Sunday, November 30, 2008

හඳගම දඩයම

Print this post


රාවය | 2008 නොවැම්බර් 30
......................................................................................................................................

රවින්ද් අදිගාර් ගේ ‛ ද වයිට් ටයිගර්’ නවකතාවේ එන බාල්රාම් හල්වායි ‛කුලීන’ හාම්පුතෙකුගේ බැල මෙහෙකරුවෙකි. ව්‍යවසායකයෙකි. ඝාතකයෙකි. දාර්ශනිකයෙකි. ඉන්දියාවෙන් ලෝකයට ලැබුණු වැදගත්ම දායාදය, ඔහුට අනුව ‛කුකුල් කූඩුවයි’. ඒ කතාව මෙසේ ය: පරණ දිල්ලියේ ජාමා මස්ජිද් පල්ලිය පිටුපස මාර්කැට්ටුවේ මස් පිණිස විකිණීමට ඇති කුකුළන් තදබද දැල් කූඩුවල සිරකොට තිබේ. ආශ්වාස වාතය හිඟ, දුගඳ හමන කූඩුවල එකිනෙකා මත මළ පහ කරමින්, කා කොටා ගනිමින් තමන්ගේ වාරය එනතුරු තෙරපෙමින් සිටින කුකුළන් හා කිකිළියන් පිරීගත් ඒ කූඩුවෙන් පිටත මස්මඩු හිමියා වාඩි වී හිඳියි. මස් කරන ලද සතුන්ගේ අමු ලේ වැකුණු ශරීර අවයව ඔහු ඉදිරිපිට මේසයේ අසුරා තිබේ. සිනහමුසු මස් වෙළෙන්දාගේ තියුණු පිහි තලයට ගොදුරු වූවන්ගේ ලේ සහ මස් වැදැලි තවමත් ජීවත්වන්නවුන්ගේ කූඩුව අවට හාත්පස විසිර පවතී. තමුන්ගේ ඉරණම කුමක්දැයි දැල් කූඩුවේ සිරකොට ඇතිවුන් හොඳින් දනියි. නමුත් කිසිවෙකු ඒ ඉරණමට එරෙහිව කැරළි නොගසයි. කූඩුවෙන් ගැළවී යාමට වෑයම් නොකරයි. බාල්රාම් හල්වායිට අනුව කාළකණ්නි අඳුරේ ගිල්වා දැමූ දුගීන්ගෙන් පිරීගත් ඉන්දියාව ඒ වැනි කුකුල් කූඩුවකි.
  
ඒ කූඩුවේ සිරකොට ඇතිවුන්ගේ ජීවන ඉරණම්වල අඳුරු ඛේදය ඔවුන්ටම පෙන්වීමට තැත් කළහොත් කුමක් වනු ඇතිද? බාල්රාම් විසින් නොනඟන මුත් ඒ ප්‍රශ්නයට ලංකාවේදී පිළිතුරක් තිබේ. ඒ පිළිතුර සපයා ඇත්තේ අශෝක හඳගම විසිනි.


දැන් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව අශෝක හඳගමට එරෙහිව නඩු පවරා තිබේ. ඒ ‛අක්‍ෂරය’ සිනමා පටයේ රංගනය සඳහා බාල වයස්කාර දරුවෙකු යොදාගැනීම මගින් ‛ළමා අපහරණයක්’ සිදු කළේය යන චෝදනාව යටතේ ය. ඒ අනුව හඳගමගෙන් ‛බාල වයස්කාර දරුවන් බේරා ගැනීමේ’ සදාචාරචාරවාදීන්ගේ ශුද්ධ යුද්ධය දැන් තවත් වටයකින් අලුත් වන හැඩකි.
  
සමාජය සහ සිනමාකරුවා අතර ඇති බන්ධන අසව්ව සමකාලීන ජීවන සත්තාවයි. ‛සාමාන්‍ය මිනිසා’ සහ ‛සාමාන්‍ය නිර්මාණකරුවා’ එකම ඉරණමින් බැඳ දමන්නේ ඒ පොදු සත්තාවේ ලේ වැකි යදමෙනි. කවර හෝ මොහොතක පෑගී මියෙන්නට නියමිත කුරා කුහුඹුවන් මෙන් දීන බියසුළුභාවයේ කුරුබිලියක ස්වේච්ඡාවෙන් සිරගත බෙලහීන මිනිසුන් දැවෙන්නේ ඒ ඉරණමෙහි නිරයෙහි ය. හරියටම පරණ දිල්ලියේ මාර්කැට්ටුවේ කුකුළු කූඩු තුළ මෙනි. නමුත් කුරුබිලියක පවා කැරළිකරුවන් පහළ වීමට ඉඩක් තිබේ. කැරළිකරුවා මතු කරන්නේ බලය සහ අධිකාරය පිළිබඳ පිළිගත් සමාජ සැළැස්මට හැම අතින්ම වෙර යොදා පහර දීමේ අනතුරයි. කුකුළු කූඩුවේ යථාර්ථය හෙළිදරව් කිරීම ඒ පහර දීමේම පංගුවකි. තමන්ගේ වාරය එන තෙක් නිරා දුක් විඳින්නන්ට, තමන්ගේ ඉරණම තම ඇසින්ම නැරඹීමට ඉඩ සැළසීම වනාහී මස් වෙළෙන්දන්ගේ සිනහව උදුරා ගැනීමකි. නරකාදියෙහි පැසෙමින් තුටු පහටුවන්නන්ට ඔවුන්ගේම ජීවන සත්තාවෙන් දමා ගසන්නා විසින් මස් වෙළෙන්දා සහ මරණය තෙක් අපාගත කළවුන් අතර සම්මුතිය විසුණු කොට දමයි. අශෝක හඳගමට දමා ගසන විපරීත චෝදනා වු කලී ඒ කැරළිකාරීත්වයට හිලව් පිණිස ගණන් බලා සැළසුම් කොට හඳගමට එල්ල කරනු ලබන දේශපාලන පහරක් සේ සැළකිය යුත්තේ ඒ නිසාවෙනි.
  
ගරුත්වය පිළිබඳ සදාචාර හැඟීම් සහ සාමූහික මිනිස් ධෛර්යය පිළිබඳ අපේ උරුමය මඟහැරුණේ දොරමඩලාවේ ගස් බෙනයක් තුළ  නොවේ. එය මග හැරුණේ දකුණේ මහ පාරවල් අද්දර බල්ලන් - බළළුන් මෙන් මරා පුළුස්සා දැමුණු 60,000ක් මිනිසුන්ගේ අළු ගොඩවල් අතරෙහි ය. එය මඟ හැරුණේ හද්දා පිටිසර ගම් නියම් ගම් තුළ මෘත දේහයක් තියා ගන්නට ඉඩක් නැති දිළිඳු පැල්පත් ඉදිරිපිට සිංහ කොඩියෙන් වසා ප්‍රදර්ශනය කරන දහස් සංඛ්‍යාත යෞවනයින්ගේ දුක් ගිනි දැරූ හදවත් අතරෙහි ය. සල්ලාල මාංශ ලෝලීන්ගේ මනදොළ පිණිස ගණිකා වෘත්තියෙහි යෙදී වේල පිරිමහ ගන්නට බල කෙරුණු 40,000ක් දරු පැටවුන්ගේ සුන්බුන් ජීවිත අතරෙහි ය. වහල්භාවයේ සැමිටියෙන් පහර කෑමෙන් ගිනිජල්ව, අගනුවර පාරවල් අද්දර හිටි හැටියේ පුපුරා යන උතුරේ මිනිස් දූ දරුවන්ගේ විසිරුණු අතුනුබහන් අතරෙහි ය. විකල් සුනාමි ජල කඳින් විසි හතර පැයක් තුළ වතුරට සේදී ගිය තිස් දහසකගේ මිනී කඳු පීරමින් කණකර ගළවාගෙන ජීවත් වන්නට ඉරණම් වුණු දුගී මිනිසුන්ගේ දුක් වේදනා අතරෙහි ය.
  
අශෝක හඳගමගේ දෛව පාපය වූ කලී, ප්‍රීතිමත් මස් වෙළෙන්දන් විසින් වටකොට ගත් බිලි කුකුළන්ගේ මුහුණට මේ කියන සත්තාවෙන් දමා ගසන්නට නොපැකිළීමයි - තමන් අනුයන මූලධර්ම රකිනු වස් තම නිර්මාණයෙන් පමණක් නොව, තම සමස්ත පැවැත්මෙන්ම සටන් කරන්නට පෙන්වූ සූදානමයි. අශෝක හඳගමට එල්ල කොට ඇති චෝදනා, නිර්මාණ නිදහස පිළිබඳ ලාංකීය පරිච්ඡේදයේ නින්දා සහගතම කැළල වශයෙන් ඉතිහාසගත වීමට දැන් නියමිතව තිබේ.
  
ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ ජනරජ හමුදාවන්ට එරෙහිව ජෙනරාල් ෆ්‍රුන්කෝගේ ආධාරයට ආ ජර්මානු සහ ඉතාලියානු ෆැසිස්ට් සේනාවෝ, 1937 අප්‍රේල් මාසයේදී ස්පාඤ්ඤයේ බාස්ක් ප්‍රදේශයන්හිදී ගුවර්නිකා ගම්මානය ගුවනින් බෝම්බ හෙලා සමතලා කළහ. ස්ත්‍රීන් සහ වැඩි මහල්ලන්ගේ සිට ළමා ළපටින් දක්වා වූ දහසකට වැඩි ජනයා ඒ අහසින් ආ මිනීමරු වර්ෂාවට යටව බිම්බත් වූහ. කීර්තිමත් සිතුවම්කරු පිකාසෝ ඒ මිනිස් ව්‍යසනය ‛ගුවර්නිකා’ නමින් සිතුවමට නංවා පැරිසියේ ප්‍රදර්ශනය කළේය. ප්‍රදර්ශනයට ආ ජර්මානු නාට්සි නිළධාරියෙකු, අරාජිකත්වය සහ විනාශය බලසම්පන්නව ප්‍රකාශයට පත්කළ ‛ගුවර්නිකා’ සිතුවමින් වික්‍ෂිප්තව මොහොතකට නැවතී, ‛මේක කළේ ඔහේදැ’යි සිතුවමට ඇඟිල්ල දිගුකොට පිකාසෝගෙන් විමසීය.
  
‛නෑ, ඒක කළේ ඔහේලා’- පිකාසෝ කීවේය.

අශෝක හඳගමගේ ‛අක්‍ෂරයට’ ඇඟිල්ල දිගු කොට ‛මේක කළේ තමාදැයි’ අසන තක්කඩි සදාචාරවාදී චෞරයින්ට දමා ගැසිය යුත්තේ පිකාසෝගේ පිළිතුරෙනි.


2008 නොබැම්බර්

Print this post

0 comments:

Post a Comment