Sunday, October 19, 2008

යුද ගිනි සහ සාගිනි

Print this post


රාවය | 2008 ඔක්තෝබර් 19
......................................................................................................................................

න්නියට දුර මැනීම දැන් අපේ ජාතික ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාවෙහි ලොල් සොරදෙටු මහල්ලෝ තරුණ මෘත දේහ ජාතික කොඩිවලින් වසා තුටු පහටු වෙති. දේශහිතෛශීන්ගේ ගණිත විනෝදයට අනුව දෙමළ මළ සිරුරුවලින් සිංහල මළ සිරුරු අඩු කළ විට ජයග්‍රහණයේ රහස ඉලක්කම්වලින් ලැබේ. උතුරේ ඉල්ලීම් තලා දමන තෙක් දකුණේ ඉල්ලීම් හකුළාගැනීම දේශප්‍රේමය සේ පිළිගැනෙන්නේ ඒ අනුව ය. කිලිනොච්චියේ හෙට අනිද්දාම ළෙල දෙනු ඇතැයි අපේක්‍ෂිත සිංහ කොඩිය දකුණේ දවසින් දවස ගැඹුරුවන මිනිස් දුක් වේදනාවන් සමනය කරන විසඳුම් මාර්ග පාදා දෙනු ඇතැයි බොහෝ දෙනා අදහති. කලින් කලට කොළඹ රැස්කන බඩගිනි සිංහ සේනාවන් හමුදාවන්ට කොඩි වනමින් පොලිසියෙන් ගුටි කන්නේ එබැවිනි.
  
2009 අවුරුද්ද සඳහා ඉදිරිපත් කොට ඇති විසර්ජන පනත් කෙටුම්පතට අනුව සෞඛ්‍යයට වෙන්කළ රාජ්‍ය ප්‍රතිපාදන පංගුව රුපියල් බිලියන 57කි. අධ්‍යාපනයට බිලියන 46කි.  කෘෂිකර්මයට බිලියන 42කි. ආපදා සහන සේවාවන්ටත්, ප්‍රවාහනය නංවාලීමටත් බිලියන 32කි. මේ සියල්ලෙහි එකතුව ජාතික ආරක්‍ෂාවට වෙන් කර ඇති රුපියල් බිලියන 177ට සම වේ. ආරක්‍ෂාව සඳහා වූ ප්‍රතිපාදන 2006 අවුරුද්දට සාපේක්‍ෂව 2007 අවුරුද්දේදී 40%කින් වැඩි කෙරිණ. ඊට සාපේක්‍ෂව බලතොත් මේ අවුරුද්දේ එය තවත් 9.9%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. නමුත් ළමා සංවර්ධනයට වෙන්කළ මුදල ඉකුත් වසරට සාපේක්‍ෂව මිලියන 135කින්ද, ආපදා කළමනාකරණ ප්‍රතිපාදන මිලියන 368කින්ද, පළාත් පාලන ප්‍රතිපාදන බිලියන 4.2කින්ද, ප්‍රවාහන පහසුකම් නංවාලීමේ ප්‍රතිපාදන බිලියන 9.1කින්ද කප්පාදු කොට තිබේ.


ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට ලැබිය යුතු අවම ශක්ති ප්‍රමාණය කිලෝ කැලරි 2030කි. නමුත් ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ 2006/2007 ආහාරමය ශක්ති පරිභෝජන සංගණනයන්ට අනුව ජනගහණයෙන් 50.7ක් ජීවත්වන්නේ මේ අවම කැලරි පරිභෝජන මට්ටමට පහතිනි. නාගරික ජනගහණයෙන් 65%ක් මේ කැලරි පරිභෝජන මට්ටම්වලින් පහත ජීවත් වන විට ග්‍රාමීය ජනගහණයෙන් 82%ක් පිළිගත් ජාතික දරිද්‍රතා රේඛාවට පහතින් ජීවත් වෙති. කෝටි 17,700ක් වැය කොට ආරක්‍ෂා වන ජාතියක ජනගහණයෙන් ලක්‍ෂයකට ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් 4.8කි. සාමාන්‍ය වෛද්‍යවරුන් 55 දෙනෙකි.
  
