Print this post
රාවය | 2008 ඔක්තෝබර් 12
......................................................................................................................................
2006 ඔක්තෝබරයේදී ‛වන්නි කොටින්’ගෙන් නැගෙනහිර ගළවා ගෙන අලුත්කඩේ උසාවි සංකීර්ණයේ හිණි පෙළ ප්‍රමෝදයෙන් බැස ආ ජනතා විමුක්ති පෙරමුණට, 2008 ඔක්තෝබරයේදී නැගෙනහිර කොටින්ගෙන් මන්ත්‍රී ආසන ගළවා ගැනීම පිණිස ඒ හිණි පෙළම යළිත් නගින්නට සිදුව තිබේ. ‛රාජපක්‍ෂ ආණ්ඩුවේ සදාචාරය මේකදැයි’ අසන දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරය ඒ වෙනුවෙනි. කොටින්ටත්, ජවිපෙටත් එකවර පහර වැදීමේ ප්‍රීතියෙන් ඔද වැඩුණු විමල් වීරවංශ සුරත කරුණාටද, මුහුණ කැමරාවටද දීගත් සේයාරුවක් ‛දිවයින’ පත්තරයේ පළ වී තිබිණ. නැගෙනහිර ‛මුදාගෙන’ දැන් අවුරුදු එක හමාරකි. කරුණා අම්මාන් පාර්ලිමේන්තුවටද, නැගෙනහිර ජනයා පොලිස් ස්ථානවලටද කැඳවනු ලැබ ඇත්තේ ඒ නිමිත්තෙනි. දකුණේ දවස් ගෙවී යන්නේ එපරිදි ය.
නැගෙනහිර නාටකයම උතුරේ වේදිකාවල ඉක්මණින් රඟ දැක්වෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති. දැන් සටන් ඇවිළ යන්නේ කිලිනොච්චි මායිමේ බැවින් හුදී ජන ආතතිය තව තවත් නැංවේ. යුද ටැංකි, කාල තුවක්කු සහ ගුවන් ප්‍රහාර පෙරටු කොටගෙන දකුණින් එන ‛ප්‍රජාතන්ත්‍රවාදයේ පණිවුඩයෙන්’ සංත්‍රාසයට පත් කිලිනොච්චියේ ජනයා උන්හිටි තැන් අතහැර මුලතිවු දෙසට පලා යති. වන්නියේ සහන සේවා කණ්ඩායම්වල අන්තර් නියොජිතායතනයන්ගේ ස්ථාවර කමිටුව ඉකුත් සතියේ නිකුත් කළ වාර්තාවන්ට අනුව ඔක්තෝබර් 02 වෙනිදා වන විට කිලිනොච්චියේ අවතැන් ජන පිරිස 66,707කි. මුලතිවුහි 147,313කි. මේ සා විශාල වූ අවතැන් ජනගහණය වවුනියාවට පලා නොඑන්නේ කොටින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑම් නිසා යැයි ආණ්ඩුව කියයි. ඒ කතාවේද ‛ඇත්තක්’ සැඟව තිබේ. උත්සන්න කෙරෙන ගුවන් හා කාල තුවක්කුවල ප්‍රහාර වල හැටියට, වන්නියේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ නම් මේ ජනගහණය අවතැන් විය යුතුව ඇත්තේ වවුනියාවට බව ආණ්ඩුව දනියි. ඒ අනුව ‛ප්‍රජාතන්ත්‍රවාදයේ’ බලපෑමෙන් කිලිනොච්චිය අත්හැර යන ජනයා ‛ත්‍රස්තවාදයේ’ බලපෑමෙන් මුලතිවුවලට පලා යති. ඒ නිසා කිලිනොච්චියේ ජනයාට කොට්ටා, පැදුරු හා මදුරු දැල් බෙදා දී අපේ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨකම් සහ සහෝදරකම් වවුනියාවේදී පෙන්වන්නට තිබූ ඉඩකඩ තවමත් අවුරා දමා ඇත්තේ ත්‍රස්තවාදය විසිනි.
ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර වෙනස සළකුණු වන්නේ කුමකින්ද යන්න ගැන න්‍යායික තර්ක - විතර්ක පසෙක ලෑ විට එය වටහා ගත හැකි සරල විද්‍යාවක්ද තිබේ. ඉකුත් සැප්තැම්බර් 07 වෙනිදා ‛ඉරිදා දිවයින’ පත්‍රයේ පළ වූ ආරක්‍ෂක ලේකම්වරයාගේ සම්මුඛ සාකච්ඡාව කදිම නිදසුනකි. ඔහු මෙසේ කියයි: ‛‛කොටි සංවිධානය මේ වනවිට ගුවනින් හය වතාවක් පමණ බෝම්බ හෙළා තිබෙනවා. එම කාලය තුළ අපේ ගුවන් හමුදාව 6,000 වතාවක් පමණ බෝම්බ හෙළා තිබෙනවා. කොටි සංවිධානය ගුවනින් හෙළන බෝම්බයක බර කිලෝ ග්‍රෑම් 30ක් පමණ වෙනවා. එක් ගුවන් යානයකින් ඔවුන්ට රැගෙන ආ හැක්කේ බෝම්බ දෙකක් පමණ ප්‍රමාණයක් පමණයි. නමුත් අප ගුවනින් කිලෝ ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 1000 දක්වා බරකින් යුතු බෝම්බ හෙළනවා. ඒ අනුව බැලුවාම කොටින්ගේ ගුවන් ප්‍රහාර ඉතා සුළු ඒවා බව පැහැදිලි වෙනවා.’’
ඒ පැහැදිලි කිරීම අනුව හය මාසයක් ඇතුළත ‛ත්‍රස්තවාදීන්’ හෙලූ බෝම්බ ප්‍රමාණයේ අවම පිපිරුම් බලපෑම කිලෝ ග්‍රෑම් 360කි. ඒ හය මාසය තුළම ‛ප්‍රජාතන්ත්‍රවාදීන්’ හෙලූ බෝම්බ ප්‍රමාණයේ අවම පිපිරුම් බලපෑම කිලෝ ග්‍රෑම් පහළොස් ලක්‍ෂයකි. කිලෝ තුන්සිය හැටකට කිලෝ පහළොස් ලක්‍ෂයකින් පිළිතුරු දීම ත්‍රස්තවාදයට මුහුණදීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. උතුරේ ජනයාට තෝරාගන්නට ඇත්තේ මේ දෙකින් එකකි. ‛අපේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබේ ත්‍රස්තවාදයට වඩා බිහිසුනු බව’ දෙමල ජනයාට ඒත්තු ගැන්වීමේ අභියෝගය ආණ්ඩුව භාරගෙන තිබේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ත්‍රස්ත වන්නෝ වවුනියාවට පලා ආ යුතු වෙති.
යුද බියෙන්, රෝ බියෙන් හා සා ගින්දරින් වටලනු ලැබූ වන්නියේ දෙමළ ජනයා ‛ප්‍රජාතන්ත්‍රවාදයෙන්ද’ වටකරනු ලැබ තිබේ. ‛මානුෂීය මෙහෙයුම්’ යනු ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රායෝගික වැඩ පිළිවෙත යැයි දකුණේ බහුතරයක් දෙනා අදහති. අළු ධූලි සහ ලේ මතින් නැගීගත් වන්නියේ මිනිස් අපේක්‍ෂා යළිත් අළු ධූලි සහ ලේ බවට පෙරළන කිලෝ පහළොස් ලක්‍ෂයක බෝම්බ ප්‍රහාරයන්ද ඒ මානුෂීය මෙහෙයුම්වල කොටසකි. උතුරේ දවස් ගෙවී යන්නේ එපරිදි ය.
‛මානුෂීය මෙහෙයුම්’ පිළිබඳ බැනර් පෙරටු කොටගෙන 2003 මාර්තුවේදී සුණු විසුණු වූ බැග්ඩෑඩයට ඇතුළු වූ ඇමරිකානු හමුදා ‛යුද ඉතිහාසයේ පවිත්‍රම යුද්ධය මෙය යැයි’ නිවේදනය කර සිටියේය. ඒ ‛පවිත්‍ර යුද්ධය’ ගැන ඇමරිකානු යුද විරෝධී කිවිඳියක වූ පැට්‍රීෂියා වෙලින්ග්හැම් මෙසේ ලීවාය:
‛‛කියව ඒ බැව්,
ලෙයින් පෙඟුනු වැල්ලෙහි
ඇස් උගුල්ලා බුදින ගිජුලිහිණින්ට...
‛‛කියව ඒ බැව්,
විසුණු වූ සිරුරු තුළ
සිය අවසන් පැතුම් නලවන
පියවරුන්හට...
කියව ඒ බැව්,
සංතාපයේ පර්දාවෙන් වැසී
සිය මළවුන් නහවන
මවුන් හා අඹුන්හට...
කියව ඒ බැව්,
සා පිපාසාවෙන් විකල් වී
නටබුන් අතර තනිව
ඉබාගාතේ යනෙ’න
දරු සිඟිත්තන්හට..’’
2008 ඔක්තෝබර්
Print this post
Sunday, October 12, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment