Sunday, November 23, 2008

නොබිඳුණු ස්මරණ

Print this post


රාවය | 2008 නොවැම්බර් 23
......................................................................................................................................

නොවැම්බරය මළවුන්ගේ මාසයයි. දකුණේ උත්සව සිරිය එබැවිනි. රණ විරුවන්ද, ඉල් විරුවන්ද, පොපි විරුවන්ද පිරිවරාගත් ජනයා කොටි නසන යුද්ධයේ අලුත් මෘත ක්ලේබර ගණිමින් උද්දාම වෙති. ජීවත් වන්නවුන්ගේ උළෙලක් බවට පෙරළාගත් මරණය පිළිබඳ මළවුන්ගේ සිතුවිලි මාත්‍ර අපි කිසිවෙක් නොදනිමු. බිම ලා බිඳුණු කැඩපතක් බඳු නොවැම්බරයේ විසිරුණු කැබලිති අතරින් අපේ අතීත මළවුන්ගේ නොමළ සිහින එබිකම් කරයි. මළවුන් මෙන් ජීවත් වන්නට හුරු පුරුදු වූ සමාජයක් තුළ කිසිවෙකුට ඒ සෝබර රහස ඇස නොගැටේ.
  
දකුණේ හද්දා පිටිසරින් ආ මව්පියෝ, ඔක්තෝබර් 27 වෙනිදා සීදුවේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අභියස මේ වසරේත් ළෙහි අත්ගසා වැළපුණහ. විසි වසරකට පෙර දකුණේ දොරින් දොර පැතිර ගිය මර්දනයේ දුමාරයෙන් මැකී ගිය තුරුණු දෑස් අනන්ත ප්‍රමාණයක් සීදුවේ මහ මග අද්දර හුදකලා ස්මාරකයක පිඟන් ගඩොල් අතරේ තවමත් දැල් වී තිබේ. නැසී නොයන වියෝග වේදනාවේ විසි වසරක් තිස්සේ දැවෙමින් කෘෂව ගිය වියපත් මව්පියන්ගේ අඳුරු දෑස් තුළින් ඒ මළවුන්ගේ සිහින තවමත් එබිකම් කරතැයි කී දෙනෙක් දනිත්ද?


දහ දොළොස් අවුරුද්දකට පෙර නෝට්න් බ්‍රිජ් සිට දෙල්කඳ ‛හිරු’ පත්‍ර කාර්යාලයට ආ ගිය හමුදා සෙබළෙකු කාර්යාල පහත මාලයේ අමුත්තන්ගේ කාමරය තුළ හඬා වැළපිණ. රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට අනුබල දීමේ චෝදනා යටතේ 1989දී අත් අඩංගුවට ගැනීමෙන් පසු අත්විඳි වේදනාවන් පිළිබඳ ඔහු කී බිහිසුණු පුවත් අපි කොටස් වශයෙන් පළ කළෙමු. අම්පිටිය පොලිස් වධකාගාරයේදී ගුද මාර්ගය මසනු ලැබ, මරණ බියෙන් අසූචි මිශ්‍ර බත් අනා කෑ අයුරු කියමින් හැඬූ ඒ කෙසඟ මිනිසා දැන් කොහේ වෙත්දැයි නොදනිමි. තම දෑස් ඉදිරිපිටදීම හිසට ගිනි අවුලුවා මරණයට පත් කළ සිය බාල සොහොයුරාගේ අවසාන බිහිසුණු නිමේෂය දැකීමෙන් සදා ඔත්පල වූ ඒ අඳුරු රෝගී දෙනෙත් තුළ මේ නොවැම්බරයේත් ඇතැම්විට ඒ දුක් බියෙහි ගිනි සිළ ඇවිළ යනු නැතිදැයි කවුරුන් දනිත්ද?
  
දහ නව අවුරුද්දකට කලින් පොළොන්නරුවේ මීගස්වැව හමුදා කඳවුරේදී වධ බන්ධනයන්ට ලක්කොට මරා දැමුණු තරුණයෙකුගේ ශරීරයෙන් වෙන් කළ හිස සහ අත-පය සිනහමුසු ජයග්‍රාහී හැඟුමෙන් ප්‍රදර්ශනය කරමින් සමූහ සේයාරුවකට පෙනී සිටි සෙබළුන්ගේ වර්ණ ඡායාරූපය පළමුවරට මා දුටුවේ පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේදී ය. ගළහ පාරේ සරසවි භූමිය මැද පිහිටි අල්විස් පොකුණෙහි බැම්ම වටා 1989දී ප්‍රදර්ශනය කළ තරුණ හිස්  ගෙඩි පිළිබඳ සජීවි මතකය අවදි කළ ශිෂ්‍යයෙකුගේ ප්‍රකාශය සටහන් කොටගත් හෝරාවකින් පසු පෙන් වූ ඒ සේයාරුව නොනැසෙන බිහිසුණුභාවයක පත්ළෙහි එහි වූ සියල්ලන් ගිල්වා දැමීය. ඉන් දෙසතියක් ඇතුළත පුවත්පතෙහි මුල් පිටුවේ පළ වූ ඒ සේයා රුව, ඒ සමයේ මානව හිමිකම් උල්ලංඝණයන්ගේ බිහිසුණු බව කැඩපත් කළ සංකේතාත්මක රුවක් බවට පෙරළුණි. ඒ ඡායාරූපය දැක සසළ වූ මිනිසුන් සිය දහසක් දෙනාගේ ඇතුළු හද ගැබෙහි අඳුරු කුරුබිලියක සැඟවගත් ඒ සිතුම් ඇතැම්විට මේ නොවැම්බරයේත් නොනැසී ඇතැයි කාට නම් කිව හැකිද?
  
භීෂණ සමයේ රජයේ හමුදා ප්‍රහාරයට ලක් වූ කුණ්ඩසාලේ මහවත්ත ගම්මානයට එයින් දෙවසරකට පසු පේරාදෙණියේ කුමුදු බණ්ඩාර සහෝදරයා සමග ගිය ගමන අඳුරු සිහිනයකි. අතුරුදහන් වූ දරුවන් පිළිබඳ ඇවිළ ගිය වියෝ ගිනි ජාලාවෙන් ඒ ගම් පියස ඒ මොහොතේත් වැසී තිබිණ. සිය සැමියාත්, දරුවන් දෙදෙනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබීමේ කතාන්දරය අවසානය වන තෙක් අප හා කියන්නට තැත් කළ වියපත් මවක් දැරිය නොහෙන වේදනාවෙන් දෙතුන් වර සිහි විසඥව ඇද වැටුණු අයුරු දැනුදු මතක ය. ඒ වන් මව්වරුන්ගේ තැවුල් දුක් ගිනි මේ නොවැම්බරය වනවිට නීවී ගොස් ඇතැයි කෙසේ නම් සිතන්නද?
  
මරණයේ චණ්ඩ මාරුත හමා ගිය දකුණේ ගම් නියම් ගම් සිසාරා විසි වසරකින් පසු සන්සුන් නිහඬතාව පැළපදියම්ව ඇතැයි බොහෝවුන් කල්පනා කරති. නොඑසේනම් විසි වසරකින් පසු එළඹි වර්ථමානයේදී අතුරුදහන් වූ දරුවන් සොයා තැන තැන ඇවිද යන විඩාපත් දෙමළ මව්පියන්ගේ කෙසඟ රූ දකුණේ අතීත මිනිස් සංවේගයන් යළි නොඅවුළන්නේ මන්දැයි ඔවුන් විමසයි. දෙදහස් පන්සිය වසරක අතීතය පුනරාවර්ජනය කිරීම දේශප්‍රේමය බවට පෙරළී විසි වසක අතීතය පුනරාවර්ජනය කිරීම දේශද්‍රෝහී වන්නේ ඒ හෙයින් විය යුතුයැයි හඟිමි.
  
‛යථාර්ථය යනු ඉරණමක් නොවේ. එය ඇති සැටියෙන් පිළිගැනීම අපගේ දෛවයක් සේ නියම වී නැතැ’යි ප්‍රකට ලතින් ඇමරිකානු ලේඛක එදුවාර්දෝ ගලියේනෝ වරෙක කීවේය. එය එසේ නම් කිසිවක් කළ නොහැකි සේ පෙනෙන වකවානුවක නරුමවාදීභාවයේ ගිළී යාමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේදැයි සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් විමසා තිබිණ:

‛‛එය කළ හැක්කේ ගරුත්වය පිළිබඳ මතකය ජීවමානව පවත්වාගෙන යාමෙන් - අපි ඉපදුනේ ගිය අවුරුද්දේ නොවන බව නොබියව කීමෙන්’’- ගලියේනෝ කීවේය. ස්වෝත්තමවාදයේ සහ අවස්ථාවාදයේ තේජාන්විත ධජ පතාක අභිමානයෙන් ඔසවාගෙන මුළුමහත් ජන සමාජයක් නරුමවාදය තුළ ගිළී යන වකවානුවක පවා යටපත් කළ නොහැකි විචාර බුද්ධිය සහ මිනිස් ගරුත්වය මේ නොවැම්බරයේත් දිවි ගළවාගනු නැතැයි කාට නම් සහතික කළ හැකිද?



2008 නොවැම්බර්

Print this post

0 comments:

Post a Comment