මානසික සෞඛ්‍ය පිළිබඳව ඔක්තෝබර් 07 වෙනිදා කොළඹ දී පැවැති වැඩමුළුවකදී වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් කරන ලද අනාවරණයකට අනුව ජනගහණයෙන් 10%ක් කවර හෝ ආකාරයේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙයි. යුද්ධයත්, විරැකියාවත්, අප්‍රමාණවත් ආදායම් මට්ටම් සහ දුගීභාවයත් ඊට හේතු වී ඇතැයි ඔහුගේ අදහසයි. නමුත් ජනගහණයෙන් දහයෙන් පංගුවක් මානසික ආබාධයන්ට ගොදුරු වූ මේ ජාතිය ගොඩනැංවීම පිණිස ඇමතිවරුන් 6 දෙනෙක්ම දිවා රෑ කැපව සිටියි. ඒ ඇමැතිවරුන්ගේ පරිභෝජනය පිණිස කැප වූ නිල වාහන 43කට වැය කරන මාසික ඉන්ධන වියදම පමණක් රුපියල් 752,00කි. 2006 ජනවාරි පළමුවෙනිදා රුපියල් 29,000සිට 47,000 දක්වා වැඩි කළ ඇමති වැටුප් තල, 2007 ජනවාරි 01 වෙනිදා යළිත් රුපියල් 65,000 දක්වා ඉහළ දැමිණ. 2009 සඳහා වූ අයවැයේදී යළිත් ඉහළ නංවනු ඇතැයි දැනටමත් අපේක්‍ෂිත මේ වැටුප් තලයන්ට හිමිකම් කියන ඇමතිවරු 86 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමතිවරු 21 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ සිටියි. ඔවුන් සඳහා වූ අවශේෂ දීමනා සහ වරප්‍රසාදයන් ඉහත ආදායම් මාර්ගයන්ට අමතර වශයෙනි.
  
ඔක්තෝබර් මාසයේ 10 වෙනිදායින් අවසන් වූ සතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ තෝරාගත් ආර්ථික දර්ශකයන් පිළිබඳ වාර්තාවට අනුව 2007 අවුරුද්දේ ඔක්තෝබරයේ විදේශ ණය බර රුපියල් බිලියන 1,246ක්ව තිබිණ. මේ ඔක්තෝබරය වන විට එය බිලියන 1,397කි. ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතයද, දළ දේශීය  නිෂ්පාදිතයේ පංගුවක් වශයෙන් සළකතොත් දකුණෙු ආසියාවේ ඉහළම ආරක්‍ෂක වියදම් ප්‍රතිශතයද ළඟා කරගැනීමේ අභිමානය ශ්‍රී ලංකාවට හිමිවීම මීට අතිරේකව ලද ජයකි.
  
ඔක්තෝබර් 13 වෙනි සඳුදා එගොඩඋයනේ සුනන්දෝපනන්ද විදුහල් කඳවුරේද, කොරළවැල්ලේ සුගත ධර්මෝදය කඳවුරේද, මෝල්පේ සහ අඟුලානේ පොදුජය විදුහල් කඳවුරුවලද,  රත්මලානේ සළුසලවත්තේ හා වාරි මාර්ග කඳවුරේද සිව් අවුරුද්දක් තිස්සේ නිරා දුක් විඳි දහසකට ආසන්න සුනාමි සරණාගත ජනයා කඳවුරුවලින් මහමඟට ඇද දැමීමේ නියෝගයට එරෙහිව මොරටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා ගාලුපාර අවහිර කරමින් උද්ඝෝෂණය කළහ. ඒ සඳුදාවේම වවුනියාවෙන්, මන්නාරමින්, හා කිලිනොච්චියෙන් අවතැන් වූ දස දහස් සංඛ්‍යාත ජනයා මෝසම් වැසි ළං වෙන වන්නියට එල්ල වන ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරයන්ගෙන් ගැළවෙනු වස් මුලතිවු දෙසට පලා යමින් සිටියහ.

දකුණේ දළුලන දුක් දොම්නස් වේදනාවන් පාගා මැඩලන්නෝ, උතුරේ ඇවිළෙන මිනිස් දුක් සංතාපයන්ද පොකුරු වෙඩි වර්ෂාවන්ගෙන් තව තවත් ගැඹුරු කරතැයි දකුණේ පීඩිත ජනයා නොඅදහති. මහමාරියක් සේ දොරින් දොර පැතිර යන විකල් වර්ගවාදයේ වසංගත අඳුරින් උතුර - දකුණ ගැට ගසන පීඩිතභාවයේ පොදු ඉරණමේ රැහැන් තවදුරටත් වසන්ව ඇත්තේ ඒ හෙයිනි. විචාර බුද්ධියත්, තර්ක ශක්තියත් අහිමි කරන ලද සමාජයක් තමන්ට හෝ අනෙකාට හිමි පොදු මිනිස් ගෞරවය යනු කුමක්දැයි නොදනී. එවැනි මිනිස් රංචුවක් පාලනයට රුචි සොරදෙටුවන්ට, දේශප්‍රේමය කදිම කෙවිටකි.


2008 ඔක්තෝබර්

Print this post

0 comments:

Post a Comment