Print this post
රාවය | 2008 දෙසැම්බර් 14
......................................................................................................................................
දෙසැම්බර් 10 වෙනිදා කොළඹ දී ජනමත සමීක්‍ෂණ වාර්තාවක් නිකුත් විය. ‛යුද්ධයට ඇති ජනතා පක්‍ෂපාතීත්වය’ ගැන ඒ සමීක්‍ෂණය මෙහෙයවා තිබුණේ පෞද්ගලික මත විමසුම් ආයතනයක් විසිනි. මත විමසීමට භාජනය වූ නියැදියට අයත් පිරිස ගණනින් 500කි. යුද කළාපයෙන් බැහැර ජීවත් වෙන ඒ පන්සිය දෙනාගෙන් 75%ක්ම කල්පනා කරන්නේ යුදමය විසඳුමකට පක්‍ෂපාතීවයැයි ප්‍රංශ පුවත් සේවය එදිනම වාර්තා කොට තිබිණ. පන්සිය දෙනෙකුගෙන් 75%ක් යනු පැහැදිලි බහුතරයකි. බහුතරයේ කැමැත්ත යනු ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ 500 දෙනාගේ නියැදිය දකුණේ පොදු ජන මනෝභාවය සේ සළකන්නේ නම් මේ යුද්ධයට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වන්නේ අන්තවාදීන් සහ ෆැසිස්ට්වාදීන් යැයි සාමාන්‍ය වශයෙන් පිළිගැනේ. ඒ අනුව ‛යුද විරෝධය’ බහුතරයේ කැමැත්තට එරෙහිව යාමකි. ඒ නයින්, අන්තවාදයකි, නොහොත් ෆැසිස්ට්වාදයකි. ඒ අනුව යුදවාදය ප්‍රජාතන්ත්‍රවාදී වී යුද විරෝධය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවට පෙරළේ. ඇතැම්විට මේ තර්කය විපරීත එකකැයි ඇතැමෙක් කල්පනා කිරීමට ඉඩ තිබේ. නමුත් යථාර්ථය විපරීත වූ විට, යථාර්ථවාදී වීම විපරීත පෙනුමක් ගනියි.
මත සමීක්‍ෂණයට සහභාගී වූවන්ට ඉදිරිපත් කළ මූලික ප්‍රශ්නය කෙබඳුදැයි මේ ලියන මොහොත වනවිට මම නොදනිමි. ඇතැම් විට ‛ඔබ පවතින යුද්ධයට පක්‍ෂදැයි’ ඇසුවා විය හැක. නොඑසේනම් ‛ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ යුද්ධයෙන් යැයි ඔබ පිළිගන්නේදැයි’ ඇසුවා වීමටත් ඉඩ තිබේ. එසේත් නැතිනම් ‛සාමය යුද්ධයෙන් උදාකළ හැකිදැයි’ විමසුවා වන්නටද පුළුවන. ඒ වෙනුවට, ‛දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලට ගුවනින් කිලෝ ග්‍රුම් 250 බැගින් වූ බෝම්බ හෙළීමට ඔබ පක්‍ෂදැයි’ ඇසුවා නම් පිළිතුර කුමක් වේ දැයි අනුමාන වශයෙන් හෝ කීම දුෂ්කර එකකි. නොඑසේනම් ‛ගංවතුරින් සහ සුළි සුළඟින් පීඩිත දෙතුන් ලක්‍ෂයක ජනගහණය තවදුරටත් අවතැන් කරන යුදමය ක්‍රියාන්විතයන්ට ඔබ සහාය දෙන්නේදැයි’ ඇසුවේ නම් මේ පිළිතුරම ලැබෙනු ඇතිදැයි යමෙකුට සැක මතු කළ හැකිය. නමුත් නගන ලද ප්‍රශ්නය කුමක් වුවද ලැබී ඇති පිළිතුර දැන් පැහැදිලි එකකි. ඒ, 75%ක බහුතරයක් යුද මග තෝරාගෙන ඇති බව ය. මේ බහුතර මතය ප්‍රජාතාන්ත්‍රික එකකැයි පිළිගන්නේ නම් උතුරේ සහ දකුණේ එකිනෙකට නොපෑහෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උභතෝකෝටිකය දැන් මුණ ගැසේ. එය විමසා බැලීමට තරම් වටිනා එකකි.
යුද්ධය ගැට ගැසී ඇත්තේ ජාතික ප්‍රශ්නය සමග ය. මාද ඇතුළත් වන ‛අන්තවාදීන්ගේ කුලකය’ අමතක කළද, මධ්‍යස්ථ මතධාරීන් වශයෙන් තමන් හඳුන්වා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නන්ගේ පිළිගැනීමට අනුව පවා ජාතික ප්‍රශ්නය යනු දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමි කිරීමෙන් හටගත් අර්බුදයයි. ඒ අනුව යුද්ධය සහ දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අතර ඓතිහාසික සම්බන්ධයක් තිබේ. යුද්ධයෙන් ජාතික ප්‍රශ්නය හටගත්තා නොව, ජාතික ප්‍රශ්නයෙන් යුද්ධය හටගත්තාය යන විශ්වාසය අවිගත් කොටි සටන්කරුවන්ට සීමා වූ ත්‍රස්ත සිතුවිල්ලක් නොවේ. වේලුපිල්ලෛ ප්‍රභාකරන්ට නොකඩවා ලියුම් ලිවීමෙන් හා සහ වෙනත් සිත් ගන්නා සුළු කුශලතා විදහා පෑමෙන් දකුණේ සිංහල ජනයාගේ ආදරය දිනාගත් වීරසිංහම් ආනන්ද සංගරී පවා ඒ විශ්වාසය බෙදාගනු ඇත. නොඑසේ නම් ‛‛ඉන්දීය මාදිලියේ බල බෙදීමක්’’ ගැන තමන් තුළ නලියන ප්‍රාර්ථනා ඉඳහිටවත් හෙළිකරන්නට හේතුවක් ඔහුට තිබෙන්නට ඉඩක් නැත. ඉන් හැඟවෙන්නේ යුද්ධයට යටින් නොවිසඳුණු දේශපාලන ගැටළුවක් ඇති බව ය. ප්‍රභාකරන් නැති රටක පවා, ‛ඉන්දීය මාදිලියේ බල බෙදීමකින්’ විසඳෙනු දකින්නට ආනන්ද සංගරී පවා කැමැති වන්නේ ඒ ගැටළුවයි. ඒ දේශපාලන ගැටළුව දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා ගැට ගැසී තිබේ.
උභතෝකොටිකය මෙයයි: යුද්ධයෙන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අතුගා දමන බව යුද කලාපයේ ජනයා කියයි. යුද්ධ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී බව යුද කලාපයෙන් බැුහැර 75%ක් දෙනා සිය මත ප්‍රකාශයෙන් හඟවයි. බහුතරයක් දෙමළ ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් යුද්ධය ඔවුන්ගේ සාමූහික අභිලාෂයන් මැඩලන, ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් වන විට, බහුතරයක් සිංහල ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් එය සිය සාමූහික අභිලාෂයන් ප්‍රකාශයට පත්කරන ප්‍රජාතන්ත්‍රවාදී එකක් බවට පෙරළේ. මේ ආණ්ඩුව දෙමළ ජනයාට එරෙහි සමූල සංහාරයක නියැලෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී එකකැයි දෙමළ ජාතික සන්ධානය කියද්දී, මේ ආණ්ඩුව බලයට පත්කළේ සාකච්ඡා කරන්න හෝ බලය බෙදන්න නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණද, ජාතික හෙළ උරුමයද කියන්නේ එැබවිනි. ඒ අනුව උතුර සහ දකුණ යා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ සමකයක් නොපවතී. යුද්ධය පෙරට ගෙනයාම දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් මැඩලීමකි. යුද්ධය නවතාලීම සිංහල ජනයාගේ ‛‛ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය’’ට පිටුපෑමකි.
නමුත් උභතෝකෝටිකයන් සේ පෙනෙන මෙය, ඇත්තෙන්ම කරළියට ගෙන එන්නේ උතුර සහ දකුණ වහල්භාවයේ යදමින් බැඳ දමන තක්කඩි දේශපාලන සූත්‍රයයි. වැරදි ප්‍රශ්නය, වැරදි පිරිසෙන් ඇසූ විට ලැබෙන පිළිතුර වැරදි එකකි. ‛යුද්ධය විසඳුමක්දැයි’ යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ යුද්ධයෙන් වටලනු ලැබ, ගුවනින් හෙළන පොකුරු බෝම්බ ප්‍රහාරයන්ගෙන් දිවි ගළවාගන්නට පලායන අවතැන් ජනයා මිස, මැද සාලයට වී ‛වන්නියේ රණහඬ’ සහ මෙගා ටෙලි නාට්‍ය මාරුවෙන් මාරුවට නරඹන දකුණේ රූපවාහිනී ප්‍රේක්‍ෂකයින් නොවේ. අවශ්‍යම නම් ඔවුන්ගෙන් අසන්නට වෙනත් ප්‍රශ්න තිබේ. ඒ ප්‍රශ්න දකුණේ ඔවුන්ගේ අයිතීන් හා ගැට ගැසුණු ඒවා ය.
‛ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන ළමා ජනගහණයෙන් 29%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන රටක රුපියල් බිලියන 200ක් යැය කොට යුද්ධ කිරීම යුතුදැයි’ ඔවුන්ගෙන් ඇසිය හැකි ය. නැතිනම්, ‛තමන්ගේම වූ නිවෙස් හිමි ඇමැතියන් 39 දෙනෙකුට නිවෙස් කුලී වශයෙන් පමණක් වාර්ෂිකව රුපියල් හාර කෝටි හැත්තෑ ලක්‍ෂයක් වැය කරන ආණ්ඩුවක යුද පිළිවෙත ඔබේ ඉරණම යහපත් කරනු ඇතිදැයි?’ අසා බලන්නට පුළුවන. එසේත් නොවේනම් ‛‛ළමා ජනගහණයෙන් 22%කට ආසන්න ප්‍රමාණයක් සායනිකව හඳුනාගත් මානසික ආබාධයන්ගෙන් පෙළෙද්දීත්, හැට ලක්‍ෂයක් ළමුන්ට විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තුන් දෙනෙක් පමණක් සිටින රටක යථාර්ථය යුද්ධයෙන් වෙනස් වනු ඇතිදැයි’’ විමසා බැලීමේ ප්‍රයෝජනයක් තිබේ.
ඒ ප්‍රශ්නවලටත් 75%ක බහුතරයක් ‛ඔව්’ යැයි කියන්නේ නම් ඒ ‛බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය’ භංග කරන්නට වීදි බසින ‛අන්තවාදී සුළුතරයකට’ පක්‍ෂව මම මගේ දෑතම කොන්දේසි විරහිතව ඔසවමි.
2008 දෙසැම්බර්
Print this post
Sunday, December 14, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment