Sunday, October 26, 2008

අපේ බිඳුණු කේතලය

Print this post


රාවය | 2008 ඔක්තෝබර් 26
......................................................................................................................................

ස්ලෝවෝයි ජිජැක් ස්ලෝවේනියානු චින්තකයෙකි. සංස්කෘතික අධ්‍යයනයන් පිළිබඳ ක්‍ෂේත්‍රයේ එල්විස් ප්‍රෙස්ලි ලෙස ඇතැම්හු ඔහු හඳුන්වති. සමකාලීන යුරෝපා හා ඇන්ග්ලෝ-ඇමරිකානු ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් බහුතරයකගෙන් ජිජැක් වෙනස් වන වැදගත් ලක්‍ෂණයක් තිබේ. ඒ මාක්ස්වාදය තරමටම, ලෙනින්වාදයේත් ප්‍රහාරාත්මක ආරක්‍ෂකයෙකු වශයෙන් සම්මුති රහිතව පෙනී සිටීමට ඔහු දක්වන කැමැත්තෙනි. අවුරුදු දෙක තුනකට කලින් ඉරාක යුද්ධය ගැන Iraq: the borrowed kettle  මැයෙන් ඔහු පොතක් ලීවේය. සිහින පිටුපස ඇති ගුප්ත තර්කනය පැහැදිලි කරන්නට ෆ්‍රොයිඩ් යොදාගත් ‛ණයට ඉල්ලා ගත් කේතලය’ පිළිබඳ සංශෝධිත උපහාස කතාව ජිජැක් සිය කෘතියේ ආවර්ජනය කරයි. වැඩිපුරත් පැහැදිලි කොට කිවතොත් ෆ්‍රොයිඩ්ගේ කතාව මෙසේය:
  
‛අයෙක් ණයට ඉල්ලා ගත් කේතලයක් පෙරළා අයිකරුට භාරදෙන විට එහි යම් කොටසක් බිඳී තිබිණ. ණයට ඉල්ලා ගත් අය ඒ ගැන සිය තර්කය ගොඩනගන්නේ මෙසේය - මම ඔබෙන් කේතලය ණයට ඉල්ලා නොගතිමි: මම කේතලය ආපසු ඔබට භාරදෙන විට එය හොඳින් තිබිණ: මම ඔබෙන් කේතලය ඉල්ලා ගන්නා විටත් එය බිඳී තිබිණ.’ - ඉරාකය පිළිබඳ වත්මන් ඇමරිකානු සිතීමෙහි තර්කනය පැහැදිලි කිරීමට ජිජැක් යොදාගන්නේ ඉහත කතාවයි.


මේ බිඳුණු කේතල් කතාව වෙනත් අරුතකින් අපේ සමකාලීන යථාර්ථයට ගැළපේ. ඒ ගැළපෙන්නේ මෙසේ ය.
  
අපේ යුද්ධය පුපුරා ගියේ අඩුම ගණනේ තිස් අවුරුද්දකට කලිනි. සහේතුකව කල්පනා කළ දකුණේ බොහෝ දෙනෙක් ඒ වකවානුවේ ඒ ගැන කල්පනා කළේ වෙනස් විදියකට ය. ඒ කල්පනාවන්ට අනුව ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ රාජ්‍ය පාර්ශ්වයෙනි. සාමකාමී විරෝධතා මගින් ප්‍රකාශ වන ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ප්‍රචණ්ඩ බලයෙන් මැඩ ලූ විට ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් ඇවිලේ. උතුරේ අවිගත් දෙමළ තරුණ පරම්පරාවන් යනු රාජ්‍ය ප්‍රචණ්ඩත්වය විසින් ඒ මගට තල්ලු කළවුන් වේ. හරියටම අවිගත් සිංහල තරුණයින් මෙනි.
  
මේ අනුව තිස් අවුරුද්දකට කලින් පවා සිදුව තිබූ අකටයුතුකම් හේතු කොටගෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනගහණයෙන් 49.5%ක්, වෙන්ව ජීවත්වීම මැනවැයි ‛77 මැතිවරණයේදී සිය ඡන්දයෙන් ඇඟවූහ. ඒ සමයේ දෙමළ ජනයා මං මාවත්වලදී අද මෙන් පැහැර ගැණුනේ නැත. එක් සමූහ සොහොන් බිමක්වත් උතුරෙන් හෝ නැගෙනහිරින් හමු වී නොතිබිණ. එක් දෙමළ තරුණයෙක් හෝ තරුණියක් මිනිස් බෝම්බයක් බවට පෙරළී දකුණේ වීදියක පුපුරා ගොස් නොතිබිණ. මහා පරිමාණ අවතැන් වීම් හෝ ආහාර සහ ඖෂධ සම්භාධක කෙතරම් ව්‍යසනයන් ඇති කරනු ඇතිදැයි කිසිවෙකුට අවබෝධයක් නොතිබිණ. කිලෝ 250 සිට කිලෝ 1000 දක්වා බෝම්බ දෛනිකව ගුවනින් හෙළීමෙහි ප්‍රතිවිපාක කෙබඳුදැයි එකදු දෙමළ වැසියෙක් හෝ දැන සිටියේ නැත. මේ කිසිත් නොමැතිව පවා මුහුණ දුන් වෙනස්කම් හේතුවෙන් වෙන්ව ජීවත්වීමට ඇත්නම් මැනවැයි උතුරු - නැගෙනහිර ජනගහණයෙන් අඩක්ම  ඒ වනවිටත් කල්පනා කළ හ.
  
නමුත් යුද්ධය ඇදී ගිය තිස් අවුරුද්දකින් පසු දකුණේ අලුත් කල්පනාවන් පහළ වී ඇති සෙයකි. අනේක විධ සංවාද ඔස්සේ සමාජගත වෙන ඒ කල්පනාවන්ට අනුව අතීතයේදී ‛ජාතික ප්‍රශ්නය’ වශයෙන් පිළිගත් අර්බුදය දැන් වෙනස් බෙදුම් ඉරකින් දෙපළු කොටගෙන තිබේ. ඒ අනුව දැන් යුද්ධය වනාහී ‛ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‛ත්‍රස්තවාදය’ අතර ද්වන්ධ යුද්ධයකි. ඒ පිටුපස ඉතිහාසයක් නොපවතී. ඉතිහාසයක් තිබුණද දැන් එහි අදාළත්වයක් නැති තරම් ය. අපි නරක නම් බහුතරයක් දෙමළ ජනයා දකුණේ ජීවත් නොවේ. ඉන් හැඟවෙන්නේ අපි හොඳ බව ය. යුද්ධය වනාහී වන්නියේ හාර ලක්‍ෂයකට ආසන්න ජනගහණයකට අපේ හොඳකම විඳින්නට ඉඩ ප්‍රස්ථා සැපයීමේ වෑයමකි.  දෙමළ ජනයාගේ අයිතීන් පිළිබඳ ඉල්ලීම් හෝ දකුණේ ආණ්ඩුවල පාලන පිළිවෙත් පිළිබඳ විරෝධාකල්ප හෝ දැන් යුද්ධයෙහි කොටසක් නොවේ. යුද්ධය දේශපාලන ක්‍රියාවක් වන හෙයින් යුද්ධය යනුම දේශපාලන විසඳුමකි.  ඒ අනුව යුද්ධය දිනූ විට රාජ්‍ය සාහිත්‍ය උළෙල කිලිනොච්චියේ පැවැත්විය හැකි අතර යාපනයෙන් බස්වල නැග කොළඹ එන ක්‍රීඩකයින්ට සුගතදාස ක්‍රීඩාංගණයේ පාපන්දු සෙල්ලම් කිරීමට පුළුවන.
  
තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයේ සෘජු ගොදුර බවට පෙරළාගත් දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන සන්සුන් සංවාදවල යෙදෙන්නට අපට තවමත් කාලය තිබේ. ඝාතනයට සහ අවතැන්වීමටත්, පැහැර ගැනීම් සහ අත් අඩංගුවට ගැනීම්වලටත්, වධ හිංසාවන්ට සහ අතුරුදහන්වීම්වලටත් දෛනිකව ගොදුරුවන ජන කොටසකගේ ඉරණම ගැන සන්සුන් සංවාදවල නියැලීම ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසයකැයි අපි කල්පනා කරමු. ඒ සංවාදයන්ට ඉඳහිට හෝ සම්බන්ධ වී දෙමළ ජනයාගේ ආකල්ප කියා පෑමට තැත්කළ කුමාර් පොන්නම්බලම් හෝ නඩරාජා රවිරාජ් හෝ ත්‍යාගරාජා මහේෂ්වරන් ගොදුරුවූයේ ප්‍රජාතන්ත්‍රවාදයටද - ත්‍රස්තවාදයටදැයි යන්න ඇසීම දැන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආන්තිකකමකි. එය අමතක කළ විට යුද්ධයත්, දෙමල ජනයාගේ ප්‍රශ්නත් නිවීහැනහිල්ලේ නරඹන්නට හැරගත් අපේ සංවාද කවුලු තවත් තිස් අවුරුද්දක් කල් වුවද වසන්නට අවශ්‍ය නොවේ.
  
තිස් අවුරුද්දක් අවසානයේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන අපේ සංවාදයන් ජිජැක් විසින් උපුටා දක්වන ෆ්‍රොයිඩ්ගේ ‛ණයට ඉල්ලා ගත් කේතල් කතාවේ’ සැඟවුණු උත්ප්‍රාසයම යළිත් පරාවර්ථනය කරයි. ඒ මෙසේය:  ‛අපි දෙමළ ජනයාට අසාධාරණයක් නොකළෙමු. අපට දෙමළ ජනයා සමඟ ප්‍රශ්න ඇති වුවද අපි අසාධාරණයක්  නොකළෙමු. අපෙන් අසාධාරණයක් වුවද ඊට වඩා අසාධාරණයක් ඔවුන් විසින්ම ඔවුන්ට සිදුකරගෙන තිබේ.’



2008 ඔක්තෝබර්

Print this post

0 comments:

Post a Comment