Sunday, December 7, 2008

මුදා නොගත් අනාගතය

Print this post


රාවය | 2008 දෙසැම්බර් 07
......................................................................................................................................

කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටට රැස් වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ බහුජන සංවිධාන පලස්තීන ජනයාට එරෙහි ඊශ්‍රායෙල් රජයේ ප්‍රහාර හෙළා දකිමින් බැනරයකට අත්සන් එකතු කළ නොවැම්බර් මාසයේ අවසාන සතියේදී වන්නියේ අවතැන් ජනයාගේ හිස් මතට රජයේ ගුවන් හමුදා ප්‍රහාරක යානා පොකුරු බෝම්බ හෙලූහ. ලංකාවේ ජාත්‍යන්තරවාදය ආරම්භ වන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවට ඔබ්බෙන් බැවින් ඒ ජාත්‍යන්තරවාදයේ වාසියත් පලස්තීන ජනයාටම හිමි විය. මැයි 03 වෙනිදා ඔස්ලෝ නගරයට රැස් වූ රාජ්‍යයන් 92ක නියෝජිතයින් පොකුරු බෝම්බ භාවිතය අන්තර්ජාතිකව තහනම් කිරීමේ සාමූහික එකඟතාවයකට අත්සන් තැබීමේ ඓතිහාසික සිද්ධිය සළකා බැලූ විට වන්නියට හෙළනු ලැබ ඇත්තේ තොග අවසන් කිරීමේ ප්‍රහාර සේ සැළකිය හැකි ය. ධාරානිපාත වර්ෂාවෙන්ද, සැඩ ගංවතුරින්ද, සුළි කුණාටු කාලගුණයෙන්ද වටලනු ලැබූ පිරමන්දනාරූ සහ උළහවනූර්හී අවතැන් ජනයා පොකුරු ගුවන් ප්‍රහාරයන්ගෙන් ගැළ වී පලා යා නොහැකිව මරු විකල්ලෙන් එහිම වැදහුන් බව දිවි ගළවාගත්තවුන් පවසා තිබිණ. දිවි ගළවාගැනීමේ වාසනාව නොලද 81 හැවිරිදි රාමන් රාමසාමී සහ පස් හැවිරිදි සුදර්සන්ගේ සුන්බුන් සිරුරු යුද්ධයකදී ‛නොවැළැක්විය හැකි සිදුවීම්’ පිළිබඳ සාක්‍ෂි වශයෙන් සැළකුව මනා ය. සමස්ත මානව සංහතියේ විමුක්තිය පිණිස වූ දකුණේ අනුරාගී සටන් පාඨ ‛මුදා නොගත් ප්‍රදේශවල’ දේශ සීමාවලින් දැනට කෙළවර වන බව දෙමළ ජනයා දත යුතු ය.
  
60 වසකට වඩා පැරණි ශ්‍රී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය නිට්ටාවට සුව කරගත හැකි මං පාදන මාහැඟි ඔසුවක් දැන් අපට හමු වී තිබේ. නමුත් අවාසනාවට මෙන් එය පුරා තිස් වසක් තිස්සේ අත්හදා බැලූ එකකි. පැරණි ඔසුවක් වුවද අලුත් වෙදැදුරෙකුගේ අත පත් විට විස්මයජනක ප්‍රතිඵල ළඟ කර දෙනු ඇතැයි යන බහුතරයේ ඇදහිල්ල දැන් උණක් සේ පැතිර යනු පෙනේ. ඒ කෙසේද යත් නැගෙනහිරදී අත්පත් කොටගත් ප්‍රතිඵල මෙනැයි බොහෝදෙනා ලියති. කියති. නමුත් මුදාගත් නැගෙනහිර කතාව පැරණි ඛේදවාචකයන්ගේම දිගුවකැයි ඔවුහු එක්කෝ නොදනිති. නැතහොත් නොතකති. එහි අරුත් පහදලීමට නිදසුන් එමට ය. මේ ඉන් එකකි:


නොවැම්බර් 25 වෙනිදා මඩකළපුවේ එරුවිල් ගම්මානයේදී රජයේ හමුදා සෙබළුන් දෙදෙනකු ඉලක්ක කොට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල වීමෙන් සෙබළුන් දෙදෙනෙකු මරණයට පත්විය. ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත එම ගම්මානයේම නිවසකට කඩා වැදුණු සන්නද්ධ පිරිස් 80 හැවිරිදි කාන්තාවක් ඇතුළු එකම පවුලේ තිදෙනෙක් මරා දැමූහ. ඊට යාබද  කළුදෑවලෛ ගම්මානයේ නිවසකට ඉන් පැය කිහිපයක් ඇතුළත බලහත්කාරයෙන් ඇතුළු වූ අවිගත් පිරිස් තරුණ යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළහ. ඒ 25 වෙනිදාවේම කුරුක්කල්මඩම් හිදී එළවළු වෙළෙන්දෙක්ද, කරුවක්කෙර්නි තරුණ ස්ත්‍රියක්ද, කිම්පන්කෙර්නි හා සෙල්වනගර් ආරයම්පති හිදී තරුණයින් දෙදෙනෙකුද, වවුනතීවු සහ කරවෙට්ටිහිදී තරුණයින් සිව් දෙනෙකුද වෙඩි තබා ඝතානය කළ බවට වාර්තා විය. සාමය සහ සහජීවනය සඳහා වූ දෙමළ - මුස්ලිම් ජන සන්ධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව නොවැම්බර් 25 වෙනිදා මඩකළපු දිස්ත්‍රික්කය තුළ පමණක් මරා දැමුණු සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 16කි. නොවැම්බර් 28 වෙනිදා නිකුත් කර ඇති ප්‍රකාශයක් මගින්, නැගෙනහිර සිදුවන ඝාතනවල වගකීම රජයේ හමුදා භාරගත යුතු බවට චෝදනා කොට තිබුණේ ‛මුදාගත් නැගෙනහිර පළාතේ’ රජයේ ආශිර්වාදය යටතේ පාලනයේ නියුතු මඩකළපු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරුන්ගේම සම්මේලනය විසිනි. එම නිවේදනයට අනුව නොවැම්බර් 26 සහ 27 දෙදින තුළ ඝාතනය වූ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 22කැයි ‛ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය වාර්තා කොට තිබිණ. නමුත් නොවැම්බර් 29 වෙනිදා මඩකළපු දිස්ත්‍රික්කය පුරා සිදුකළ හමුදා සෝදිසි මෙහෙයුම් මගින් 11,000කට වැඩි ජනයා අත් අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 100කට වැඩි පිරිසක් මේ වන විටත් රඳවා තබා ගනු ලැබ තිබේ.
  
උතුරේ අත්පත් කරගැනීමට නියමිත අනාගත ජයග්‍රහණයන් පිළිබඳ හරස්කඩක් සේ ‛මුදාගත් නැගෙනහිර’ සැළකිය යුතුව ඇත්තේ නම්, ඒ පසුපසින් හඹා එන සුවිශාල පරාජයේ හරස්කඩක් වශයෙන්ද වත්මන් නැගෙනහිර පළාත සැළකිය යුතුව තිබේ. නැගෙනහිර පළාතට අදාළ රාජ්‍ය පිළිවෙත පිළිබඳ මේ වනවිට අංක එකේ විවේචකයා බවට පත්ව ඇත්තේ ‛දෙතුන් - දාහකට’ සීමා වී ඇතැයි පැවසෙන ‛වන්නි කොටින්’ නොව, රාජ්‍ය අනුග්‍රහයෙන් මහා ඇමතිධූරයේ අභිෂේක ගැන් වූ පිල්ලෛයාන් හෙවත් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්ම ය. දැනටමත් නැගෙනහිර පළාතේ වර්ධනය වන ඝාතනයන්ට විරෝධය පෑමක් වශයෙන් දෙසැම්බර් 01 වෙනිදා සර්ව පාක්‍ෂික සමුළුව වර්ජනය කිරීමට පිල්ලෛයාන්ගේ නායකත්වය සහිත ටී.එම්.වී.පී. පක්‍ෂය තීන්දු කර තිබිණ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය විසින් එය වර්ජනය කිරීම ගැන මෙහිදී කතාකිරීම දැන් සහමුලින්ම නොවැදගත් කරුණකි.
  
දකුණේ රණකාමී දේශපාලනය විසින් අලුත් වටයකින් ලංකාව කැටුව යමින් තිබෙන්නේ පටන් ගත් තැනට ය. නැගෙනහිර දැනටමත් ඒ තැනට පැමිණ තිබේ. දකුණේ කැමැත්තට දෙපළු කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත්, එහි දිවි ගෙවන ජනයාගේ ජීවන ඉරණමින් යළිත් එක් තැන් කරමින් තිබෙනු දැන් දැකිය හැකි ය. පැහැරගෙන යාම්, අතුරුදහන්වීම්, අත් අඩංගුවට ගැනීම් සහ වධ බන්ධන පැමිණවීම්, ඝාතන, ගුවන් හා ෂෙල් ප්‍රහාර මධ්‍යයේ උතුරු - නැගෙනහිර පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාව තුළත්, ඒ හේතුවෙන්ම ඉන් බැහැරත් ජීවත්වන දෙමළ ජනයා, ඇතැම් විට කිසි කලෙක නොවූ විරූ තරමින් තම සාමූහික ඉරණම පිළිබඳ පොදු අවබෝධයකට මේ මොහොතේ තල්ලු කෙරෙමින් ඇති බව නොදකිනු ඇත්තේ මුග්ධ වර්ගවාදී අඳුරේ ප්‍රීතියෙන් ඔබ මොබ අතපත ගාන්නන් පමණි. ගංවතුරින් සහ සැඩ කුණාටුවලින් වටලනු ලැබ නරකාදියේ හෙළු අවතැන් ජනගහණයකට ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බවලින් පහර දෙන විට පිරමාන්දනාරුවලින් එපිට ද දිවි ගෙවන දෙමළ ජනයාගේ සාමූහික වේදනාව සහ වෛරය අලුත් වටයකින් අවුළුවනු ලබන බව ඔවුහු නොදනිති.

නැගෙනහිර ‛මුදාගත්’ පරිද්දෙන් උතුරු ද මුදාගෙන දකුණේ වීදිවල රතිඤ්ඤා පත්තු කොට මඟුල් බෙර වැයීමට දින ගණිනවුන් විසින් නොදක්නා යථාර්ථය දැන් අසිපතක් මෙන් කාලයේ සිහින් හුයකින් දකුණේ මුදා නොගත් අනාගතයේ හිසට ඉහළින් එල්ලී තිබේ. ඒ  හුය සිඳින්නට නියමිතව ඇත්තේ දෙමළ ජනයාගේ වෛරය විසින් නොවේ. මුග්ධ අඳුරේ ගිල් වූ සිංහල ජනයාගේ අවිචාරය විසිනි.



2008 දෙසැම්බර්

Print this post

0 comments:

Post a Comment