Sunday, October 26, 2008

අපේ බිඳුණු කේතලය


රාවය | 2008 ඔක්තෝබර් 26
......................................................................................................................................

ස්ලෝවෝයි ජිජැක් ස්ලෝවේනියානු චින්තකයෙකි. සංස්කෘතික අධ්‍යයනයන් පිළිබඳ ක්‍ෂේත්‍රයේ එල්විස් ප්‍රෙස්ලි ලෙස ඇතැම්හු ඔහු හඳුන්වති. සමකාලීන යුරෝපා හා ඇන්ග්ලෝ-ඇමරිකානු ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් බහුතරයකගෙන් ජිජැක් වෙනස් වන වැදගත් ලක්‍ෂණයක් තිබේ. ඒ මාක්ස්වාදය තරමටම, ලෙනින්වාදයේත් ප්‍රහාරාත්මක ආරක්‍ෂකයෙකු වශයෙන් සම්මුති රහිතව පෙනී සිටීමට ඔහු දක්වන කැමැත්තෙනි. අවුරුදු දෙක තුනකට කලින් ඉරාක යුද්ධය ගැන Iraq: the borrowed kettle  මැයෙන් ඔහු පොතක් ලීවේය. සිහින පිටුපස ඇති ගුප්ත තර්කනය පැහැදිලි කරන්නට ෆ්‍රොයිඩ් යොදාගත් ‛ණයට ඉල්ලා ගත් කේතලය’ පිළිබඳ සංශෝධිත උපහාස කතාව ජිජැක් සිය කෘතියේ ආවර්ජනය කරයි. වැඩිපුරත් පැහැදිලි කොට කිවතොත් ෆ්‍රොයිඩ්ගේ කතාව මෙසේය:
  
‛අයෙක් ණයට ඉල්ලා ගත් කේතලයක් පෙරළා අයිකරුට භාරදෙන විට එහි යම් කොටසක් බිඳී තිබිණ. ණයට ඉල්ලා ගත් අය ඒ ගැන සිය තර්කය ගොඩනගන්නේ මෙසේය - මම ඔබෙන් කේතලය ණයට ඉල්ලා නොගතිමි: මම කේතලය ආපසු ඔබට භාරදෙන විට එය හොඳින් තිබිණ: මම ඔබෙන් කේතලය ඉල්ලා ගන්නා විටත් එය බිඳී තිබිණ.’ - ඉරාකය පිළිබඳ වත්මන් ඇමරිකානු සිතීමෙහි තර්කනය පැහැදිලි කිරීමට ජිජැක් යොදාගන්නේ ඉහත කතාවයි.


Sunday, October 19, 2008

යුද ගිනි සහ සාගිනි


රාවය | 2008 ඔක්තෝබර් 19
......................................................................................................................................

න්නියට දුර මැනීම දැන් අපේ ජාතික ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාවෙහි ලොල් සොරදෙටු මහල්ලෝ තරුණ මෘත දේහ ජාතික කොඩිවලින් වසා තුටු පහටු වෙති. දේශහිතෛශීන්ගේ ගණිත විනෝදයට අනුව දෙමළ මළ සිරුරුවලින් සිංහල මළ සිරුරු අඩු කළ විට ජයග්‍රහණයේ රහස ඉලක්කම්වලින් ලැබේ. උතුරේ ඉල්ලීම් තලා දමන තෙක් දකුණේ ඉල්ලීම් හකුළාගැනීම දේශප්‍රේමය සේ පිළිගැනෙන්නේ ඒ අනුව ය. කිලිනොච්චියේ හෙට අනිද්දාම ළෙල දෙනු ඇතැයි අපේක්‍ෂිත සිංහ කොඩිය දකුණේ දවසින් දවස ගැඹුරුවන මිනිස් දුක් වේදනාවන් සමනය කරන විසඳුම් මාර්ග පාදා දෙනු ඇතැයි බොහෝ දෙනා අදහති. කලින් කලට කොළඹ රැස්කන බඩගිනි සිංහ සේනාවන් හමුදාවන්ට කොඩි වනමින් පොලිසියෙන් ගුටි කන්නේ එබැවිනි.
  
2009 අවුරුද්ද සඳහා ඉදිරිපත් කොට ඇති විසර්ජන පනත් කෙටුම්පතට අනුව සෞඛ්‍යයට වෙන්කළ රාජ්‍ය ප්‍රතිපාදන පංගුව රුපියල් බිලියන 57කි. අධ්‍යාපනයට බිලියන 46කි.  කෘෂිකර්මයට බිලියන 42කි. ආපදා සහන සේවාවන්ටත්, ප්‍රවාහනය නංවාලීමටත් බිලියන 32කි. මේ සියල්ලෙහි එකතුව ජාතික ආරක්‍ෂාවට වෙන් කර ඇති රුපියල් බිලියන 177ට සම වේ. ආරක්‍ෂාව සඳහා වූ ප්‍රතිපාදන 2006 අවුරුද්දට සාපේක්‍ෂව 2007 අවුරුද්දේදී 40%කින් වැඩි කෙරිණ. ඊට සාපේක්‍ෂව බලතොත් මේ අවුරුද්දේ එය තවත් 9.9%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. නමුත් ළමා සංවර්ධනයට වෙන්කළ මුදල ඉකුත් වසරට සාපේක්‍ෂව මිලියන 135කින්ද, ආපදා කළමනාකරණ ප්‍රතිපාදන මිලියන 368කින්ද, පළාත් පාලන ප්‍රතිපාදන බිලියන 4.2කින්ද, ප්‍රවාහන පහසුකම් නංවාලීමේ ප්‍රතිපාදන බිලියන 9.1කින්ද කප්පාදු කොට තිබේ.


Sunday, October 12, 2008

දකුණේ දවස් සහ උතුරේ දවස්


රාවය | 2008 ඔක්තෝබර් 12
......................................................................................................................................

2006 ඔක්තෝබරයේදී ‛වන්නි කොටින්’ගෙන් නැගෙනහිර ගළවා ගෙන අලුත්කඩේ උසාවි සංකීර්ණයේ හිණි පෙළ ප්‍රමෝදයෙන් බැස ආ ජනතා විමුක්ති පෙරමුණට, 2008 ඔක්තෝබරයේදී නැගෙනහිර කොටින්ගෙන් මන්ත්‍රී ආසන ගළවා ගැනීම පිණිස ඒ හිණි පෙළම යළිත් නගින්නට සිදුව තිබේ. ‛රාජපක්‍ෂ ආණ්ඩුවේ සදාචාරය මේකදැයි’ අසන දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරය ඒ වෙනුවෙනි. කොටින්ටත්, ජවිපෙටත් එකවර පහර වැදීමේ ප්‍රීතියෙන් ඔද වැඩුණු විමල් වීරවංශ සුරත කරුණාටද, මුහුණ කැමරාවටද දීගත් සේයාරුවක් ‛දිවයින’ පත්තරයේ පළ වී තිබිණ. නැගෙනහිර ‛මුදාගෙන’ දැන් අවුරුදු එක හමාරකි. කරුණා අම්මාන් පාර්ලිමේන්තුවටද, නැගෙනහිර ජනයා පොලිස් ස්ථානවලටද කැඳවනු ලැබ ඇත්තේ ඒ නිමිත්තෙනි. දකුණේ දවස් ගෙවී යන්නේ එපරිදි ය.
  
නැගෙනහිර නාටකයම උතුරේ වේදිකාවල ඉක්මණින් රඟ දැක්වෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති. දැන් සටන් ඇවිළ යන්නේ කිලිනොච්චි මායිමේ බැවින් හුදී ජන ආතතිය තව තවත් නැංවේ. යුද ටැංකි, කාල තුවක්කු සහ ගුවන් ප්‍රහාර පෙරටු කොටගෙන දකුණින් එන ‛ප්‍රජාතන්ත්‍රවාදයේ පණිවුඩයෙන්’ සංත්‍රාසයට පත් කිලිනොච්චියේ ජනයා උන්හිටි තැන් අතහැර මුලතිවු දෙසට පලා යති. වන්නියේ සහන සේවා කණ්ඩායම්වල අන්තර් නියොජිතායතනයන්ගේ ස්ථාවර කමිටුව ඉකුත් සතියේ නිකුත් කළ වාර්තාවන්ට අනුව ඔක්තෝබර් 02 වෙනිදා වන විට කිලිනොච්චියේ අවතැන් ජන පිරිස 66,707කි. මුලතිවුහි 147,313කි. මේ සා විශාල වූ අවතැන් ජනගහණය වවුනියාවට පලා නොඑන්නේ කොටින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑම් නිසා යැයි ආණ්ඩුව කියයි. ඒ කතාවේද ‛ඇත්තක්’ සැඟව තිබේ. උත්සන්න කෙරෙන ගුවන් හා කාල තුවක්කුවල ප්‍රහාර වල හැටියට, වන්නියේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ නම් මේ ජනගහණය අවතැන් විය යුතුව ඇත්තේ වවුනියාවට බව ආණ්ඩුව දනියි. ඒ අනුව ‛ප්‍රජාතන්ත්‍රවාදයේ’ බලපෑමෙන් කිලිනොච්චිය අත්හැර යන ජනයා ‛ත්‍රස්තවාදයේ’ බලපෑමෙන් මුලතිවුවලට පලා යති. ඒ නිසා කිලිනොච්චියේ ජනයාට කොට්ටා, පැදුරු හා මදුරු දැල් බෙදා දී අපේ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨකම් සහ සහෝදරකම් වවුනියාවේදී පෙන්වන්නට තිබූ ඉඩකඩ තවමත් අවුරා දමා ඇත්තේ ත්‍රස්තවාදය විසිනි.