Print this post
රාවය | 2008 සැප්තැම්බර් 28
......................................................................................................................................
අවුෂ්විට්ස් වධ කඳවුරින් දිවි ගළවාගත් ඉතාලියානු ලේඛක ප්‍රීමෝ ලැවී පසුකාලීන අතීතාවර්ජනයන්හි සිය එක් අත්දැකීමක් පහදයි.
වධ කඳවුරේ සිය ලැගුම් බැරැක්කයෙහි ජනෙල් පඩියක් මත වූ මෘදු හිම පියල්ලක් ඇල්ලීමේ ආශාවෙන් වරෙක ඔහු සිය අත ඒ වෙත දිගු කළේය. මුරකාවලෙහි සිටි නාට්සි සොල්දාදුවා තර්ජනාත්මකව ඔහු වැළකීය. ‛ඇයි?’ - ප්‍රීමෝ ලැවී බියෙන් විමසීය. ‛අවුෂ්විට්ස්වල ‛ඇයි’ කියලා ප්‍රශ්නයක් නැහැ’යි සෙබලා ගුගුළේය.
ඉකුත් සතියේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 42ක් ඉදිරිපිට දිග්ගැසුණු පෝළිම්වල උතුරු - නැගෙනහිර පළාත්වලින් ආ දෙමළ ජනයා රැස් කමින් සිටියහ. සැප්තැම්බර් 21 වෙනිදා එළඹි විසි හතර පැය තුළදී ඒ සියළු දෙමළ ජනයා තමන්ට ආසන්නතම පොලිස් ස්ථානයේ පෙනී සිට ලියා පදිංචි සහතිකයක් ලබා ගත යුතු බවට ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කොට තිබිණ. සිය දරු පවුල් ලියා පදිංචියට ගිනියම් මද්දහනේ පෙළගැසී ගත් වියපත් දෙමළ ගැහැණුන් සහ මිනිසුන් මුනිවතින් සිය වාරය එළඹෙන තෙක් බලා සිටියහ. නමුත් කිසිවෙකු ‛ඇයි?’ කියා නොවිමසූහ.
වන්නියේ මානුෂීය ආධාරක සේවාවන්හී නියැලී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සහන සේවා සංවිධානයන්ට පිටව නොයන ලෙස ඉල්ලමින් සැප්තැම්බර් 12 වෙනිදා වන්නියේ ජනයා අව්වේ රැස්කමින් ආයාචනා කළහ. නමුත් අවසාන සහන සේවකයාත් සැප්තැම්බර් 16 වෙනිදා වන්නියෙන් පිටව ගියේය. පිටව යන සහන සේවා සංවිධානයන්ගේ රථ පෙළ දෙස මග දෙපස හිඳ අපේක්‍ෂා භංගත්වයේ දෑසින් නිහඬව බලා හුන් දුක්බර මිනිසුන්ගේ සේයා රූ ඇතැම් තැනක පළව තිබිණ. නමුත් ඒ කිසිවෙකු පිටව යන්නන්ගෙන් ‛ඇයි’ කියා විමසා නොතිබිණ.
පැතිර යන සටන්වලින් දිවි ගළවාගැනීමට නව මාසයකට පෙර මන්නාරමින් දකුණු ඉන්දියාවට පළාගොස් පෙරළා මන්නාරමට එමින් සිටියවුන් රැගත් බෝට්ටුවක් දෙසතියකට පෙර සාගර ගැඹුරේ සැඟවිණ. පස් හැවිරිදි හා සය හැවිරිදි වියේ දරුවන් දෙදෙනෙකු ඇතුලු මිය ගිය එකම පවුලේ පස් දෙනෙකුගේ මළ සිරුරු වෙන් වෙන්ව උතුරේ දූපත් ප්‍රදේශවලට ගොඩගසා තිබිණ. ඉන්දියන් සාගරයේ චණ්ඩ රළ විසින් අවසානයේ මව්බිම කරා කැටුව ආ ඒ මිනිස් පවුලේ සියල්ලන් දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මරණ පරීක්‍ෂකවරයා තීන්දු කොට තිබිණ. නමුත් ‛ඇයි’ කියා විමසන්නට කිසිවෙක් නොවීය.
