Sunday, November 30, 2008

හඳගම දඩයම


රාවය | 2008 නොවැම්බර් 30
......................................................................................................................................

රවින්ද් අදිගාර් ගේ ‛ ද වයිට් ටයිගර්’ නවකතාවේ එන බාල්රාම් හල්වායි ‛කුලීන’ හාම්පුතෙකුගේ බැල මෙහෙකරුවෙකි. ව්‍යවසායකයෙකි. ඝාතකයෙකි. දාර්ශනිකයෙකි. ඉන්දියාවෙන් ලෝකයට ලැබුණු වැදගත්ම දායාදය, ඔහුට අනුව ‛කුකුල් කූඩුවයි’. ඒ කතාව මෙසේ ය: පරණ දිල්ලියේ ජාමා මස්ජිද් පල්ලිය පිටුපස මාර්කැට්ටුවේ මස් පිණිස විකිණීමට ඇති කුකුළන් තදබද දැල් කූඩුවල සිරකොට තිබේ. ආශ්වාස වාතය හිඟ, දුගඳ හමන කූඩුවල එකිනෙකා මත මළ පහ කරමින්, කා කොටා ගනිමින් තමන්ගේ වාරය එනතුරු තෙරපෙමින් සිටින කුකුළන් හා කිකිළියන් පිරීගත් ඒ කූඩුවෙන් පිටත මස්මඩු හිමියා වාඩි වී හිඳියි. මස් කරන ලද සතුන්ගේ අමු ලේ වැකුණු ශරීර අවයව ඔහු ඉදිරිපිට මේසයේ අසුරා තිබේ. සිනහමුසු මස් වෙළෙන්දාගේ තියුණු පිහි තලයට ගොදුරු වූවන්ගේ ලේ සහ මස් වැදැලි තවමත් ජීවත්වන්නවුන්ගේ කූඩුව අවට හාත්පස විසිර පවතී. තමුන්ගේ ඉරණම කුමක්දැයි දැල් කූඩුවේ සිරකොට ඇතිවුන් හොඳින් දනියි. නමුත් කිසිවෙකු ඒ ඉරණමට එරෙහිව කැරළි නොගසයි. කූඩුවෙන් ගැළවී යාමට වෑයම් නොකරයි. බාල්රාම් හල්වායිට අනුව කාළකණ්නි අඳුරේ ගිල්වා දැමූ දුගීන්ගෙන් පිරීගත් ඉන්දියාව ඒ වැනි කුකුල් කූඩුවකි.
  
ඒ කූඩුවේ සිරකොට ඇතිවුන්ගේ ජීවන ඉරණම්වල අඳුරු ඛේදය ඔවුන්ටම පෙන්වීමට තැත් කළහොත් කුමක් වනු ඇතිද? බාල්රාම් විසින් නොනඟන මුත් ඒ ප්‍රශ්නයට ලංකාවේදී පිළිතුරක් තිබේ. ඒ පිළිතුර සපයා ඇත්තේ අශෝක හඳගම විසිනි.


Sunday, November 23, 2008

නොබිඳුණු ස්මරණ


රාවය | 2008 නොවැම්බර් 23
......................................................................................................................................

නොවැම්බරය මළවුන්ගේ මාසයයි. දකුණේ උත්සව සිරිය එබැවිනි. රණ විරුවන්ද, ඉල් විරුවන්ද, පොපි විරුවන්ද පිරිවරාගත් ජනයා කොටි නසන යුද්ධයේ අලුත් මෘත ක්ලේබර ගණිමින් උද්දාම වෙති. ජීවත් වන්නවුන්ගේ උළෙලක් බවට පෙරළාගත් මරණය පිළිබඳ මළවුන්ගේ සිතුවිලි මාත්‍ර අපි කිසිවෙක් නොදනිමු. බිම ලා බිඳුණු කැඩපතක් බඳු නොවැම්බරයේ විසිරුණු කැබලිති අතරින් අපේ අතීත මළවුන්ගේ නොමළ සිහින එබිකම් කරයි. මළවුන් මෙන් ජීවත් වන්නට හුරු පුරුදු වූ සමාජයක් තුළ කිසිවෙකුට ඒ සෝබර රහස ඇස නොගැටේ.
  
දකුණේ හද්දා පිටිසරින් ආ මව්පියෝ, ඔක්තෝබර් 27 වෙනිදා සීදුවේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අභියස මේ වසරේත් ළෙහි අත්ගසා වැළපුණහ. විසි වසරකට පෙර දකුණේ දොරින් දොර පැතිර ගිය මර්දනයේ දුමාරයෙන් මැකී ගිය තුරුණු දෑස් අනන්ත ප්‍රමාණයක් සීදුවේ මහ මග අද්දර හුදකලා ස්මාරකයක පිඟන් ගඩොල් අතරේ තවමත් දැල් වී තිබේ. නැසී නොයන වියෝග වේදනාවේ විසි වසරක් තිස්සේ දැවෙමින් කෘෂව ගිය වියපත් මව්පියන්ගේ අඳුරු දෑස් තුළින් ඒ මළවුන්ගේ සිහින තවමත් එබිකම් කරතැයි කී දෙනෙක් දනිත්ද?


Sunday, November 9, 2008

මගේ නොවැම්බරය


රාවය | 2008 නොවැම්බර් 09
......................................................................................................................................

‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි. එක්කෝ උස් මිනිස් දිවියකි. නැතහොත් නිස්සාර මුඩු බිමකි. සතුරන් විසින් වටලනු ලැබ මරණයේ අගාධ ඉමෙහි සිටගත් මිනිසුන් පවා නිදහස පිළිබඳ සිහින අත් නොහරින්නේ එබැවිනි. යුක්ති ධර්මය කෙරෙහි නොසිඳෙන මිනිස් අනුරාගය ඒ සිහින මොළවාලන ගිනි සිළයි.
  
නොවැම්බර් මාසය, එවැනි අග්නි ජාලාවකින් ශේෂ වූ ගිනි පුළිඟු සැඟවුණු අතීත මතක සොහොනකි. ඒ මතක සොහොනෙහි අමතකව ගිය එක් ගිනි පුළිඟුවක් දහ නව අවුරුද්දකට පෙර මගේ ජීවන කුරුසිය බවට පෙරළිණ. ඒ රංජිත් රත්නායක සහෝදරයාගේ මරණයෙනි.