම්කරුවන් ලවා සරොම් කැසපොට ගැස්සවීමේ දේශපාලන පිළිවෙත භෞතීස්මය ලබා ඇත්තේ සිංහල වර්ගවාදයෙන් මිස මාක්ස්වාදයෙන් නොවේ.
  
ඒ අනුව දකුණේ පීඩිතයාගේ දෛනික දිවියේ දුක් ගැහැට වරෙක කොටි නසන යුද්ධයේ උද්‍යෝග පාඨයන්ගෙන් වැසී යයි. නැතහොත් ඉන්දීය විරෝධී කාහළ නාදයන්ගෙන් නෑසී යයි. කොටින්ගෙන් හා ඉන්දීය ආක්‍රමණයන්ගෙන් බේරාගනු ලැබූ ජනයා දැන් රුපියල් 36ට පාන්ද, රුපියල් 70ට සහල්ද නිදහසේ බුදිති. ඔවුන්ගේ නව යොවුන් දරුවෝ කිලිනොච්චියේද, පුනරීන් හා කිළාලියේද නාඳුනන මඩ ගොහොරු බිම්වල නැසෙති. නැතහොත් අගනුවර වීදිවල අයිතීන් ඉල්ලා දඬු මුගුරු පහර කා පසු බසිති. අවුරුද්දෙන් අවුරුද්දට සටන් සහ අරගලවලින් ඔවුන්ගේ ජීවිත පුරවාලීමේ පොරොන්දු වර්ෂාවන්ගේ සැඩ දිය පහර නගර ගම් බිම් යටකොට කලින් කලට ගලා බසියි.

‛තරබාරු වහළෙකු වනවාට වඩා හාමත්ව නිදහස් වීම හොඳ’යැයි ඊසොප්ගේ කතාවක කියැවේ. දකුණේ පහළ සමාජ පන්තීන්ගෙන් නැගී ආ තරබාරු වහලුන් දැන් යළිත් උතුරේ ජනයාට හාමතද, දකුණේ ජනයාට නිදහසද සහතික කර සිටියි. හරියටම ඉකුත් තුන් අවුරුද්දේ මෙනි.



2008 දෙසැම්බර්

Print this post

0 comments:

Post a Comment