දෙපා වයර්වලින් බැඳ මුහුදට දැමූ අයෙකුගේ මළ සිරුරක් සැප්තැම්බර් 02 වෙනිදා කයිට්ස් ප්‍රදේශයට ගොඩගසා තිබිණ. දින කිහිපයකට කලින් අතුරුදහන් වූ යාපනයේ කරවෙඩ්ඩි විනායගර් විද්‍යාලයේ පහළොස් හැවිරිදි බාස්කරන් කොෂල්‍යාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර එදිනම කරවෙඩ්ඩියේ අත්හැර දමන ලද මුඩුබිමක තිබී හමුවිය. දරුණු වධ බන්ධනයන්ට ලක් වූ බවට සැක කළ හැකි කැපුම් තුවාල සළකුණු සහිත හතළිස් අට හැවිරිදි පොන්නම්බලම් ජයකුමාර්ගේ හිස සුන් මළසිරුර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත නෙල්ලිඅඩි පොලිස් වසමින් සොයාගන්නා ලද්දේ සැප්තැම්බර් 12 වෙනිදා ය. වධ හිංසාවන්ට ලක් වූ එවැනිම හිස සුන් මළ සිරුරු දෙකක් සැප්තැම්බර් 03 වෙනිදාත්, සැප්තැම්බර් 07 වෙනිදාත් ඊට ආසන්න ප්‍රදේශවලින් සොයාගෙන තිබිණ. ඒ මළ සිරුරු අසළ නිසොල්මන්ව බලා හුන් අය අතුරින් කිසිවෙකුට ‛ඇයි’ කියා අසන්නට නොසිතිණ.
මීගමු පොලීසිය විසින් තමන්ට වධ බන්ධන පැමිණවීමට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයටත්, අල්ලස් දූෂණ ලබාගැනීමට එරෙහිව මහාධිකරණයටත් ගොස් අභියෝග කරන්නට පුරවැසියෙකු වශයෙන් තමන්ට අයිතියක් ඇතැයි කල්පනා කළ සියගුණ කොස්ගොඩගේ සුගත් නිශාන්ත ප්‍රනාන්දු සැප්තැම්බර් 20 වෙනිදා මහ දවාලේ දළුපොත හන්දියේදී වෙඩි තබා මරා දැමිණ. තමන් වධ බන්ධනයන්ට ලක් කළ වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙවැනිම නඩුවක් මීට පෙර ගොණු කළ වරාගොඩමුදලිගේ ජෙරාඩ් මර්වින් පෙරේරා 2004 නොවැම්බර් 24 වෙනිදා බස් රථයක් තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණේද මෙලෙසිනි. ‛ඇයි’ කියා විමසීමේ අර්ථයක් ඇතැයි බොහෝ දෙනා කල්පනා නොකරති.
පිස්තෝලයක් රැගත් දුටු ගැමුණුගේ භූතාත්මය මර්වින් සිල්වාගෙන් ඔබ්බෙහිද සැරිසරමින් සිටියි. එය උතුරේ සෑම දොරකටම ද, දකුණේ තෝරාගත් දොරවලට ද තට්ටු කරමින් ඇවිදියි. මිනිස් හිමිකම් පිළිබඳ දකුණේ තොරොම්බල් කළ පැරණි සටන් පාඨයන්ගේ අනුහසින් හිස එස වූ නව සංහාරක බලඇණි දැන් බලය අරා වැජඹෙයි. කඳු ගැසුණු මළවුන්ගෙන් ගහණ අපේ සාමූහික අතීතය වෙනත් ග්‍රහ ලෝකයක් බවට පත්ව ඇති හෙයින් බොහෝ දෙනාගේ දෛනික දිවිය පහසු වී තිබේ. විසි වසරකට පෙර අත්දුටු බිහිසුණු රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ අභිනව ගොදුර එක්කෝ දෙමළුන් ය. නැතහොත් කිව්වා නාහන අතළොස්සක් වූ සිහළුන් ය. ඒ නිසා සෙස්සෝ නිවාඩු ලත් මළවුන් මෙන් ප්‍රීති වෙති. තමන්ගේ වාරය කල් දැමෙන්නේ නම් අනෙකාගේ මිනීවල කැණ දීමට උද්‍යෝගීමත් පෝළිම් පමණටත් වඩා ඇත්තේ එබැවිනි.
අයුක්ති සහගතභාවය හාත්පස පැතිරුණු චණ්ඩ සුළඟක් බවට පෙරළුණු විට කුරා කුහුඹුවන් බවට පත්වන මනුෂ්‍ය සමූහයා මුවින් නොබැන එය ආශ්වාස කරති. ‛ඇයි’ කියා නොඅසති. ශිශිරයේ ජනේල පඩියක නැවතුණු මෘදු හිම පියල්ලක් අතින් අල්ලා බැලීමට ඇතිවන නිහඬ මිනිස් ආශාව මැඩගන්නාක් මෙනි.
2008 සැප්තැම්බර්
Print this post
Sunday, September 28, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment