Sunday, December 28, 2008

ලේ තිතක් වූ මව්බිම


රාවය | 2008 දෙසැම්බර් 28
......................................................................................................................................

න්ඩෲ බේස්විච් කොන්සර්වටිව්වාදියෙකි. ඇමරිකානු හමුදාවන්ට එක්ව 1970 ගිම්හානයේ සිට ඊ ළඟ ගිම්හානය දක්වා ඔහු වියට්නාමයේ සටන් කළේය. පළමු ගල්ෆ් යුද සමයේ කර්නල්වරයෙකු වශයෙන් පර්ෂියන් ගල්ෆ් කලාපයේ ක්‍රියා කළ හෙතෙම හමුදා සේවයෙන් විශ්‍රාම ගියේ ‛90 මුල් භාගයේදීම ය. පෙරළා ඇමරිකාවට ආ බේස්විච්, මුලින් ප්‍රින්ස්ටන් සරසවියට ද, දෙවනුව ජෝන් හොප්කින්ස් සරසවියට ද එක්ව ඉගැන්වීමෙහි යෙදුණේය. දැන් ඔහු බොස්ටන් සරසවියේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විෂයයන් උගන්වයි.
  
දෙවෙනි ගල්ෆ් යුද්ධය ඇරඹීමත් සමගම බේස්විච්ගේ පුත්‍රයා ද ඇමරිකානු හමුදාවන්ට එක්ව ඉරාකයට ගියේය. කොන්සර්වටිව්වාදියෙකු වීත්, ජනාධිපති බුෂ්ගේ විදේශ පිළිවෙත කෙරෙහි කළකිරුණු බේස්විච් ඇමරිකානු යුදවාදය විවේචනය කිරීමට පටන්ගත්තේ මේ සමයේදී ය. පුත්‍රයා ඉරාකයේ යුද වදිද්දී, පියා විවෘත යුද විරෝධියෙකු වශයෙන් රාජ්‍ය පිළිවෙත් විවේචනය කළේය. 2007 මැයි මාසයේදී ඉරාකයේ සමාරාවට දකුණින්, සලාහ්-අල්-ඩින් පළාතේ යුද ගිනි ඇවිළ ගිය සටන් බිම් මැද කණිෂ්ඨ බේස්විච් ඇද වැටුණේ ය. ඉක්බිතිව ජාතික ධජයෙන් වැසී ආචාර වෙඩි මුර මැද පෙරළා මව් රට බලා ආවේය. පුත්‍රයාගේ මරණයෙන් බිඳුණු හදැ‛ති ඇන්ඩෲ බේස්විච්, ඒ මැයි මාසයේම 27 වෙනිදා ‛වොෂින්ටන් පෝස්ට්’ පත්‍රයට මෙසේ ලීවේය: ‛‛හොඳ සෙබළෙකු වන්නට මගේ පුතා උපරිමයෙන් කටයුතු කළේය. හොඳ පුරවැසියෙකු සේ ක්‍රියා කරන්නට මම උත්සාහ කළෙමි....සමරු දිනයේදී කථිකයින් විසින්, සෙබළෙකුගේ දිවිය අමිල යැයි කියනු ඇත. එය විශ්වාස නොකරන්න. සෙබළෙකුගේ ජීවිතයට ඇමරිකානු ආණ්ඩුව වෙන්කොට ඇති මිල මම දනිමි. ඒ චෙක්පත මට දැන් ලැබී තිබේ.’’


Sunday, December 21, 2008

‛අරගලකාරී’ තුන් අවුරුද්ද


රාවය | 2008 දෙසැම්බර් 21
......................................................................................................................................

සාමාන්‍යයෙන් මතක තබා ගැනෙන දෙදහස් පන්සිය අවුරුද්දක ඉතිහාස විස්තරයට අයත් නොවන නිසා අමතක වීමට ඉඩ තිබෙන මෑත ඉතිහාසයේ රස කතා බහුල ය. මේ ඉන් එකකි. 2006 නොවැම්බර් 08 වෙනිදා ආණ්ඩුවේ අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කොට, දෙසැම්බර් දෙවන සතියේදී මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමක් ඇමතූ ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී.ලාල්කාන්ත ‛2007 වසර ජනතාව වෙනුවෙන් අරගල කරන වසරක් වනු ඇතැ’යි කියා සිටියේය.  2007 වසරේ නොවැම්බරයේදී යළිත් ආණ්ඩුවේ අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් ඉක්බිතිව දෙසැම්බර් 23 වෙනිදා ‛ලක්බිම’ පුවත්පතට ප්‍රකාශයක් කළ ලාල්කාන්ත, ‛‛2008 පොදු ජනතාව වෙනුවෙන් සටන් කරන වසරක් වනු’ ඇතැයි ප්‍රකාශ කළේය. දැන් යළිත් වර්ෂාවසාන භාර හාර වීමේ සමයයි. ඒ අනුව දෙසැම්බර් 04 වෙනිදා රුපියල් බිලියන 200ක ආරක්‍ෂක වැයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ජවිපෙ සිය ඡන්දය පාවිච්චි කළේය. අනතුරුව, එළඹෙන ‛2009 වර්ෂය රටේත්, ජනතාවගේත් අරගල වසරක් බවට පෙරළන බව’ට සෝමවංශ අමරසිංහ මාතර නූපේදී කැඳ වූ සිය පක්‍ෂයේ මාතර දිසා සමුළුව අමතා ප්‍රකාශ කොට තිබිණ. ඒ අනුව පිට පිට එළඹුණු ‛අරගලකාරී අවුරුදු තුනක්’ නිරුපද්‍රිතව පසුකිරීමේ දුර්ලභ වාසනා මහිමය ලංකාවාසී හුදී ජනයාට ලැබී තිබේ.
  
ජනතා විමුක්ති පෙරමුණ බැලූ බැල්මට ආණ්ඩු විරෝධී ය. ඒ නිසා ඒ හා සම්බන්ධ කම්කරුවෝ වැඩ වරති. ශිෂ්‍යයෝ වීදි බසිති. ආණ්ඩුවේ වැඩ පිළිවෙත් හෙළා දකින සමුළු හා දේශනද, පිකටින් සහ විරෝධතාද, පෝස්ටර් සහ පත්‍රිකාද පෙරටුකොටගත් ජවිපෙ නායකයෝ අවශ්‍ය වෙතොත් ආණ්ඩුව පෙරළා දැමීමට සූදානම් බවට අනතුරු හඟවති. රාජ්‍ය පාලකයෝද ජවිපෙ හිතවාදී කම්කරුවන්ට සහ සිසුන්ට පහර දෙති. මන්ත්‍රී ආසන කොල්ල කති. බෙදා වෙන්කිරීම්ද, වරදානයන්ද, තර්ජනයන්ද යොදා ජවිපෙ මෙල්ල කිරීමට වැර යොදති. ඒ නිසා සෑම අවුරුද්දක් අවසානයේම එළඹෙන අලුත් අවුරුද්ද අරගලවලින් පුරවාලීමේ පොරොන්දුව ජවිපෙ සිය පාක්‍ෂික ජනයා හමුවේ තබයි. නමුත් හැම අවුරුද්දක්ම කලින් අවුරුද්ද තරමටම සාමකාමී සංහිඳියාවෙන් ගෙවී යයි. ජවිපෙ සහ ආණ්ඩුව අතර අවුරුද්ද පුරා ඇවිළෙන ප්‍රදර්ශන කඩු හරඹ සන්දර්ශනයන්ට යටින් මේ සම්මුතියේ දියවැළ සෙමින් ගලා බසියි.


Sunday, December 14, 2008

විපරීත ප්‍රජාතන්ත්‍රවාදය


රාවය | 2008 දෙසැම්බර් 14
......................................................................................................................................

දෙසැම්බර් 10 වෙනිදා කොළඹ දී ජනමත සමීක්‍ෂණ වාර්තාවක් නිකුත් විය. ‛යුද්ධයට ඇති ජනතා පක්‍ෂපාතීත්වය’ ගැන ඒ සමීක්‍ෂණය මෙහෙයවා තිබුණේ පෞද්ගලික මත විමසුම් ආයතනයක් විසිනි. මත විමසීමට භාජනය වූ නියැදියට අයත් පිරිස ගණනින් 500කි. යුද කළාපයෙන් බැහැර ජීවත් වෙන ඒ පන්සිය දෙනාගෙන් 75%ක්ම කල්පනා කරන්නේ යුදමය විසඳුමකට පක්‍ෂපාතීවයැයි ප්‍රංශ පුවත් සේවය එදිනම වාර්තා කොට තිබිණ. පන්සිය දෙනෙකුගෙන් 75%ක් යනු පැහැදිලි බහුතරයකි. බහුතරයේ කැමැත්ත යනු ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ 500 දෙනාගේ නියැදිය දකුණේ පොදු ජන මනෝභාවය සේ සළකන්නේ නම් මේ යුද්ධයට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වන්නේ අන්තවාදීන් සහ ෆැසිස්ට්වාදීන් යැයි සාමාන්‍ය වශයෙන් පිළිගැනේ. ඒ අනුව ‛යුද විරෝධය’ බහුතරයේ කැමැත්තට එරෙහිව යාමකි. ඒ නයින්, අන්තවාදයකි, නොහොත් ෆැසිස්ට්වාදයකි. ඒ අනුව යුදවාදය ප්‍රජාතන්ත්‍රවාදී වී යුද විරෝධය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවට පෙරළේ. ඇතැම්විට මේ තර්කය විපරීත එකකැයි ඇතැමෙක් කල්පනා කිරීමට ඉඩ තිබේ. නමුත් යථාර්ථය විපරීත වූ විට, යථාර්ථවාදී වීම විපරීත පෙනුමක් ගනියි.

මත සමීක්‍ෂණයට සහභාගී වූවන්ට ඉදිරිපත් කළ මූලික ප්‍රශ්නය කෙබඳුදැයි මේ ලියන මොහොත වනවිට මම නොදනිමි. ඇතැම් විට ‛ඔබ පවතින යුද්ධයට පක්‍ෂදැයි’ ඇසුවා විය හැක. නොඑසේනම් ‛ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ යුද්ධයෙන් යැයි ඔබ පිළිගන්නේදැයි’ ඇසුවා වීමටත් ඉඩ තිබේ. එසේත් නැතිනම් ‛සාමය යුද්ධයෙන් උදාකළ හැකිදැයි’ විමසුවා වන්නටද පුළුවන. ඒ වෙනුවට, ‛දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලට ගුවනින් කිලෝ ග්‍රුම් 250 බැගින් වූ බෝම්බ හෙළීමට ඔබ පක්‍ෂදැයි’ ඇසුවා නම් පිළිතුර කුමක් වේ දැයි අනුමාන වශයෙන් හෝ කීම දුෂ්කර එකකි. නොඑසේනම් ‛ගංවතුරින් සහ සුළි සුළඟින් පීඩිත දෙතුන් ලක්‍ෂයක ජනගහණය තවදුරටත් අවතැන් කරන යුදමය ක්‍රියාන්විතයන්ට ඔබ සහාය දෙන්නේදැයි’ ඇසුවේ නම් මේ පිළිතුරම ලැබෙනු ඇතිදැයි යමෙකුට සැක මතු කළ හැකිය. නමුත් නගන ලද ප්‍රශ්නය කුමක් වුවද ලැබී ඇති පිළිතුර දැන් පැහැදිලි එකකි. ඒ, 75%ක බහුතරයක් යුද මග තෝරාගෙන ඇති බව ය. මේ බහුතර මතය ප්‍රජාතාන්ත්‍රික එකකැයි පිළිගන්නේ නම් උතුරේ සහ දකුණේ එකිනෙකට නොපෑහෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උභතෝකෝටිකය දැන් මුණ ගැසේ. එය විමසා බැලීමට තරම් වටිනා එකකි.


Sunday, December 7, 2008

මුදා නොගත් අනාගතය


රාවය | 2008 දෙසැම්බර් 07
......................................................................................................................................

කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටට රැස් වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ බහුජන සංවිධාන පලස්තීන ජනයාට එරෙහි ඊශ්‍රායෙල් රජයේ ප්‍රහාර හෙළා දකිමින් බැනරයකට අත්සන් එකතු කළ නොවැම්බර් මාසයේ අවසාන සතියේදී වන්නියේ අවතැන් ජනයාගේ හිස් මතට රජයේ ගුවන් හමුදා ප්‍රහාරක යානා පොකුරු බෝම්බ හෙලූහ. ලංකාවේ ජාත්‍යන්තරවාදය ආරම්භ වන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවට ඔබ්බෙන් බැවින් ඒ ජාත්‍යන්තරවාදයේ වාසියත් පලස්තීන ජනයාටම හිමි විය. මැයි 03 වෙනිදා ඔස්ලෝ නගරයට රැස් වූ රාජ්‍යයන් 92ක නියෝජිතයින් පොකුරු බෝම්බ භාවිතය අන්තර්ජාතිකව තහනම් කිරීමේ සාමූහික එකඟතාවයකට අත්සන් තැබීමේ ඓතිහාසික සිද්ධිය සළකා බැලූ විට වන්නියට හෙළනු ලැබ ඇත්තේ තොග අවසන් කිරීමේ ප්‍රහාර සේ සැළකිය හැකි ය. ධාරානිපාත වර්ෂාවෙන්ද, සැඩ ගංවතුරින්ද, සුළි කුණාටු කාලගුණයෙන්ද වටලනු ලැබූ පිරමන්දනාරූ සහ උළහවනූර්හී අවතැන් ජනයා පොකුරු ගුවන් ප්‍රහාරයන්ගෙන් ගැළ වී පලා යා නොහැකිව මරු විකල්ලෙන් එහිම වැදහුන් බව දිවි ගළවාගත්තවුන් පවසා තිබිණ. දිවි ගළවාගැනීමේ වාසනාව නොලද 81 හැවිරිදි රාමන් රාමසාමී සහ පස් හැවිරිදි සුදර්සන්ගේ සුන්බුන් සිරුරු යුද්ධයකදී ‛නොවැළැක්විය හැකි සිදුවීම්’ පිළිබඳ සාක්‍ෂි වශයෙන් සැළකුව මනා ය. සමස්ත මානව සංහතියේ විමුක්තිය පිණිස වූ දකුණේ අනුරාගී සටන් පාඨ ‛මුදා නොගත් ප්‍රදේශවල’ දේශ සීමාවලින් දැනට කෙළවර වන බව දෙමළ ජනයා දත යුතු ය.
  
60 වසකට වඩා පැරණි ශ්‍රී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය නිට්ටාවට සුව කරගත හැකි මං පාදන මාහැඟි ඔසුවක් දැන් අපට හමු වී තිබේ. නමුත් අවාසනාවට මෙන් එය පුරා තිස් වසක් තිස්සේ අත්හදා බැලූ එකකි. පැරණි ඔසුවක් වුවද අලුත් වෙදැදුරෙකුගේ අත පත් විට විස්මයජනක ප්‍රතිඵල ළඟ කර දෙනු ඇතැයි යන බහුතරයේ ඇදහිල්ල දැන් උණක් සේ පැතිර යනු පෙනේ. ඒ කෙසේද යත් නැගෙනහිරදී අත්පත් කොටගත් ප්‍රතිඵල මෙනැයි බොහෝදෙනා ලියති. කියති. නමුත් මුදාගත් නැගෙනහිර කතාව පැරණි ඛේදවාචකයන්ගේම දිගුවකැයි ඔවුහු එක්කෝ නොදනිති. නැතහොත් නොතකති. එහි අරුත් පහදලීමට නිදසුන් එමට ය. මේ ඉන් එකකි: